කේමදාස පදනමට වැදගත් වෙන්නේම උනන්දුව සහ කැපවීම | සිළුමිණ

කේමදාස පදනමට වැදගත් වෙන්නේම උනන්දුව සහ කැපවීම

 

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නම් වූ ඒ මහා ගාන්ධර්වයා මෙලොවින් සමු ගත්තද ඔහු අපට උරුම කොට දුන් සංගීතය මතු මතුත් නින්නාද දෙනු ඇත. ඒ ඉඩ කඩ අපට සලසා දෙන්නේ කේමදාස මාස්ටර්ගේ ආදරණීය දියණියන් දෙපළ වන ගයත්‍රී හා අනුපමායි. ගයත්‍රී කේමදාස කියන්නේ තනු නිර්මාණ ශිල්පිනියක සහ ශාස්ත්‍රීය පියානෝ වාදිකාවකි. ගයත්‍රීත් සිය පියා මෙන්ම නව සංගීත නාද රටාවන් ඔස්සේ සිය නිර්මාණ කටයුතු කරමින් ගයත්‍රී කේමදාස සලකුණ තබමින් ඉදිරියට එන සංගීතඥවරියකි. රසඳුන මේ සොඳුරු කතාබහ ගයත්‍රී කේමදාස සමඟයි.

ගයත්‍රී මේ කාලය වැඩිපුරම යොදවලා තියෙන්නේ මොන වගේ වැඩකටයුතු වෙනුවෙන්ද?

කේමදාස පදනමේ වැඩ කටයුතුවලට තමයි වැඩි කාලයක් යොදවලා තියෙන්නේ. මෙතැනදී අපි ස්වෙච්ඡාවෙන් පාසල්වලට ගිහින් සංගීත වැඩමුළු පැවැත්වීම සිදු කරනවා. ඒ තුළින් ගීතය කටහඬ හැසිරවීම වැනි දේවල් පුරුදු පුහුණු කිරීම සිදුවෙනවා. මෑතකදීම අපේ තාත්තත් ඉගෙන ගත්ත පාසලක් වන පාණදුර සුමංගල විදුහලේ වැඩමුළුවක් කළා. ඊට කලින් ශාන්ත ජෝන්ස් විදුහලේ පැවැත්වුවා. ඒ එක්කම අපේක්ෂා රෝහලේ කිමෝ තෙරපි කරන තැන අපි සංගීත චිකිත්සාවක් කළා. බොහෝ දෙනා එතැන ඉන්නේ දැඩි පීඩනයකින්, ඒ නිසා එතැන ඉන්න අයගේ මානසික සුවය වෙනුවෙන් අපි වැඩසටහනක් කළා. මෙතැනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කිසි දෙයක් අපි කරන්නේ අපේ පදනමට ආධාර හෝ කිසි දෙයක් ලැබිලා එහෙම නෙවෙයි. කේමදාස පදනම කියන්නේ සින්දුවක් කරලා යූ - ටියුබ් එකේ හෝ කොහේ හෝ ප්‍රසිද්ධ වෙන තැනක් නොවෙයි. තමන්ට දැනුමක් වගේම සමාජයට මෙහෙවරක් වෙන තැනක් විදියට ඉදිරියට ගෙන යන තැනක්. ඒ නිසා ඒ පරමාර්ථය ඇතුව පසුගිය කෝවිඩ් වසංගත කාලයේත් ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවලට ඔන්ලයින් වැඩමුළු කළා. අද වෙද්දිත් ඒ ඒ ස්ථානවලට ගිහින් මේ දේවල් සිදු කරමින් ඉන්නවා.

ඊට අමතරව එංගලන්තයේ තියෙන Portsmouth University එකේ ගීතිකා කණ්ඩායමට (Choir එකට) මියුසික් කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒක එංගලන්තයේ තියෙන හොඳම Choir දහයෙන් එකක් කියලා කියන්න පුළුවන්. ඒ අය කාලයකට පෙර කතා කරලා මට කිව්වා එයාලගේ Choir එකට මියුසික් කරන්න කියලා. මම ඒකට තෝරා ගත්තේ රවීන්ද්‍රනාත් තාගෝර්ගේ (Freedom) නිදහස කියන කවිය. ඒ තුළින් දෙන පණිවිඩය ලංකාවට වගේම ලෝකෙටත් හරිම වැදගත්. අපිව පීඩනයට පත් කරන දේවල් වලින්ම කොහොමද අපි නිදහස් වෙන්නේ කියන එක සහ ඒ සඳහා අපිට කොයිතරම් අයිතියක් තියෙනවද කියන එක. මම ඒ යවපු කොයර් එක ඒ අය තෝරා ගෙන තිබුණා. ඒක තමයි ඒ අය ආසියානු සංගීතඥයෙක්ගේ තෝරා ගත් පළමු එක වෙලා තිබුණේ. ඊට පෙර යුරෝපීය සහ අ‌ෙමරිකානු සංගීතඥයන්ගේ නිර්මාණ තමයි තෝරා ගෙන තිබුණේ. ඒක ගිය මාසේ ඒ අය ඉදිරිපත් කරලා තිබුණා. මේ වෙද්දී ඒක තව තැන්වලින් ඉල්ලලා තියෙන නිසා වෙන තැන්වලත් ඒක ඉදිරිපත් කරනවා.

