IMF මුදලෙන් රට ගොඩ ගන්නේ කොහොමද? | Page 2 | සිළුමිණ

IMF මුදලෙන් රට ගොඩ ගන්නේ කොහොමද?

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ගණ­කා­ධි­ක­රණ අංශයේ හිටපු ප්‍රධානී මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම්, කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සහ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමා­ජ­යීය විද්‍යා පීඨයේ මහා­චාර්ය ශිරන්ත හීන්කෙන්ද
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අභ්‍යන්තර සහ බාහිර ලෙස දෙයාකාරයෙන් පීඩාවට පත්ව සිටියි. අභ්‍යන්තර ලෙස ගත් කල රජයේ ආදායම් වියදම් අතර පවතින දැඩි හිඟය හේතුකොට ගෙන විශාල අය වැය පරතරයක් දිගින් දිගටම පැවැතුණි. බාහිර ලෙස ගත හොත් ආනයන අපනයන අතර පුළුල් පරතරයක් ඇති වෙමින් වෙළෙඳ හිඟය රටට අවාසිදායි ලෙස දිගු කලක් තිස්සේ පවතියි. මෙම දෙයාකාර ගැටලුවට තිරසර ප්‍රතිපත්තිගරුක වැඩපිළිවෙළක් ඔස්සේ පිළියම් නොයැදීම නිසා රට අසීරු අගාධයකට තල්ලු විණි. එම අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමක් ලබා ගැනීමට ඉල්ලුම් කළේය. වසරකට කිට්ටු කාලයක් තිස්සේ සංකීර්ණ ක්‍රියාවලියක් හරහා එය දිනාගෙන ගැනීමට සමත්වී තිබේ. මෙම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාව මුහුණදී සිටින අසාධ්‍ය තත්ත්වයෙන් මුදා ගැනීමට සමත් ඖෂධයක් වේද? මේ පිළිබඳව අප ආර්ථික විද්වතුහු පැවැසූයේ මෙවන් අදහසකි.

 

IMF මූල්‍ය පහසුකම මනා මූල්‍ය විනයක් සහ විධිමත් කළමනාකාරිත්වයක් ඔස්සේ භාවිතයට ගත යුතුයි
- කැබිනට් ප්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝග දෙකකි. එකක් වනුයේ පුනරාවර්ථන වියදම් හෝ පියවා ගැනීමට සමත් නොවන රජයේ ආදායම් ලැබීමය. රජයේ ආදායම් වසරින් වසර අඩුවී තිබේ. මේ නිසාම රජයේ වාර්ෂික අය වැය පරතරය දිගින් දිගටම පුළුල් වී ඇත. දෙවැන්න වෙළෙඳ හිඟයයි. දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩිය. මේ නිසා වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ. මෙම අය වැය හිඟය අභ්‍යන්තර ලෙස ද වෙළෙඳ හිඟය බාහිර ලෙස ද රටේ ආර්ථිකය පීඩාවට පත් කොට ඇති කරුණු දෙකකි. මෙම දෙකෙහි පීඩාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් දේශපාලන පක්ෂ පාට භේදවලින් තොරව ස්වාධීනව රට ජාතිය ගැන ගැඹුරින් සිතා ආර්ථික ප්‍රතිසංස්කරණ වහා ඇති කළ යුතුය. එහිදි දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමේදී බදු ප්‍රතිපත්තිය දැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය විකිණීම දෝෂයක් ලෙස සමහරු දකිති. නමුත් රජයේ ආදායම් වැඩි කර ගැනීමකින් තොරව සමාජ සුබසාධනය, ආර්ථික සංවර්ධනය, ජාතික ආරක්ෂාව යනාදී ක්ෂේත්‍ර ශක්තිමත් කළ හැකි දැයි ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමෙන් මෙරට ආර්ථිකයට එහි සුවපත්භාවයට ඖෂධ සැපයීමක් වීමට නම් මනා මූල්‍ය විනයක් ඇතිව එම මුදල් පරිහරණය කළ යුතුය.

