IMF සහනය ජනහිතකාමීද නැද්ද? | සිළුමිණ

IMF සහනය ජනහිතකාමීද නැද්ද?

ට තිබුණේ බරපතළ ආර්ථික ව්‍යසනයකය. මේ ගිලී ඇති මහා ගොහොරුවෙන් ගැලවිය හැකි බවට ප්‍රායෝගිකව ගෙනා එකම බලාපොරොත්තුව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ය. එහි මුල් වාරිකය අනුමත වී ඇත. මේ ලැබුණු IMF ණය සහනය ගැන රටේ විවිධ දේශපාලන අදහස් දරන විද්වතුන්ගේ මතය කුමක් ද? මේ ඒ සම්බන්ධව සිළුමිණ කළ කෙටි විමසුමකි. 

මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ රටේ සිටිනා විද්වතෙකි. පොදුජන පෙරමුණේ පාර්ල­ිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වියත් මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණෙන මහාචාර්ය රංජිත් බණ්ඩාරට අනුව මෙය දිගු ගමනකට විවර වූ කෙටි කාලීන ආර්ථික ප්‍රවේශයකි.

“IMF මූල්‍ය සහනය අපේ රටේ තිබෙන සියලුම ප්‍රශ්නවලට එකම උත්තරය නෙමෙයි. නමුත් මේ ඔස්සේ විවිධ මට්ට්මවලින් උපකාර ලබා ගන්න මාර්ග ලැබෙනවා. ඒ හේතු අතර පළවෙනි එක තමයි අපේ ආර්ථිකයේ තිබෙන වර්තමාන තත්ත්වය නිසා ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශ්වාසයක් ගොඩනැඟී නැති වීම. දැන් ඒ විශ්වාසය ගොඩනැඟෙනවා. ඊළඟට අපට විශ්වාස කරන්න, අපට ගනුදෙනු කරන්න පුළුවන් අය පැකිළීමකින් තොරව අප එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. මේ අවස්ථාව අපි ප්‍රයෝජනයට අරන් රටේ දීර්ඝ කාලයක් තිස්සේ කර ගන්න බැරි වුණු සමහර ආර්ථික ප්‍රතිසංස්කරණ වහා කළ යුතුයි. මේවා කෙටි කාලීනව වේදනාත්මක වුණත් දිගු කාලීනව සහනයක් ලබා ගන්න නම් මේ තිත්ත කසාය බොන්නම වෙනවා. අයි. එම්. එෆ්. මූල්‍ය සහනයෙන් දැන් සියල්ලට විසඳුම් ලැබුණා. යන මිථ්‍යාවෙන් එළියට ඇවිත් මේ ඇත්තට අපි මුහුණ දෙන්න ඕන.

ලැබෙන ණය මුදල කළමනාකරණය කර ගැනීමට දේශපාලන කැමැත්තක් අවශ්‍යයි. සමහර අවස්ථාවල ගන්න වෙන දේශපාලන තීන්දු තීරණ දේශපාලනිකව සිය දිවි හානි කර ගැනීම් වගේ වුණත් එවැනි තීරණ නොගත්තොත් අපිට හැමදාම මේ වගේ හිඟන්නගෙ තුවාලය පාරලා ඒ තුවාලය පෙන්නලා අත පානව වගේ වැඩක් තමයි කරන්න වෙන්නේ“.

රටේ වැදගත්ම වගකීම් දැරූ අත්දැකීම් බහුල දේශපාලකයෙක් වන මහාචාර්ය ජී.එල් පීරිස් කියන්නේ මේ ගිවිසුම වඩාත් පුළුල් සංවාදයකට ලක් කර පාර්ලිමේන්තුවට රැගෙන අවා නම් රටට යහපත් බවය.

“ මීට වඩා සුදුසුම ප්‍රතිපත්තිය වෙලා තිබුණු කාර්ය මණ්ඩලීය ගිවිසුම සැප්තැම්බර් මාසයේ දී අත්සන් කළ පසු කිහිපවතාවක්ම පාර්ලිමේන්තුව ඉල්ලා සිටියා ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යයයි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තුවටයි හුදු මුදල් පරිපාලන බලය තියෙන්නේ. ඒ හරහා ජනතාව දැනගන්න ඕන.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබෙන්නේ ආණ්ඩුවකට නෙමෙයි. රටේ ජනතාවට. ආණ්ඩුව හරහා රටේ ජනතාවට ඒ ආධාරය සපයා දෙනවා. නමුත් මේ ගිවිසුමේ කිසිම තොරතුරක් පාර්ලිමේන්තුවට හා ජනතාවට ඉදිරිපත් කළේ නෑ.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණට පස්සේ තමයි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතකොට කාටවත් කිසිවක් ඉදිරිපත් කර වෙනසක් කරන්න පුළුවන් කමක් නෑ. එය සම්පූර්ණයෙන් නුසුදුසු ක්‍රමවේදයක්. ජනතාව සමඟ සියලු තොරතුරු හුවමාරු කරලයි මෙය ඉදිරියට ගෙන යා යුත්තේ. ජනාධිපතිවරයා කීවේ අප්‍රේල් මාසයේ 03 වන සතියට පෙර මේකට අනුමැතිය දෙනවද නැද්ද යන්න පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි කියලා.