ඔබේ සංගීතයෙන් හැඩවුණු අලුත් ගීත නිර්මාණ ගැන කිව්වොත්?

“බඹර කුලේ“ කියන ගීතය මම සංගීතවත් කළා. ඒක ලිව්වේ දර්ශ කපුගේ. ඒ වගේම ගායනා කළේ රෙෂ්මා පෙරේරා. ඒ එක්කම ප්‍රංශයේ කෙටි චිත්‍රපටයකට සහ ලංකාවේ කෙටි චිත්‍රපට කිහිපයකට සංගීතයෙන් දායක වුණා.

චිත්‍රපට සංගීතය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ඇගැයීම් සහ සම්මානය ගැන මොකද දැනෙන්නේ?

ද නිව්ස්පේපර් චිත්‍රපටය වෙනුවෙන් අ‌ෙමරිකාවේ ඉන්ටර්නැෂනල් සිලෝන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ හොඳම සංගීතය වෙනුවෙන් සම්මානය ලැබුණා. මම දකින්නේ ලංකාව ඇතුළේ අද වෙද්දී සිනමා සංගීතය කියලා ගීතය තුළම හිරවෙලා ඉන්නවා කියලයි. එදා තාත්තගේ සංගීතය දිහා බැලුවමත් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳම උදාහරණය ගොළු හදවත. ගොළු හදවතේ සින්දුවක් නැහැ කිව්වට අදටත් ඒ සංගීත නාද රටාව රසවිඳින බහුතරයක් ඉන්නවා.

කේමදාස පදනමත් එක්ක ගයත්‍රී ඉදිරියට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ගැන කිව්වොත්?

මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ලංකාව පුරා සිටින කේමදාස පදනමේ ළමයි සහභාගී කරගෙන හරි විදියේ ඔපෙරා එකක් කරලා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා දෙන්න. මේ දේවල් අද හිතලා හෙට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හඬ පුහුණුවටම කාලයක් යනවා. ඒ වගේම ලොකු ආයෝජනයක් කරන්න වෙන භාරදූර වැඩක්. හැබැයි ඒක මගේ හිතේ තියෙන ලොකු ආසාවක්. ඒ එක්කම කේමදාස පදනම මඟින් අපි නොයෙකුත් පර්යේෂණාත්මක ශානරයන්ට අයත් සංගීත ගැන කතා කරනවා. ඒ දේවල් තුළින් ජාත්‍යන්තරය එක්ක අපේ ළමයින්ව එක්කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අපි මෙතරම් සේවයක් කළත් තාත්තා ඉන්න කාලේ ඉඳන් පදනමට නිසි තැනක් ලැබිලා නැහැ. මම දැන් පදනම කරගෙන යන්නේ තාත්තගේ ගෙදර. තාත්තා මුලින්ම පදනම කරන්න ගත්තේ BMICH එකේ ගරාජ් එකේ, ඊට පස්සේ අපේ ගම කලා පරිශ්‍රයේ සිදු කළා. තාත්තා ඉන්න කාලේ ඉඳන්ම ඉල්ලන සහ අපිත් ඉල්ලන දෙයක් තමයි කේමදාස පදනම වෙනුවෙන් නිසි දායකත්වයක්. නමුත් ලංකාවේ දෙයක් තමයි සේවයක් කරන තැනකට නිසි දායකත්වයක් නොලැබීම.

කේමදාස පදනම එක්ක සම්බන්ධ වෙන්න කැමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවා නම් ඒ දේ සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන් ද

ඕනෙම කෙනෙක්ට කේමදාස පදනමේ මුහුණුපොත හරහා හෝ 0771435771 දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවීමෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. වයස අවුරුදු හයේ සිට ඉහළට ඕනෙම වයසක කෙනෙක්ට අප සමඟ එකතු වෙන්න පුළුවන්. හැකියාවට වයස් සීමාවක් නැහැ. උනන්දුව සහ කැපවීම තියෙනවා නම් ඕනෙම කෙනෙක්ට සංගීතය හදාරන්න පුළුවන්. ඒ නිසා කේමදාස පදනමට වැදගත් වෙන්නේම උනන්දුව සහ කැපවීමයි.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නම් වූ ගයත්‍රීගේ පියාණන් වෙනුවෙන් සිදු කරන සංගීත සැඳෑව මේ වසරේ කොයි ආකාරයෙන් ද පවත්වන්න හිතන් ඉන්නේ ?

අපි 2014 ඉඳන් හැම අවුරුද්දෙම තාත්තා නැති වුණු ඔක්තෝමබර් 24 දින තාත්තාගේ නිර්මාණ ඉදිරිපත් කරනවා. මේ අවුරුද්දෙත් අපි හිතන් ඉන්නවා තාත්තාගේ නිර්මාණ එකතුවක් කරන්න. තාත්තාගේ මෙතෙක් ඇහුණු නිර්මාණ වගේම එතරම් ඇහෙන්නේ නැති ගීත අහන්න සලස්වන්න. ඒ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක කේමදාස පදනමේ මුහුණුපොත හරහා දැනුම්වත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කේමදාස පදනමේ මුහුණුපොත එක්ක එක් වෙන්න කියා ඇරියුම් කරනවා.

 

Comments