රට විරුවන්ට අඩු පොලියට ලක්ෂ 20ක ණයක් | සිළුමිණ

රට විරුවන්ට අඩු පොලියට ලක්ෂ 20ක ණයක්

විදේශ රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකිකයන්ට රුපියල් ලක්ෂ 20ක් දක්වා වන අඩු පොලී ණය පහසුකම් 4% පොලියට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමි වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සිළුමිණට කීය. ඒ අනුව එම ණය යෝජනා ක්‍රමය කඩිනමින් ආරම්භ කිරීමට දැන් කටයුතු කරමින් සිටී. ණය පහසුකම ලබා ගැනීමට එකම සුදුසුකම වන්නේ විදේශ රැකියාවක නිරත වීම හෝ විදේශ රැකියාවක නිරතව සිට පැමිණ මෙරට ව්‍යාපාරයක් ආරම්භ කිරීම බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අඩු පොලියට ණය ලබාදීමේදී රාජ්‍ය සහ වාණිජ බැංකුවලට ගැටලුවක් නොවන පරිදි එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර බැංකුවලින් ලබා දෙන ණය පොලී අනුපාතය 22%ක් වුවහොත් විදෙස් ශ්‍රමිකයාට 4% ක පොලී ප්‍රතිශතයකට ණය මුදල ලබා දීමේදී බැංකුවට අහිමි වන ඉතිරි පොලී මුදල් ප්‍රතිශතය වන 18%ක පොලී ප්‍රතිශතයට අදාළ පොලී මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුවේට් වන්දි අරමුදලෙන් ලබා දෙන බවද ඇමැතිවරයා හෙළි කළේය. කුවේට් වන්දි අරමුදලට හිමිවූ කෝටි 500ක මුදලක් කාර්යාංශය සතු බව ‍හෙළිකළ ඇමැති මනූෂ නානායක්කාර මේ අවස්ථාවේදී විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් උපරිම සහන ලබා දෙන බවත් මෙම ණය ක්‍රමයට අමතරව තවත් යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව විගමනික ශ්‍රමිකයන්ට ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවන්හිදී ඔවුන්ගේ ජීවන තත්ත්වය නිසි ලෙසින් පවත්වාගෙන යාමට වවුචර ක්‍රමයක්ද ක්‍රියාත්මක කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන් හරහා අදාළ තොරතුරු එක් රැස් කිරීමට කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. ඉදිරියේදී රට විරුවන්ගේ දූ දරුවන්ට ජනප්‍රිය පාසල්හි කෝටාවල් ලබා දීමටද දැනටමත් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

Comments