සුවහසක් ප්‍රේක්ෂක සිත් පුංචි තිරයෙන් පිනවූ වැලිකතරේ ටාසන් දිවි මඬලට සමුදෙයි | සිළුමිණ

සුවහසක් ප්‍රේක්ෂක සිත් පුංචි තිරයෙන් පිනවූ වැලිකතරේ ටාසන් දිවි මඬලට සමුදෙයි

වේදිකාව තිඹිරි ගෙය කරගනිමින් කලාවට පිවිසි ඔහු වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරය ද එකසේ ජයගත් ශ්‍රේෂ්ඨ රංගධරයෙකි. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. නමින් ලංකාවම හඳුනන ඔහු සිය දිවිසැරිය නිම කළේ කලා කෙතට පිරවිය නොහැකි හිඩැසක් තබමිනි. කලක් රෝගාතුරව සිට කලාවෙන් ඈත්ව විවේකී සුවයෙන් පසුවූ ඔහු පසුගිය 1දා අප අතරින් සමුගන්නා විට 83 වැනි වියේ පසුවූයේය.

1939 නොවැම්බර් 13 වැනිදා කිරුලපනදී උපත ලද ඔහු බාල සොයුරන් දෙදෙනකුට සහ නැඟණියකට වැඩිමහල් සොයුරා විය. පවුලට ශක්තියක් වූයේ ඔහුගේ මවයි. ඇය වෘත්තියෙන් ගුරුවරියකි. රත්තනපිටිය ආනන්ද විද්‍යාලයෙන් සහ කොටහේන කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ජී.ආර්. ඉගෙනුමට සැබෑම හපනෙකු විය.

අබේසේකර පෙරේරා, ප්‍රේම රංජිත් තිලකරත්න, ධර්මසිරි වික්‍රමරත්න හා වික්‍රම බෝගොඩ හා එක්වෙමින් නාට්‍යවේදී සුගතපාල සිල්වා ප්‍රමුඛව ආරම්භ කළ ‘අපේ කට්ටිය‘ නම් නාට්‍ය කණ්ඩායමේ ඔහු ද ආරම්භක සාමාජිකයකු විය. ඔවුන් එක්ව නිර්මාණය කළ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යයට 1961 රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම නාට්‍යයට හිමි සම්මානය හිමි විය. 1962 දී ධර්මසිරි වික්‍රමරත්නගේ රන්තෝඩු වේදිකා නාට්‍යයේ කුඩා චරිතයකින් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ජී.ආර්. වේදිකා නාට්‍ය 8කට පමණ තම දායකත්වය ලබාදී තිබිණි. ප්‍රේමරංජිත් තිලකරත්නගේ මුල්ම ටෙලි නාට්‍යය වන වගුරු බිම නාට්‍ය ඔස්සේ පුංචි තිරයට පිවිසි ඔහු දූදරුවෝ ටෙලි නාට්‍යයේ මලකඩ බාස්ගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ නොමැකෙන මතකයක් තැබුවේය. එය ඔහුගේ ටෙලි නාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කරගනිමින් ජී. ආර්. ටෙලි නිර්මාණ 600කට අධික ප්‍රමාණයකට දායක වීමේ භාග්‍යවන්තයකු විය. ඔහු සිය රංගන දිවිය තුළ එකොළොස් වතාවක් භික්ෂු චරිතයට පණ දෙන්නට තරම් භාග්‍යවන්ත විය.

1971 දී තම කුළුඳුල් සිනමා අත්දැකීම විඳි ජී.ආර්. වැලිකතර සිනමාපටයේ ටාසන් නමැති කුඩා චරිතයට පණ දුන්නේය.

මැණික් සඳරසාගරගේ කළු දිය දහර සිනමා පටයේ ප්‍රධාන චරිතයකින් දෙවැනි වරටත් ප්‍රේක්ෂකයා හමුවූ ජී.ආර්. පෙරේරා තවදුරටත් සිනමාව තුළ සිය අණසක පැතිරවීමට සමත් විය. මිය යන විට ඔහු චිත්‍රපට 60කට ආසන්න සංඛ්‍යාවකට දායක වී තිබිණි. ඉන්දියාව, අ‌ෙමරිකාව සහ ජර්මනිය ඇසුරේ නිපදවුණු චිත්‍රපට 3ක් ඇතුළුව විදෙස් චිත්‍රපට 10කට පමණ සිය රංගන දායකත්වය ලබා දුන් ජී. ආර්.ට විදෙස් රටවල පවා ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට හැකිවිය.

1980 දී කරුමක්කාරයෝ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් හිමි කරගත් ඔහු 2007 දී චක්‍රායුදය ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේය. වැඩිම ප්‍රාසාංගික ඒකාංගික ටෙලි නාට්‍ය ප්‍රමාණයක රඟපෑ නළුවාට හිමි රයිගම් ටෙලීස් සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.

ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක් වුණු සිය බිරිය හා දියණියන් දෙදෙනා සමඟ නිහඬ දිවියක් ගෙවූ ජී. ආර්. පෙරේරාගේ බාල දියණිය වන යමුනා එරන්දතී ද කලාවට දායකත්වය ලබාදී තිබීම ඔහුට ආශීර්වාදයකි. අඩසිය වසකට වැඩි කාලයක් කලාව වෙනුවෙන් කැපකළ ජී. ආර්. පෙරේරා නම් වූ ඒ අසහාය කලාකරුවාගේ අවසන් කටයුතු පසුගිය අප්‍රේල් 03 වැනිදා පවුලේ ඥාතීන්ගේ සහ සුවහසක් රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

Comments