සජිත් හෙළි කළ මන්ත්‍රීවරු අල්ලන රහස | සිළුමිණ

සජිත් හෙළි කළ මන්ත්‍රීවරු අල්ලන රහස

සර 3කට පසුව හිතේ හැටියට මැයි දින පෙළපාලි හා රැස්වීම් පැවැත්වීමට අවස්ථාව හිමිවූ නිසා ප්‍රධාන හා කුඩා දේශපාලන පක්ෂ පසුගිය මැයි 01 වැනිදාට යෙදුණු ලෝක කම්කරු දිනය සැමරීමට පියවර ගෙන තිබුණි.

ඉතිහාසය අලුත් කරමින් ජනපති රනිල් ලන්ඩනයට

මහා බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් ලන්ඩනය බලා පිටත්වීමට නියමිතව සිටියද ජනපති රනිල් බදාදා රාත්‍රිය වන තෙක් මෙරට පැවැත්වුණු වෙසක් උත්සවයන්ට සහභාගීවීමට අමතක නොකළේය. බ්‍රහස්පතින්දා අලුයම 3.00 ට කොළඹින් පිටත්වීමට තිබුණත් ඔහු බදාදා රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති භක්ති ගී ප්‍රසංගය නැරඹීමටත් ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටත් අමතක නොකළේය.

ජනපති රනිල් තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට මෙවර යන්නේ මෙරට ඉතිහාසය අලුත් කරමිනි. එනම් චාල්ස් රජුගේ මෑණියන් වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මවුපිය යුවළකගේ පුතණුවන් ලෙසිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ දෙමාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ 1952 පෙබරවාරි මාසයේ පැවැති එළිස­‍ෙබත් රැජිනියගේ කිරුළ පැළදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූයේ අගමැති ඩඩ්ලි සේනානායක සමඟිනි.

ඔහු මෙවර චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගී වන්නේ බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ඉතිහාස පොතට අලුත් පරිච්ඡේදයක් එක් කරමිනි. චාල්ස් රජු සිය රාජාභිෂේකයට සහභාගී වන්නැයි ජනපති රනිල්ට ආරාධනා කළේ ඔහු එළිස­‍ෙබත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේදීය.

ජනපති රනිල් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී නොවුන ද පක්ෂ මහලේකම් ඇතුළු ක්‍රියාකාරීන් සමඟ මෙන්ම රැලියේ ප්‍රධාන සංවිධායකයන් වූ හරීන් සහ මනූෂ සමඟ ද සාකච්ඡා කළේ එය සාර්ථක කර ගැනීම උදෙසාය.

මැයි රැලිය ආරම්භ වීමට පෙර රනිල්ගෙන් සාගලට ඇමතුමක්

ඒ වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරීන් ඉරුදින ජනපති රනිල් මුණගැසුණේ ඔහුගේ නිල නිවසේදී ය. පක්ෂ නායකයා ලෙස ජනපති පිරිසට උපදෙස් දුන්නේ නියමිත වේලාවට රැලිය ආරම්භ කරන ලෙසත් කාලය කළමනාකරණය කරමින් මාතෘකා බෙදාගෙන කතා පවත්වන ලෙසත්ය.

ජනපති උපදෙස් අකුරටම ක්‍රියාත්මක කරමින් සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදි මැයි දින රැලිය පැවැත්විනි. මැයි රැලිය ආරම්භ වීමට ස්වල්ප වේලාවකට පෙර ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක වෙතය.

උත්සවය සජීවීව විකාශය කරන්නේ දැයි විමසු ජනපති එය විකාශය වන නාළිකා ගැන විමසා සිටියේය. ඔහු එය දැනුම් දීමෙන් පසු ජනපති රනිල් සජිවීව මෙය නරඹන බව දැනගත් සාගල එය සිය කතාවේදී ද කීවේ පාක්ෂිකයා උද්යෝගීමත් කරමිනි.

මැයි දින රැලිය අවසන් වීමෙන් පසු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල, සභාපති වජිර අබේවර්ධන ඇතුළු පිරිස මහලේකම් අසලට ගොස් ඔහුට සුබ පැතුවේ ඉතාම සාර්ථක මැයි රැලියක් පැවැත්වූ බව කියමිනි.