මේ අවස්ථාවේදී එක් කරුණක් දැඩිව අවධාරණය කළ යුතුය. එනම්, මින් පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගත්ත ද අප ඔවුන් සමඟ එකඟ වූ එකඟතාවන් එපරිද්දෙන්ම ඉටුකිරීමට පියවර ගෙන නොමැත. එසේ වීමට මෙවර නම් ඉඩක් නොතැබිය යුතුය. අප එසේ කියනුයේ ඔවුන් සමඟ එකඟ වූ එකඟතාවයන් ඉටුකිරීම මනා මූල්‍ය විනයක් සහ විධිමත් මූල්‍ය කළමනාකරණයක් ස්ථාපිත කිරීමට ඉවහල් වන බැවිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර 2016 අප රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ණය පහසුකමක් ලබා දුනි. ඉන්පසු ඔවුන් රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම, රජයේ ආදායම් වැඩි කර ගැනීම, රාජ්‍ය මූල්‍ය පාලනය විනය ගරුකව ඉටුකිරීම, ව්‍යවසායන් ලාභදායීව පවත්වාගෙන යෑම, නම්‍යශීලිකරණ උද්ධමන ක්‍රමවේදයක් ඇති කිරීම, වෙළෙඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම වැනි සය වැදෑරුම් ඉලක්කයන් අප සපුරා ගනු ඇතැයි අපේක්ෂා කළහ. නමුත් අපට එය ඉටුකිරීමට හැකි නොවුණි. මෙවර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය පහසුකම් ලබාදෙමින් ඊට සමාන ඉලක්ක ජය ගැනීමට අප විසින් කළ යුතු කාර්යයන් ලේඛනගත කොට ඇත. එය මෙවර අනිවාර්යෙන්ම ඉටුකිරීමට පියවර ගත යුතුය.

ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ණය ලබාගන්නවාට අමතරව විදේශීය ණය ලබා ගැනීමට ද කටයුතු කොට ඇත. එලෙස ලබා ගත් ණය ආපසු ගෙවීමට නොහැකිව බංකොලොත් වූ ආර්ථිකයක් බවට රට පත් විය. වසර 2015, 2019 කාලයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 12කට වඩා වැඩි මුදලක් විදෙස් ණය ලෙස ලබා ගෙන ඇත. වසර 2019දී දස අවුරුද්දකින් කල්පිරෙන ස්වෛරීත්ව බැඳුම්කර ලබා ගෙන ඇත. මේවා කල්පිරෙනුයේ 2029 දීය. ඊට ප්‍රථම අප ලබා ගත් විදේශ ණය කල්පිරුණු ඒවා ගෙවීමට දැන් සිදුව තිබේ. එම ක්‍රියාවලිය නිසි ලෙස ඉටුකිරීමට නොහැකිව ඒවා ප්‍රතිව්‍යුහගතකරණයට මඟපාදා ගැනිණි. දැන් එළඹ තිබෙනුයේ පෙරදාටත් වඩා වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියා කළ යුතු කාලයකි. දූෂණය වංචාව පිටුදැක රට ජාතිය ගැන සිතා විදෙස් ආයෝජන, දේශීය කර්මාන්ත නඟා සිටුවා කර්මාන්තකරණයක් ඇති කොට නිෂ්පාදන ආර්ථිකයක් කරා අප යොමු විය යුතුය. අපේ කර්මාන්ත ශක්තිමත් කළ යුතුය.

මේ වන විට රාජ්‍ය සේවක වැටුප් බිල, විශ්‍රාම වැටුප් දීමනා සහ රාජ්‍ය අංශයේ අනෙකුත් එදිනෙදා වියදම් පියවා ගැනීමට මාර්තු මාසයට රුපියල් බිලියන 196ක් අවශ්‍යව ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එනමුත් මේ මාසයේ රජයේ ආදායම ලෙස එකතු වන්නේ රුපියල් බිලියන 173ක් පමණ මුදලකි. ඒ නිසා අත්‍යවශ්‍ය වියදම් සඳහා අවශ්‍ය රුපියල් බිලියන 26ක හිඟයක් පවතී.

