අභියෝගවලට අභියෝග කළ වින්ග් කමාන්ඩර් නිලයට පත්වූ පළමු කාන්තාව | සිළුමිණ

අභියෝගවලට අභියෝග කළ වින්ග් කමාන්ඩර් නිලයට පත්වූ පළමු කාන්තාව

තිලංගනී වරකාගොඩට ලොකු සිහින තිබු‍ණේම නැත. අනුරාධපුර කොන්වන්ට් පාසලේ (වර්තමානයේ ස්වර්ණපාලී බාලිකාව) වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා සරසවි පිවිසුමට ලකුණු 8ක් අඩු වීමෙන් පසු ඇය සිහින මැව්වේ බැංකු නිලධාරිනියක් වීමටය. එහෙත් ඇගේ ඉරණම ලියැවී තිබුණේ හමුදා නිලධාරිනියක වීමටය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී දශක දෙකකට පසු ඇය විශ්‍රාම ගියේ කාන්තාවන්ට යා හැකි ඉහළම තනතුර වන වින්ග් කමාන්ඩර් නිලයට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වෙමිනි. මේ දිරිය සම්පන්න කාන්තාව ගුවන් හමුදාවේ කනිෂ්ඨ නිලධාරිනියන්ට එවැනි ගෞරවයක් අත්කර ගැනීමට කදිම අභිප්‍රේරණයක් වූයේ එලෙසිනි. 

‘මම අභියෝග බාර ගන්න කැමතියි. ඒ අභියෝග ජයගන්නත් මට හැකියාව තියෙනවා.‘ එසේ කියමින් ඇය ‘සිළුමිණ‘ සමඟ පිළිසඳරට එක් වූවාය.

‘මම ගුවන් හමුදාවට බැඳුණේ තාත්තාගේ කීම නිසයි. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. එයා විශ්‍රාම ගියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට. අක්කා හැරෙන්න අපේ පවුලේ හැමෝම හමුදා සේවයට බැඳුණා. අයියා යුද හමුදාවේ. එයා විශ්‍රාම ගියේ බ්‍රිගේඩියර් නිලයෙන්. එකම නංගිත් මං වගේම ගුවන් හමුදාවට බැඳුණා. එයා විශ්‍රාම ගියේ ස්කොඩ්රන් ලීඩර් ධූරයෙන්.‘වරකාගොඩ පවුලම ආරක්ෂක සේවයට එක්වී සිටිය ද මවගේ නම් ඊට වැඩි කැමැත්තක් නොතිබුණු බව ඇය කීවාය.

‘යුද්ධ කාලේදි මමයි අයියයි දෙන්නම රාජකාරියේ නිරත වෙලයි හිටියේ. විශේෂයෙන් අයියා යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදිලයි හිටියේ. ඒ නිසා අපේ අම්මා කවදාවත් සිංහල අවුරුද්දට කිරිබත් ඉව්වේ නෑ. ඉව්වත් කෑලි කැපුවේ නෑ. අඩුම තරමින් උපන් දිනයකට කේක් කැපුවේත්, කිසිම සතුටුදායක අවස්ථාවක් සැමරුවේ වත් නෑ. මොකද යුද්ධ කාලේ නිසා අම්මා හරි බයෙන් හිටියේ.‘ තිලංගනී ගුවන් හමුදාවට බැඳුණේ ත්‍රස්තවාදී ගැටුම් උත්සන්න වී තිබුණු කාලයේදීය. ඒ වනවිටත් හමුදා සේවයේ සිටි ඇගේ සොහොයුරුගේ බලවත් විරෝධය හමුවේය.