“මනූෂටයි, හරීන්ටයිත් ස්තූති කරන්න ඕනේ මේ තරම් ලස්සනට මේක හැදුවේ ඒ දෙන්නත් එකතු වෙලා තමයි.” මහලේකම් කීවේ ඔවුන් දෙපළ පෙන්වමිනි.

“සර්, බීපු මිනිස්සු නෑ. කෑ කෝ ගැසීම් නෑ. මිනිස්සු පිළිවෙළට ඇවිත් වාඩි වුණා. මම හිතන්නේ අද තියපු මැයි රැලිවලින් හොඳම මැයි රැලිය මේක.” කෝට්ටේ සංවිධායක දිනේෂ් කියද්දී සැවොම හිස සැලූහ.

“මේකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ. තරුණයෝ ඉල්ලුවේ මේ වෙනස තමයි. දිනේෂ් වගේ තරුණයෙකුට ඒක තේරුණා.” ජාතික සංවිධායක සාගල කිවේ දිනේෂ්ගේ පිටට තට්ටුවක් ද දමමිනි.

කියුබාවේ පෝලිම් ගැන වජිර කියයි

“ගිය වසරේ අරගලය නිසා මැයි දිනයවත් හරියට තියා ගන්න බැරි වුණා. එදා කියුබාව ගැන මහ උජාරුවෙන් කියපු අයට අද තෙල් නැතුව කියුබාව මැයි දිනය තියා ගන්න බැරිවීම ගැන වචනයක්වත් කියන්නේ නෑ.” වජිර කීවේ සිනාසෙමිනි.

“විපක්ෂයේ කට්ටිය මැයි දිනයක් සංවිධානය කරලා, කොළඹට ඇවිල්ලා ජනාධිපතිතුමාට බැණලා ගියා.” නියෝජ්‍ය නායක රුවන් කීවේ ජනපති දෙස බලමිනි. “කමක් නෑ. මට බනින්න හරි කොළඹ එන්න එයාලට පුළුවන් වුණේ මම තෙල් ටික ගෙනත් දුන්න නිසානේ.” ජනපති සැහැල්ලුවෙන් කියද්දී සැවොම කොක් හැඬලූහ.

රාජකීය - තෝමස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්

අඟහරුවාදා රාත්‍රියේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ කොටුව ජනාධිපති මන්දිරයේ ය. ජනපති රනිල් ද අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන් කොට එහි පැමිණියේ ක්‍රිඩකයන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමට ය. ක්‍රිඩකයන්ගේ ඉල්ලීම මත ජනපති ඔවුන්ව රැගෙන ගියේ මන්දිරය නැරඹීමටය. එහි පෞරාණිකත්වය ගැන ජනපති කළ විග්‍රහය ඇසූ ක්‍රීඩකයන් පුදුමයට පත්වූවේ ඔහුගේ ඉතිහාස දැනුම ගැන අගය කරමිනි.

එහි උඩු මහලේ එක් ස්ථානයක නතර වූ ජනපති රනිල් “ මෙතන තමයි ඉංග්‍රීසි ජාතිකයන් නර්තනයේ යෙදුණු ස්ථානය. මේක තමයි ඩාන්සින් ෆ්ලෝ එක.” එසේ කියමින් ඔහු ඉතිහාස විස්තරයක් කළේය. එය අවසන් කළ රනිල් “හැබැයි පල්ලෙහාත් ඩාන්සින් ෆ්ලෝ එකක් තියෙනවා. ඒකට නම් අපි සම්බන්ධ නෑ.” යැයි ඔහු සිනාසෙමින් කියද්දී ක්‍රීඩකයන් එහි අරුත විමසන්නට වූවේ එකිනෙකාගේ මුහුණ බලමිනි.

වඩිවේල්ගෙන් සජිත්ට දොස්

“මැයි දිනයේ විපක්ෂයට මහලොකු සටන් පාඨ තිබුණේ නෑ. හැබැයි ස.ජ.බෙ වඩිවෙල් සුරේෂ් නම් චමින්ද මන්ත්‍රිතුමා එක්ක බදුල්ලේ රැස්වීමක් තියලා විපක්ෂ නායකතුමාට දොස් කියලා තිබුණා කියලා නම් ආරංචියි.” ඇමැති ප්‍රසන්න කීවේය. “හැබැයි එතුමා උදේ ජනාධිපතිතුමා මුණ ගැසුණා කියලා කිව්වා. පස්සේ හවස එයා යළිත් විපක්ෂ නායකතුමා මුණ ගැසිලා තිබුණා.” මධුර මන්ත්‍රීවරයා ද කීවේ ජනපති දෙස බලමිනි.