මෙහි අභ්‍යන්තර අනුගතය ඉතා පරිස්සමින් සලකා බැලිය යුතුයි. මෙහි සමහර දේවල් වලට එකඟ විය නොහැකි බව අපි මුල සිටම කිව්වා. එකක්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. එය කරන්න ගියොත් විශාල අර්බුදයකට මුහුණ පාන්න සිදු වෙනවා. සේවක අර්ථ සාධක අරමුදල ප්‍රතිව්‍යුහග කළොත් එතන තියන මුදල්වල අගය 30-35 % අඩු වෙනවා. ජීවිතේ සන්ධ්‍යා කාලය වැඩ කරන මිනිහෙක් විසින් ගත කරන්න උපයා ගත් මුදල ඒ විදිහට අඩු වෙනකොට ඒ මනුස්සයට ජීවත් වෙන්න බැරි වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කෙරුවොත් මහ බැංකුව ඇතුළු දේශීය බැංකු පද්ධතියට බරපතල ප්‍රශ්න ඇති වෙනවා.

මෙය ක්‍රියාත්මක කිරීමේ දී අඩුම ආදායම්ලාභින්ට තමයි ලොකුම බර උසුලන්න වෙන්නේ. ඒ අය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියලා තියනවා සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍යයයි කියලා. නමුත් එය ප්‍රායෝගිකව ස්ථාපිත වෙලා නෑ.

මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී ජීවන වියදම, පොලී අනුපාතය, උද්ධමනය සම්බන්ධ ප්‍රශ්න තියනවා. ඒවාට මුහුණ දෙන්න අඩුම මූල්‍ය සම්පත් සහිත සමාජ කොටස්වලට ආරක්ෂක දැල මුලින්ම සපයා දිය යුතුයි. එයට පසුවයි මෙම යෝජනාවලිය ක්‍රියාත්මක විය යුත්තේ. “ 

IMF වෙතින් ලද අනුමැතිය පිළිබඳ විපක්ෂය වෙනුවෙන් මුලින්ම ධනාත්මක ප්‍රතිචාරයක් සහිතව වෘත්තීමය අදහස් දැක්වීමක් සිදු කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ආර්ථික විද්‍යා අංශයේ ප්‍රභූ විද්වතෙක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වාය. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම සහනය ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම බෙහෙවින්ම අගය කරන බවය. 2020 වසරේදී මෙම පියවර ගනු ලැබුවේ නම්, රටේ ජනතාව මෙතරම් පීඩාවට පත්නොවන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

" IMF වෙතින් සහනයක් ලැබුවා. විස්තීර්ණ ණය පහසුකම අනුමත වී තිබෙනවා. අපේ දේශපාලන මතවාද නොසලකා ඒ කාර්යය වෙනුවෙන් කැප වීම පිළිබඳ ජනාධිපතිවරයා අගය කළ යුතුයි. රජයේ මහ බැංකුවේ වෘත්තීයභාවය අගය කළ යුතුය.

අපි ඉදිරියට බලමු. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දුෂ්කර වුණත් ප්‍රතිසංස්කරණ ප්‍රධානයි. තිරසර විසඳුම වන්නේ බිත්ති කඩා ලෝකයට පාලම් තැනීමයි."

මෙරට වාමාංශික ව්‍යාපාරයේ සටනකාමියෙක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පුරෝකථනය කරන්නේ මේ IMF ණය කොන්දේසි වැඩ කරන ජනතාවගේ ජීවිත කඩා දමනු ඇති බවය. “මේ IMF ණය සහනය මා දකින්නේ මෙය රටේ පොදු ජනතාවගේ බෙල්ල වටේ වැටුණ තවත් තොණ්ඩුවක් හැටියටයි. ඩොලරයේ රුපියලේ අන්තරය අතර අපට වාසිදායක වෙනසක් වුණත්, ණය ගිවිසුමෙන් සංචිතය ශක්තිමත් වුණත් මෙහි දුර්ගුණ රාශියක් තියෙනවා.

මේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ දී මේ රටේ පොදු ජනතාවගේ ජීවන මට්ටම විශාල වශයෙන් පහළට කඩා වැටෙනවා. ජනතාවට වෙන්නේ වැඩියෙන් වැඩ කර අඩුවෙන් පරිභෝජනය කරන්න. ඉලක්කගත ආකාරයට අපි සංවර්ධන කටයුතු කළමනාකරණය කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. නමුත් මේ ණය සහනයේ තියන මූලිකම දුර්ගුණය වෙන්නේ ශ්‍රමයේ අගය පහළ වැටීම. අඩු වැටුපකට සේවක ජනතාව වැඩි කාලයක් වැඩ කළ යුතුයි.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්තිට අනුව IMF ණය සහනයක් සේ පෙනුණත් එයින් ඇති කරන්නේ දිගු කාලීන ආර්ථික අර්බුදයකි. ඔහුගේ දේශපාලන මතවාදය විශ්වාස කරන්නේ රට ගොඩ නැගීය හැක්කේ ලෝකයෙන් ණය ගැනීමෙන් නොව රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් බවය.

“IMF එකට ලෝකයේ රටවල් සඳහා තිබෙන්නෙ එකම ආකෘතියක්. එය එකම සපත්තුවක් නම් ඒ සපත්තුවට අපේ කකුල ඇතුළු කරන්න අපට ගොඩාක් දේවල් කපලා අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ අයගේ යෝජනාව එයයි. මුදල් අවශ්‍ය නම් අපේ ආර්ථිකයේ ඒ අය නියම කරන වෙනස්කම් කළ යුතුයි.

උදාහරණයක් ලෙස මහ බැංකුව ස්වාධීන කිරීම.එයින් සිදු වෙන්නේ ස්වාධීනත්වයට වඩා වෙනත් විදිහටකට පාලනය වීමයි. ඊළඟට මිල ගැළපීම. ඉන් අදහස් වෙන්නෙ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් වියදම් කරන්න නෑ යන්නයි. ජනතාවට වියදම් කරන්න රජයෙන් සල්ලි දෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ඔවුන් කියන්නේ විදුලි ඒකකයක් හදන්න යන මිල ජනතාවගෙන් අය කරන්න කියලා. ජනතාවගේ විදුලි බිල ඉහළ යන්නේ ඒ නිසා. ලාභ ලබන රාජ්‍ය ආයතන පවා විකිණීම, මූල්‍ය වෙළෙඳපල ලිහිල් කිරීම වැනි යෝජනා ගත්තම කෙටි කාලීනව මේ මෙහොත පන්නා ගන්න මේ මුදල ලබා ගත්තත් මේ පනවන IMF කොන්දේසි අපේ රටට විතරක් නෙමෙයි මෙතෙක් ක්‍රියාත්මක කළ කිසිම රටකට දිගුකාලීනව වාසි අත්වෙලා නෑ.

විස්තීර්ණ ණය මුදලක් IMF එකෙන් ගන්න පළවෙනි රට ලංකාව නොවෙයි. අප දන්න ඉතිහාසය අනුව IMF යෝජනා ක්‍රියාත්මක කර දියුණු වෙච්චි රටක් නෑ. ග්‍රීසිය, වෙනිසියුලාව, කෙන්යාව, ලෙබනන් ගත්තත් ප්‍රතිඵලය එකමයි.

මේ මොහොතේ තාවකාලිකව ඩොලර් මිලියන 333ක් වෙනුවෙන් මේ කරන දේ ඇතුළෙ අපට හිමිවන දේට වඩා අහිමි වෙන දේවල් විශාලයි.

මේ ණය හරහා මාසෙකට ලැබෙන්නේ දළ වශයෙන් ඩොලර් මිලියන හැටයි. ඉන් ජාත්‍යන්තරව එකඟ වෙන මූල්‍ය පසුකම් ලැබෙන බව ඇත්ත. නමුත් කිසිම කොන්දේසියක් නැතිව සංචාරක කර්මාන්තයෙන් මාසෙකට එනවා අපට ඩොලර් මිලියන 250ක්. විදේශගත ශ්‍රී ලාංකිකයො කොන්දේසි දාන්නෙ නැතිව මාසෙකට අපට එවනවා ඩොලර් මිලියන 400ක් විතර. අපනයන ආදායම දියුණු කරනවා නම් මාසෙකට ඩොලර් බිලියනයක් ගන්න පුළුවන් අපට කොන්දේසි නැතිව.

මහන්සි වෙලා මීට වඩා රටේ ආදායම වැඩි කරන්න දියුණු කරන්න හිතනවා නම් අපට මේ රට දියුණු කරන්න පුළුවන්. අනික IMF එක කියන විදිහටම ඩොලර් බිලියන 83ක් 2023 වන විට ණය වුණු රටක ඒ ණය ගත්ත පාලකයෝම මේ ණය මුදල කළමනාකරණය කරයි කියලා විශ්වාස කරන්න අපහසුයි. වෙනස් විය යුත්තේ මේ දූෂිත දේශපාලන සංස්කෘතියයි.

Comments