‘අයියා එතකොට මන්නාරමේ හිටියේ. යුද්ධෙ තදේටම යන කාලේ. එයා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා මම හමුදාවට බැඳෙනවට. තාත්තාට කිව්වේ යවන්නම එපා කියලයි. ඒත් තාත්තා ඒක ගණන් ගත්තේ නෑ.‘

‘ගුවන් හමුදාවට කාන්තාවන් බ‍ඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් ගැන පත්තරේ තිබුණු දැන්වීමක් මට ගෙනත් දුන්නෙත් තාත්තා. ඒ වෙද්දී මම බැංකු නිලධාරිනියක් වෙන්න අනුරාධපුරයේ ටෙක්නිකල් කොලීජියේ දෙවැනි වසරේ සිසුවියක් විදිහට අධ්‍යාපනය ලබමිනුයි හිටියේ. ගුවන් හමුදාවට බැඳෙන්න අයැදුම්පතක් දැම්මත් හිත දෝලනය වෙනවා බැංකුවයි, ගුවන් හමුදාවයි අතර.' ඇය එසේ කීවේ අතීතය ගැන සිතෙහි උපන් අසීමිත සතුටකින් සිත පුරවාගෙනය. පොඩි කාලේ පවුලේ දඟකාරිනිය වූ ඇය වැඩිපුරම සිටියේ පන්ති කාමරයේ නොව පාසල් පිට්ටනියේ බැවින් යුද සමයේ වුවද හමුදා සේවයට එක් වීම ගැන සිතට බියක් නොදැනුණු බව කීවේ සිනාසෙමිනි.

‘ස්පෝට් මීට් කාලේදි නම් පිට්ටනියේම තමයි දවස් ගෙවුණේ. මීටර් 100, 200, දුර පැනීම මුල් වතාවේම දිනාගත්තා. ඒත් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න කවුරුත් දිරිගැන්වූයේ නෑ. මටත් එහෙම හැඟීමක් තිබ්බේ නැහැ. හැබැයි කරන්න පුළුවන් හැම ක්‍රීඩාවක්ම කළා. නෙට්බෝල් ගැහුවා. ක්‍රිකටුත් ගැහුවා. මලල ක්‍රීඩාවලටත් එකතු වුණා. බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස්, එල්ලේ. ඒවාත් කළා. මට ඕන කළේ හැම ක්‍රීඩාවකටම සහභාගි වෙන්නයි. බයිසිකල් රේස් පැදලා තුන්වැනියාත් වුණා. තාත්තා මට සැලකුවෙත් කොල්ලකුට වගේ. ඒ නිසා මෝටර් සයිකලුත් පදින්න පුරුදු වුණා. මම පොඩි කාලේ හරි දඟයා. පවුලේම දඟකාරයා. ගෙදර අය මට කිව්වේ ‘චූටි‘ කියලා. ඉස්කෝලේදි මම තිලංගනී. ගුවන් හමුදාවට බැඳුනට පස්සේ ‘වරකේ‘ වුණා.‘

තිලංගනීට හමුදා සේවයට එක්වීමට මේ සියල්ල අපූරු අඩුම කුඩුම බවට පත් වී තිබිණි.

‘ඒ 1994දි විතර. කොහොමහරි අන්තිමට ‘ලේඩි කෙඩෙට් ඔෆිසර්‘ ඉන්ටවීව් එකට කොළඹ ආවා. ඒක තිබ්බේ ජාඇල කෑම්ප් එකේ. ඒක තමයි ගුවන් හමුදාවේ කාන්තා ‘සෙකන්ඩ් ඉන්ටේක්‘ එක. ගොඩාක්ම හිටියේ කොළඹ කෙල්ලෝ. අපිට වඩා එගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුමත් ඉහළයි. දෙසීය ගාණක් ඇවිත් හිටියා. ඉන්ටර්වීව් හතරක් තිබුණා. අන්තිමට 12ක් තෝරා ගත්තා. කොළඹින් පිට දෙන්නයි තේරුණේ. මමයි තව මාතර ළමයකුයි විතරයි.‘

තිලංගනී වරකාගොඩ ගුවන් හමුදාවට බැඳුණේ එලෙසිනි.

