අඩු ආදායම්ලාභී පවුල් 500කට වියළි ආහාර මලු ප්‍රදානය කෙරේ | Page 2 | සිළුමිණ

අඩු ආදායම්ලාභී පවුල් 500කට වියළි ආහාර මලු ප්‍රදානය කෙරේ

ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් රටේ සෑම ක්ෂේත්‍රයකම නව ප්‍රවර්ධනයක් ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
 
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ අවිසාවේල්ල ආසනයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් 500ක් සඳහා වියළි ආහාර මලු බෙදාදීමට පසුගිය 25 දා අවිසාවේල්ල, කොස්ගම Lavenro Garden උත්සව ශාලාවේ පැවති වැඩසටහනට එක් වෙමිනි.
 
“රට දිනවන නායකත්වය සමඟ පෙරටම” යන තේමාව යටතේ අවිසාවේල්ල එ.ජා.ප. ආසන සංවිධායක අමල් පුස්සැල්ලගේ මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සංවිධානය කර තිබිණි.
 
වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බංකොළොත් වූ රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආර්ථික පසුබෑමෙන් රට ගොඩගැනීමට ගත් උත්සාහයේ ප්‍රධාන අංගයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු කළ බව ද සාගල රත්නායක මහතා පැවසිය.
 
එමෙන්ම අපේ රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා දුන් ණයහිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා ණය ගෙවීම සඳහා යම් සහන කාලයක් ලබා ගැනීමට එම රටවල් එකඟකර ගෙන තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
 
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමණාකාර ලසන්ත ගුණවර්ධන මහතා ඇතුලු සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

Comments