“වතු ජනතාවගේ ප්‍රශ්න වගයක් ගැන කතා කරන්න ඕනේ කිව්වා. ඒ ගැන මම කතා කළා.” ජනපති කීවේ කිසිවක් නොවුණු ගානටය.

වැස්සේම දිනේෂ්, බෞද්ධ කොඩිය ඔසොවයි

අගමැති දිනේෂ්, 2567 වන මෙවර ජාතික වෙසක් සතිය නිල වශයෙන් ආරම්භ කිරීමට තෝරාගත්තේ, කොටහේන දීපදුත්තාරාම පුරාණ විහාරස්ථානයයි. ඊට ප්‍රධාන හේතුව වූයේ මීට අවුරුදු 138කට පෙර, ලොව පළමු වරට බෞද්ධ කොඩිය ඔසොවා තිබෙන්නේ එම පන්සල් භූමියේ වීමය. පසුගිය අඟහරුවාදා උදෑසන එම කටයුත්ත යොදා තිබුණද කොළඹට මහා වැස්සක් ඇදහැලෙමින් පැවතිණි. මෙවර බෞද්ධ කොඩිය එසවීමට යොදා තිබුණේ එළිමහන් ස්ථානයකි. මේ බව නිලධාරීයෙක් අගමැතිවරයාට දැන්වීය.

"නෑ, වැස්ස කොහොම වෙතත් යොදාගත්ත විදියට බෞද්ධ ධජය ඔසොවන්න ඕනෙ"

කී දිනේෂ් නියමිත වෙලාවට ම කොටහේන දීපදුත්තාරාම පන්සලට පැමිණියේය. ඒ වනවිටත්, ඇමැති විදුර වික්‍රමනායක, මෙරට තායිලන්ත තානාපතිවරයා, අශෝක ප්‍රියන්ත, ජානක වක්කු‍ඹුර රාජ්‍ය අමාත්‍යවරු, කොළඹ සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා, කොළඹ දිසාපති ඇතුළු පිරිසක් එහි පැමිණ සිටියහ.

ඒ වනවිටත් වැස්ස ඇදහැලෙමින් පැවතියත් අගමැති, අනෙක් පිරිසද සමඟ බෞද්ධ කොඩිය ඔසොවා, 2023 ජාතික වෙසක් සතිය ඇරඹීය.

එහිදී ඩ්‍රෝන යානාවක් මඟින් ආසිරි මල් ඉසිනු ලැබීමද විශේෂත්වයක් විය. එවැන්නක් සිදු කළ පළමු වතාව එය විය.

"මේක සාර්ථකව ක්‍රියාත්මක කළේ, අපේ ගුවන් හමුදාව" කොළඹ සංවර්ධන කමිටු සභාපති යදාමිණි මන්ත්‍රීවරයා කීය. " මේ වැඩේ කරමු කියලා සංකල්පය හඳුන්වාදුන්නේ සහ දුරස්ථ තාක්ෂණ උපදේශකත්වය දුන්නේ, යදාමිණි මන්ත්‍රීතුමා"

ඒ ගැන දන්නා නිලධාරීයෙක්, පැමිණ සිටි අමුත්තන්ට පැහැදිලි කළේය. එය කාගේත් අගය කිරීමට ලක්විය.

ඇමැති ප්‍රසන්නගෙන් යූ ටර්න් එකක්

මෙවර මැයි දිනය සාර්ථක කර ගැනීමට ඇමැති ප්‍රසන්න රණතුංග දිවා රෑ නොබලා වෙහෙසවී වැඩ කළහ.

ඒ වෙනුවෙන් ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම කුඩා ජනහමු පැවැත්වීය. ඒවාට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාර හිමිවීම සම්බන්ධයෙන් ඇමැතිවරයා සිටියේ දැඩි සතුටකිනි.