‘1996 දී කොමිෂන් වෙලා ඊටත් පස්සේ පයිලට් ඔෆිසර් වෙනකොට මම හිටියේ අනුරාධපුරයේ. එතකොට මට අවුරුදු 22ක්, 23ක් විතර ඇති. අනුරාධපුරයේ යුද්ධය තදින්ම යන කාලේ. මම තමයි මූමන්ට් ඔෆිසර් හිටියේ. පාන්දර තුන හතර වෙද්දී පටන් ගන්නවා ටෘප්ස් අදින්න. ලෝඩිං බලන්න යන්න ඕනා. සමහර වෙලාවට කැෂුවලිටීස් ගෙන්නලා බානවා. අනුරාධපුරයේ තව එයාර් වුමන්ලා ගොඩාක් හිටියා. එයාලා තමයි බොඩීස් ගෙනාවට පස්සේ එයාර් ක්‍රාෆ්ට් සුද්ධ කරන්නේ. තනිකරම හෝදනවා. අපි හැමෝම එකතු වෙලා තුවාල වුණු අය ඇම්බියුලන්ස්වල පටවලා හොස්පිට්ල් යවනවා. බොම්ඩම් එක භාරව හිටියෙත් මමයි. ඒක තිබුණේ කෑම්ප් එකේ බිල්ඩින් එකට වඩා ගොඩාක් ඈත. ඒක අරින්න මම යන්න ඕනා යතුරු ටික අරන්. වෙලාවක් නෑ රෑ ජාමේ වුණත්. වාහන හොයාගන්න නෑ. පොඩි ස්කූටර් එකක් තිබුණා. ඒක පැදගෙන ගිහින් එතැනට වෙලා ඉන්න ඕනා. ලෝඩ් කරලා ට්‍රැක්ටර්වලින් එයාර් ක්‍රාෆ්ට්වලට පටවන්න ගෙනියනවා. අපි ඔය විදිහට තමයි යුද්ධයට සම්බන්ධ වුණේ. මොකද කාන්තාවන් යවන්නේ නෑ යුද පෙරමුණට. ඒත් අනිත් වැඩවලට දායකත්වය දෙන්න ඕනා.‘

දශක තුනක කාලයක් රටම භීතියට පත් කළ සිවිල් යුද්ධයේ කටුක අත්දැකීම් ඇය සිහිපත් කළේ එලෙසිනි.

වසර 1998දී ගුවන් හමුදාවේහිම ඉහළ නිලධාරියකු හා අතිනත ගත් තිලංගනී අනතුරුව ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටියේ ද ත්‍රස්තවාදී ගැටුම් උත්සන්නවී තිබූ අවධියකදීය. ඇය මවු පදවියෙන් පිදුම් ලැබුවේ ද එවැනි අවස්ථාවකදීය.

‘මාබල් බීච් පැත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණේ මට පුතා ලැබෙන්න ඉන්න කාලයේදීමයි. එම්. අයි. 24 හෙලිකොප්ටර් දෙකක් හිඟුරක්ගොඩ ඉඳලා එද්දි තමයි ඒ ප්‍රහාරය එල්ල වෙලා තිබු‍ණේ. පළමු හෙලිකොප්ටරයට මිසයිල ගහලා තිබුණේ මුහුදේදි. මාබල් බීච් එකේ ඉඳලා. දෙවැනි එක පිටිපස්සෙන් ඇවිත් තිබුණා. ප්‍රහාරයෙන් පස්සේ ඒකේ පයිලට්ලා දෙන්නා මානසික පීඩනයකට පවා පත්වෙලයි හිටියේ. මොකද කලින් ගිය හෙලිකොප්ටරයේ හිටියේ එයාලගේ අණදෙන නිලධාරියා.‘ ඇය එසේ කීවේ දැඩි කනගාටුවෙන් යුතුවය.