"මිනිස්සු තවම අපි එක්ක ඉන්නෙ කියල අපි දන්නවා. මේ මිනිස්සුන්ට නායකත්වය දීල එළියට ගන්න ඕන. ඒක අපි මෙවර මැයි දිනයෙන් පටන් ගන්නවා" ඇමැති ප්‍රසන්න ප්‍රසන්න කීය.

"ස.ජ.බටයි, මාලිමාවටයි ඕන අපි බෙදිලා විනාශවෙලා කියල ලෝකෙට පෙන්වන්න.අපි ඒ උගුලට අහුවෙන්න හොඳ නෑ" හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයකු කීය.

"ඒක තමයි මම හැමදාම කියන්නේ. අපි එකතුවෙලා වැඩ කළොත් දිනන එක අමාරු නෑ. ඒක නිසා අපි මේ මැයි දිනය යූ ටර්න් එකක් විදියට පාවිච්චි කරන්න ඕන." ඇමැතිවරයා කීය.

ඒ අනුව මෙවර මැයි දිනයට ගම්පහ දිස්ත්‍රිකයෙන් විශාල පිරිසක් සහභාගී වීය. එය ඇමැති ප්‍රසන්න බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසකි.

මෙවර මැයි දිනය වෙනුවෙන් පොහොට්ටුව මැයිදින පෙළපාලියක් නොපැවැත්විණි.

එහෙත් ඇමැති ප්‍රසන්නගේ නායකත්වයෙන් පැමිණි ගම්පහ ජනතාව දෙමටගොඩ ගුවන් පාළම අසලින් බැස රැලිය පැවැති බොරැල්ල කැම්බල් පිටියට පැමිණියේ පෙළපාලියෙනි. එය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය විය.

ඇමැතිවරයා තමන්ගේ අත තිබූ ජංගම දුරකතනයෙන් ඒ දර්ශන පොහොට්ටුවේ නායකයන්ට පෙන්වීය.

"ප්‍රසන්න දෙයක් කළොත් අහන්න දෙයක් නෑ" ඒ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල්ය.

"අපි මේ පක්ෂය හැදුවෙ ජනතාව වෙනුවෙන්.ඒ නිසා අපි පක්ෂය එක්ක ඉන්නෙ. ඒක නිසා මම බය නෑ සර්" ඇමැති ප්‍රසන්න කීය.

මැයිදිනයේදී ඇමැති ප්‍රසන්න කතාවක් ද පැවැත්වීය.එයටද ඉහළ ජනතා ප්‍රතිචාර හිමිවිය.

රාජිතයි, පාඨලියි පැමිණි සාදය

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් රණවකගේ ඥාති සහෝදරයෙක් වන මංජුල රණවකගේ බුලත්සිංහල, කොබවක පිහිටි නිවසේදී පසුගිය සතියේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙක් එක්ව සිටියහ. හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමැතිවරැන්ටත් සාදයට ආරාධනා කර තිබුණත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ සංවිධාන කටයුතු නිසා ඔවුන් දෙදෙනාට එහි යාමට නොහැකි විය.

එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සමඟ කවදත් පෙනී සිටි මංජුල රණවකගේ සාදයට ව්‍යාපාරිකයින්, වෛද්‍ය වෘත්තිකයින්, නීතීඥයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන්, ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන්, ඖෂධ සමාගම්වල හිමිකරුවන්ද එක්ව සිටියහ.

සාදයට ආරාධනා කරන විට එහි අරමුණු කුමක් දැයි බොහෝ දෙනා විමසා සිටියත් ඒ ගැන මංජුල කිසිදු සඳහනක් කර තිබණේ නැත. ඇතැම් අයට කියා තිබුණේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාදයක් සංවිධානය කරන බවය.

සාදය ආරම්භ කරන වේලාවටම පාඨලී චම්පිකර රණවක මන්ත්‍රීවරයා පැමිණි අතර ටික වේලාවකින් පුවත්පත් කර්තෘවරයෙක් පැමිණියේය.

"මහින්ද චින්තනයත් ඇවිත් තියෙන්නේ" පාඨලී කීවේ සිනාසෙමිනි.

"මම නම් මහින්ද චින්තනයේ හිටියා විතරයි. ඔබතුමා මහින්ද චින්තනය ලියලා, වැඩ කරලා අයින් වෙලා ගියානේ" ඔහුත් සිනාසෙමින් කීවේය.

පාඨලී චම්පික රණවක සියලුම මේස වල සිටි ආරාධිතයින් අතරට ගොස් සුහදව කතා බස් කළේය. මේ අතර නෙත් නිව්ස් ප්‍රධානී හේමන්ත කහවලගේ පාඨලීට දීර්ඝ වේලාවක් දේශපාලන පාඩමක් කියා දුන්නේය. චම්පිකත් සිනාසෙමින් ඒවා අසා සිටියා මිස කිසිවක් කීමට ගියේ නැත.

රාජිත සේනාරන්ත මන්ත්‍රීවරයා පැමිණ සිටියේ සිය බිරිද සුජාතා සේනාරත්න සමඟය. චතුර සේනාරත්න හිටපු මන්ත්‍රීවරයාට සාදයට ආරාධනා කර තිබුණත් ඔහු එහි පැමිණියේ නැත.

රාජිත වට කරගත් වෛද්‍යවරු මෙන්ම මාධ්‍යවේදීන් විමසුවේ ආණ්ඩුවට එක් වන්නේ කවදාදැයි කියාය.

"සෞඛ්‍ය අංශයේ ලොකු කඩා වැටීමක් තිබෙනවා. මේක හදාගන්න ඕන. ඒ්ක කරන්න පුළුවන් ඉතිං ඔබතුමා වගේ කෙනෙක්ට තමයි"සෞඛ්‍ය අංශයේ අය කීය.

පාඨලී හෙළි කළ රහස

"මම ලබන 21 වැනිදා අලුත් දේශපාලන පක්ෂයක් පටන් ගන්නවා. දැන් තමයි ඕක මම ප්‍රසිද්ධියේ කියන්නේ" චම්පික දේශපාලන රහසක් අනාවරණය කළේය. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සමඟ චම්පික වෙනම ස්ථානයකට ගොස් බොහෝ වේලාවක් සාකච්ඡා කරමින් සිටියේය.

ජනාධිපති උපදේශක ආශු මාරසිංහත්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියත් මධ්‍යම රාත්‍රිය වන තුරු මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කරමින් සිටියහ.

“ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අපි හැමෝම සහයෝගය දෙනවා. ජනාධිපතිතුමා මේ වෙලාවේ මේක භාර ගත්තේ නැතිනම් අපිට පාටි නෙමෙයි දාන්න වෙන්නේ, ”මාධ්‍යවේදියෙක් ආශුට කීවේය.

මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ට සජිත්ගෙන් ඇමතුම්

මාධ්‍ය නාළිකා ප්‍රධානීන්, පුවත්පත් කර්තෘවරුන් සමඟ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ හමුවක් පසුගියදා කොළඹ මැන්ඩරින් හෝටලයේදී පැවැත්විණ.

මෙම හමුවට සමගි ජන බල‍වේගයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම සමගි ජන සන්ධානයේ නායකයින් කිහිපදෙනෙක්ම පැමිණ සිටිනු දක්නට ලැබිණ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැමිණෙන විට මාධ්‍යවේදීයෙකු ප්‍රකාශ කළේ “අම්මෝ හකීම් මන්ත්‍රීතුමා අල්ලගන්න තියෙන අමාරුව” “කෝල් කොච්චර ගත්තත් අන්සර් කරන්නේ නැහැ” මාධ්‍යවේදීයා කියපු කතාවට හකීම් සිනහවකින් ප්‍රතිචාර දැක්වු අතර ඊට සජිත් නම් කදිම පිළිතුරක් ලබාදුන්නේය.

“මන්ත්‍රීවරුන් පහසුවෙන්ම කෝල් එකකට අල්ලගන්න ක්‍රමය මං කියන්නම්”යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

“ඒ මොකක්ද? කියා දැනගැනීමට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ සජිත් ප්‍රේමදාස දෙසටය.