‘මම ත්‍රිකුණාමලයේ ඉඳලා ක්ලිනික් ආවේ අනුරාධපුරයටයි. එතකොට එහේ හොඳටම යුද්ධෙ. බයිරෝඩ් එන්න බයයි. කොටි ගහනවා. ඒ වගේ තත්ත්වයකදී තමයි මට පුතා ලැබුණේ. පුතා ලැබෙන්න කිට්ටුව මම අනුරාධපුරයට ආවා. ඒ කාලේ අපේ පවුලේ සාමාජිකයන් සී සී කඩ විසිරිලයි හිටියේ. තාත්තා ඒ වෙද්දී විශ්‍රාම ගිහින් හිටියේ. ඒ නිසා මම තාත්තාව මගේ ළඟට ගත්තා. අම්මා හිටියේ අයියා ගාව. අයියා එතකොට මෙහෙයුම්වල හිටියේ. අයියගේ වයිෆ් කොළඹ මහ බැංකුවේ වැඩ කළේ. ඒ නිසා අම්මා තමයි එයාලගේ දුව බලාගෙන එහේට වෙලා හිටියේ. නංගි එතකොට හිටියේ ත්‍රිකුණාමලයේ.‘ ඇය අපට සිහිපත් කර දෙන්නේ ත්‍රස්තවාදී යුද ගැටුම් මැද රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ගෙවනු ලැබූ කලබලකාරී හා දුෂ්කර කාල පරිච්ඡේදයේ නොඇසූ කතාවය. රට වෙනුවෙන් අපමණ සේවයක් ඉටු කරමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රාජකාරියේ නිරතව සිටි දහස් සංඛ්‍යාත සාමාජිකයන්ගේ ජීවිතය එවකට ගෙවී ගියේ එවැනි කටුක කාලපරිච්ඡේදයක මතක සටහන් ඉතිරි කරමිනි.

එම කාල සීමාව වන විට තිලංගනීගේ බාල සොහොයුරිය ද හමුදා සේවයට එක් වී හමාරය. ඇය ද තිලංගනීගේ අඩිපාරේ යමින් ගුවන් හමුදාවේ ‘ලේඩි කෙඩෙට් ඔෆිසර්’ තනතුර සඳහා අයැදුම් කර තිබුණේ තිලංගනී ගුවන් හමුදාවට බැඳී වසර තුනක් ගත වෙද්දීය.

‘නංගි මට අවුරුදු තුනකට පස්සේ ගුවන් හමුදාවට බැඳුණා. නංගිට ගුවන් හමුදාවට බැඳෙන්න ආසා හිතුණේ මම හින්දයි. ඒක තමයි ගුවන් හමුදාවේ තුන්වැනි ‘ඉන්ටේක්‘ එක. අපෙන් පස්සේ ‘බැච්‘ එක. එතකොට නම් අයියා විරුද්ධ වුණේ නෑ. මම ඒ වෙද්දී ෆ්ලයිං ඔෆිසර් නිලයට පත්වෙලයි හිටියේ. ඇත්තටම ඒ කාලේ ත්‍රස්තවාදී යුද්ධෙ කියලා අපිට කිසිම බයක් දැනුණේ නෑ.‘ 

තිලංගනී කියන්නේ හමුදා ජීවිතයේ ලොකුම යුද්ධය පටන් ගත්තේ මවු පදවියෙන් පසුව බවය.