“මන්ත්‍රීවරුන් කෝල් එකට අල්ලගන්න බැරිවුණොත් මං කරන්නේ ඒ මන්ත්‍රීතුමාගේ වයිෆ්ට කෝල් එකක් දෙන එකයි. මන්ත්‍රීවරුන් හරිම ලේසියෙන් අල්ල ගන්න පුළුවන්” යනුවෙන් සජිත් ප්‍රේමදාස කියපු කතාවට හැමෝම සිනාසුනහ.

සුගතදාස ක්‍රීඩාංගණයේදී වජිරට ඉහළ ප්‍රතිචාර

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය පසුගිය සඳුදා උදෑසන කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රැලිය ආරම්භ කිරීමට ප්‍රථම සුගතදාස පිටියට රැස්ව සිටි පාක්ෂිකයින් තම පක්ෂයේ නායකයින් පැමිණෙන තෙක් මඟ බලා සිටියේ ඔවුන්ව ඉතා උණුසුම්ව පිළිගැනීමේ අරමුණිනි.

කෙසේ හෝ වජිර අබේවර්ධන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණෙන විට පාක්ෂිකයින්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිණි.

“ජයවේවා,,අපේ පක්ෂයේ සභාපතිතුමාට ජයවේවා,

රට බේරගන්න පෙරට ආ නායකයාට ජයවේවා,”

රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති ධුරයට පත් කරන්න ඔබතුමා තමයි කැපවුණේ. ඒ ගැන අපි ඔබතුමාට ස්තූති වෙනවා.“

ආදී වශයෙන් පැමිණ සිටි ජනතාව වජිරට සුභ පතන්නට විය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව මැයි දින රැලිය ආරම්භ විය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ජනාධිපති උපදේශක සාගල රත්නායකගේ කතාව තිබුණේ ඉන් අනතුරුවයි. රැලිය සඳහා පැමිණ සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ටත්, සංවිධායකයවරුන් ඇතුළු පාක්ෂිකයින් සියලුදෙනාටත් රැලිය සාර්ථකව සංවිධානය කරගැනීමට සහය දැක්වූ වජිර අබේවර්ධනටත් සාගලගේ කතාව අතරතුරදී සිය ස්තූතිය පළකර සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ රැලිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුගතදාස ක්‍රීඩාංගණය පරිශ්‍රයට නොපැමිණියත් ඔහු මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයේ සජීවි තාක්ෂණය ඔස්සේ නරඹන ලදි.

ජනාධිපතිතුමන් රැස්ව සිටි පිරිස මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇමතීමද එක්සත් ජාතික පක්ෂ රැලියේ විශේෂත්වයක් විය. සිය කතාව අතරතුරදී තමන් රට භාරගන්නා විට රට තිබූණු තත්ත්වය ගැනත්, අද වනවිට තමා ගත් ක්‍රියා මාර්ග නිසා රට දැන් තිබෙන තත්ත්වය පිළිබඳවත් දීර්ඝ ලෙස පැහැදිලි කර අතර රට තවදුරටත් ලෝකය හමුවේ ඉදිරියට ගෙනයාමට සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමන්ගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතීමට අවස්ථාව උදා වුණේ වජිර අබේවර්ධනටයි.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධවත්, අද රටේ ජනතාව නිදහසේ ජීවත් වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා බවත්, ඔහු සිය කතාව පුරා ප්‍රකාශ කළේය.

ගුණසිංහපුර‍ෙය්දී අවදි වූ ප්‍රේමදාස මතක

සමගි ජන බලවේගය සිය පක්ෂයේ දෙවැනි මැයි දින සැමරුම වෙනුවෙන් මහත් උනන්දුවෙන් කටයුතු කරනු ලැබීය. 

විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් විසින් මැයි දිනය වෙනුවෙන් කමිටුවක් පත් කළ අතර නිරන්තරයෙන් ඔවුන් හමුවී මැයි රැලිය සහ පෙළපාලිය පවත්වන ආකාරය පිළිබඳව සැලසුම් සකස් කළහ.

සමගි ජන බලවේගය මුලින්ම අවධානය යොමු කොට තිබුණේ සිය රැලිය ගෝල්ෆේස් ක්‍රීඩාංගණය පැවැත්වීමටය. ඒ උදෙසා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැයි දින කමිටුව සමඟද සාකච්ඡා කළේය.