‘පුතා ලැබුණට පස්සේ තමයි ලොකුම යුද්ධය පටන් ගත්තේ. මට හිඟුරක්ගොඩට මාරුවක් ලැබුණට පස්සේ හස්බන්ඩ් ඒකලට මාරුවක් ලැබුවා. එතකොට නංගි අනුරාධපුරයේ හිටපු නිසා එයා තමයි වැඩි හරියක් පුතා බලාගත්තේ. පස්සේ මට කොළඹ ලැබුණා. එතකොට හස්බන්ඩ් වවුනියාවට මාරුවක් ලැබුවා. දෙන්නා තැන් දෙකක. පුතාව බලාගන්න කෙනෙක් ගන්න වුණා. එහෙම ප්‍රශ්නත් තිබුණා. නංගි කේඩීයූ ආවට පස්සේ එයත් ඇවිත් පුතා බලා ගත්තා. තුන්දෙනා තැන් තුනක හිටපු කාලයකුත් තිබුණා. එකපාරක් පුතා අනුරාධපුරයේ. මම කේඩීයු. හස්බන්ඩ් වවුනියාවේ.‘ ඇය දැන් අතීතය සිහිපත් කරන්නේ සිනාමුසුවය.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වෙද්දී තිලංගනී රාජකාරියේ නිරත වූයේ රත්මලානේය.

‘එතකොට තමයි ගුවන් හමුදාවෙන් ‘හෙලි ටුවර්ස්‘ පටන් ගත්තේ. ඒක තනිකරම දේශීය ගුවන් සේවයක්. පාලනය කළේ ගුවන් හමුදාව. මමත් ඒකට එකතු වුණා. එතකොට මම ස්කොඩ්රන් ලීඩර් තනතුරට පත්වෙලයි හිටියේ. යුද්ධෙ ඉවර වුණාට පස්සේ විදේශගත වෙලා හිටපු දෙමළ ජනතාව ඇවිත් යාපනයට යන්න පහසු ප්‍රවාහන ක්‍රමයක් තිබුණේ නෑ. ඒකට විකල්පයක් විදිහට තමයි හෙලි ටුවර්ස් පටන් ගත්තේ. අපි ඒක සාර්ථකව කළා.‘

තිලංගනී ගුවන් හමුදාවේ ඉහළම නිලයකට පත්වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූයේ එම කාලවකවානුවේදීය.

‘සාමාන්‍යයෙන් රජයේ චක්‍රලේඛයක් තියෙනවා හමුදා සේවයේ කාන්තාවන්ගේ රාජකාරී කාලසීමාව උපරිම අවුරුදු 20යි කියලා. එක්කෝ සර්විස් එක. නැතිනම් වයස් සීමාව අවුරුදු 45යි. ඉස්සර වෙන එකකින් විශ්‍රාම යන්න ඕනා. ඒත් කැමැති නම් අපිට අවුරුදු 15ක සේවා කාලයකින් පස්සෙත් විශ්‍රාම යන්න පුළුවනි. හමුදා සේවයේ නිරතවෙලා ඉන්න හුඟාක් කාන්තාවන් විශ්‍රාම යන්නේ අවුරුදු 15ක සේවා කාලයකින් පස්සෙයි. නංගි විශ්‍රාම ගියෙත් අවුරුදු 15නුයි. ගුවන් හමුදාවේ ඒ වගේ සේවා කාලයක් උදා වන්නේ ස්කොඩ්රන් ලීඩර් නිලයේදියි. මගේ බැච් එකේ හැමෝම වගේ අවුරුදු 15න් විශ්‍රාම ගියේ ස්කොඩ්රන් ලීඩර් නිලයත් එක්කයි. ඒත් මමයි තව බැච් මේට් කෙනකුයි විතරයි නොගියේ. ඇත්තටම අපිට ගුවන් හමුදාව දාලා යන්න බැරි තරමට අපි ඒ සේවයට හදවතින්ම බැඳිලයි හිටියේ. ගුවන් හමුදාවේ කෙඩෙට් නිලධාරිනියක් හැටියට සේවයට බැඳිලා පළමු වතාවට වින්ග් කමාන්ඩර් නිලයට මම පත් වුණේ එහෙමයි. වෘත්තීය මට්ටමේ අය ඒ කියන්නේ නීතිවේදිනියන්, වෛද්‍යවරියන් වගේ අය සෘජුවම වින්ග් කමාන්ඩර් නිලයට බඳවා ගන්නා ක්‍රමයකුත් වෙනම තියෙනවා. හැබැයි එයාලට ලොකුවට පුහුණුවීම් එහෙම නෑ අපිට වගේ. මම වින්ග් කමාන්ඩර් නිලයට පත්වෙලා මාස කිහිපයකට පස්සේ මගේ බැච් මේට් ඒ නිලයට පත් වුණා. අපි දෙන්නා නිසාම අපෙන් පස්සේ ගුවන් හමුදාවට බැඳුණු ගොඩාක් කාන්තාවන් අවුරුදු 15න් විශ්‍රාම නොගිහින් අපි වගේම අවුරුදු 20 උපරිම සීමාව දක්වා රාජකාරියේ නිරත වෙන්න උනන්දු වුණා. ඒක මටත් සතුටක්. විශේෂයෙන් උපරිම කාලසීමාවේම ගුවන් හමුදාවේ රැඳිලා ඉන්නත්, කාන්තාවකට යා හැකි ඉහළම නිලයට පත්වෙන්නත් මට අවස්ථාව හා වාසනාව ලැබීම ගැන මට අද දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්.‘

තිලංගනී වරකාගොඩ වින්ග් කමාන්ඩර් නිලයට පත්වන විට ඇගේ ආදරණීය පියා ජීවතුන් අතර නොසිටියේය. ඔහු මෙලොවින් සමුගත්තේ 2005 වසරේදීය.

‘තාත්තා හරි ආසාවෙන් හිටියේ අපේ හමුදා ජීවිතය ගැන. ඒත් මම වින්ග් කමාන්ඩර් නිලයට පත්වුණු සතුට භුක්ති විඳින්න තාත්තාට වාසනාව තිබුණේ නෑ. අම්මා ජීවිතයෙන් සමුගත්තේ මම ඒ නිලයට පත් වුණු අලුතමයි.‘

ඇය වසර 2014දී ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර වින්ග් කමාන්ඩර් නිලයෙහි සිටියදි ශ්‍රී ලංකා ජාතික කාන්තා රග්බි කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස ද කටයුතු කළාය. එය ඇගේ හමුදා ජීවිතයට ලද විරාමයක් ද විය. පසුකාලීනව ඇය ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කවුන්සිල සාමාජිකාවක ලෙස ද කටයුතු කළ අතර, එවැනි ධූරයකට පත්වුණු පළමු කාන්තාව ලෙසත් වාර්තාවක් තැබුවාය. තිලංගනීගේ වාර්තා පොත ඉන් නොනැවතිණි.

වසර 2020දී ඇය ලෝක රග්බි සම්මේලනයෙන් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහනකට එක් වූ අතර, ශ්‍රී ලාංකේය කාන්තාවකට එවැනි ශිෂ්‍යත්වයක් හිමි වූයේ පළමුවතාවටය. පසුගිය වසරේදී ඇයට නවසීලන්තයේ පැවැති ජාත්‍යන්තර කාන්තා රග්බි සමුළුවට සහභාගීවීමට ඇරියුම් ලැබී තිබූ අතර, එවැනි ගෞරවයක් ශ්‍රී ලාංකික කාන්තාවකට හිමිවූයේ ද පළමුවරටය.

තිලංගනීගේ එකම පුතු කිෂාර විභාත් මයුරවාසල ද පසුකාලීනව රග්බි ක්‍රීඩාවට එක් විය. ඔහු මේ වන විට අමෙරිකාවේ අයිඩෝහෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටින අතර, විශ්වවිද්‍යාලයීය රග්බි කණ්ඩායම ද නියෝජනය කරමින් ක්‍රීඩාවේ නිරතව සිටී. මෑතකදී ව්‍යාපාර කළමනාකරණ උපාධිය හැදෑරූ තිලංගනි වර්තමානයේදී පෞද්ගලික ඇඟලුම් සමාගමක රැකියාවේ නිරතව සිටී.

Comments