"ගෝල්ෆේස් එක ගන්න පුළුවන්නම් හරිම වටිනවා. රට වටෙන්ම එන ආරංචිත් එක්ක අපේ පාක්ෂිකයෝ විශාල පිරිසක් රැලියට එන්න උනන්දුවෙන් ඉන්නවා."

ගයන්ත කරුණාතිලක කීවේය.

"ඔව්,අනිත් එක අපි අරගලය එක්ක හැමදාම හිටියා.විපක්ෂයේ සමහර පක්ෂ අවස්ථාවාදි විදිහට අරගලය මඟහරින කොට අපි දිගටම අරගල එක්ක හිටියා. එලෙස අපිට ගෝල්ෆේස් එක ලැබෙනවා නම් මාර වටිනවා"

එහෙම කිව්වේ නලීන් බණ්ඩාරය.

කොහොම වෙතත් ගෝල්ෆේස් ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට සමගි ජන බලවේගය ට ඉඩ ලැබුණේ නැත. අවසාන වශයෙන් ඔවුන්ට තෝරා ගන්නට සිදුවුණේ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණය ය.

කෙසේ වෙතත් එහිදී ගුණසිංහ ක්‍රීඩාංගණය සමගි ජන බලවේගය මැයි රැලියට ලැබීම ඓතිහාසික වශයෙන් ද වැදගත් විය. ඒ බව සිහිපත් කළේ විපක්ෂ නායක සජිත් ය.

"මේ ග්‍රවුන්ඩ් එක අපිට මදි බව ඇත්ත.හැබැයි මේ ග්‍රවුන්ඩ් එක ඒ.ඊ. ගුණසිංහ මහත්මයාගේ නමින් ඉදි කරපු ග්‍රවුන්ඩ් එකක්. එතුමා තමයි ලංකාවේ පළවෙනි මැයි රැලිය තිබ්බේ.ඒ විතරක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දේශපාලනය ආරම්භ කළෙත් ඒ ඊ ගුණසිංහ මහත්තයත් එක්ක." ඒ මුජ­ිබර් රහුමාන් ය.

අජිත් රාජපක්ෂට කොසෝවෙන් ආරාධනාවක්

මේ දිනවල දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ලෝක සාම සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට එහිදී විදෙස් රටවල රාජ්‍ය නායකයින් හා විදේශ අමාත්‍යවරුන් කිහිප‍දෙනෙකුම හමුවිය.

කොසෝවෝ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇල්බින් කූරීන් හමු වු අවස්ථාවේදී අජිත් රාජපක්ෂට ආරාධනා කර ඇත්තේ කොසෝවෝ රාජ්‍යයේ සංචාරයකට පැමිණෙන ලෙසයි. ශ්‍රී ලංකාව හා කොසෝවෝ රාජ්‍ය අතර සම්බන්ධකම් තවදුරටත් වර්ධනය කරගත යුතු බවත්, ඒහෙයින් සංචාරයකට පැමි‍ෙණන ලෙසත් කොසෝවෝ අග්‍රාමාත්‍යවරයා අජිත් රාජපක්ෂට ප්‍රකාශ කර ඇත.

මනූෂ ගංගාරාමයේදී ආගමික වතාවත්වල

මනූෂ නානායක්කාර ඇමැතිවරයාගේ බිරිය, ශානිකා නානායක්කාරගේ උපන්දිනය යෙදී තිබෙන්නේ මැයි පළමුවැනිදාටය. මැයි දින සැමරුම් සමඟින් බොහෝ වසරවලදී උපන්දින සැමරුම අතපසු වන්නේ මනූෂ මැයි දින රැලි සංවිධානයට සහභාගී වන නිසාය.

මෙවර මැයි පළමුවැනිදාත් මනූෂ වෙනදාටත් වඩා කාර්යබහුල වී තිබුණේ ඔහු කම්කරු ඇමැතිවරයාද වන නිසාය. මැයි දින සැමරුම් සංවිධාන කටයුතු අතරවාරයේදී බිරිදයගේ උපන්දිනය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් කිහිපයක් සංවිධානය කිරීමට මනූෂ කල් ඇතිව කටයුතු කර තිබුණේය. ඒ අනුව දහවල් දානය සහ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනට දායකත්වය ලබාදීමට කටයුතු කළේය.

Comments