මෙතෙක් කලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 16 වතාවක් ණය පහසුකම් ගත් ශ්‍රී ලංකාවට එය පිරිනමා තිබුණේ ආනයන අපනයන අතර පවතින ගෙවුම් තුලන හිඟය සහ විදේශ විනිමය අනුපාතික ඉහළ පහළ යෑම සමනය කිරීමට පමණයි. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අය-වැය හිඟය මූල්‍යකරණයට ද යම් කොටසක් වෙන් කිරීමට ඉඩ දීම සැනසිලිදායක තත්ත්වයකි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අභියෝගය වූයේ විදෙස් ණය නියමිත පරිදි ආපසු ගෙවීමට නොහැකි වීමයි. ඒ නිසාම විදේශ ණය ආපසු ගෙවීමට සහන ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියකට පියවර ගැනිණි. එහිදී ණය හිමියන් විශාල සේවයක් ඉටු කළේය. ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඔවුන් කැමැත්ත පළ කළහ. ඒ අනුව අපට දැනට මේ ණය මුදල හිමි වී තිබේ. අපට දැන් තිබෙන්නේ අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමයි.

ජාතියේ වාසනාවකට අපට මෙම ණය මුදල අනුමත නොවුනි නම් කවුරු ආණ්ඩු කළත් රට ගෙන යා හැක්කේ සති දෙකක කාලයක් පමණි. අපට අවශ්‍ය ඉන්ධන, බෙහෙත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අමුද්‍රව්‍ය කිසිවක් ගෙන්වා ගැනීමට මුදල් තිබුණේ නැත. මෙවර ලැබුණු ණය මුදල නිසා එම කටයුතු කර ගැනීමට හැකියාව ලැබී ඇත. මේ වනවිට එළැඹ ඇත්තේ අමාරුම කොටස ඉටු කිරීමේ කාලයයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කළ යුතුයි. මෙහිදී ජනතාවත් යම් යම් කැපකිරීම් කළ යුතුයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස විදෙස් ණය ආපසු ගෙවීමේ අපහසුතාවෙන් පෙළෙන බවට පාර්ලිමේන්තුවත්, රටේ ජනතාවත් දැනුම්වත් කර ඇත. එය සිදු කළේ 2017 වාර්ෂික අය-වැය වාර්තාව හරහායි. එම වාර්තාවට අනුව වසර 2019, 2020, 2021 සහ 2022දී විදෙස් ණය ගෙවීම අර්බුදකාරී සහ අභියෝගාත්මක එකක් වන බවට අනතුරු ඇඟවීමක් කර තිබුණි. එය එදා අය-වැය වාර්තාවේ රතු පාටින් සලකුණු කර ඇත.

අය-වැය හිඟය, විදේශ වෙළෙඳාමේ පවතින දැඩි අහිතකර ආනයන අපනයන පරතරය, රාජ්‍ය ණය වැනි ආර්ථිකයට දරා ගත නොහැකි ව්‍යසනයන්ගෙන් මිදීමට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මනාව සිදු කිරීම සම්බන්ධයෙන් කළ යුතු ව්‍යුහාත්මක තාක්ෂණික ක්‍රියාදාමයන් පිළිබඳ මනා අවබෝධයක් තිබූ එකම ජනාධිපතිවරයා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයන්ය.

රටේත්, ජනතාවගේත් ආර්ථික අභිවෘද්ධිය ළඟා කර ගැනීමට මහත් අභියෝගයක්ව පවතින දැඩි අය-වැය පරතරය, ඉහළ වෙළෙඳ හිඟය, රජයට දැරිය නොහැකි දෙස් විදෙස් ණය කන්ද සහ ආර්ථික වර්ධන වේගය අඩාළ කරන බලවේග දුරලීමට දුර දක්නා වැඩපිළිවෙළක් සහ එම ගැටලුවට විසඳුම් ලෙස සිදු කළ යුතු ව්‍යුහාත්මක තාක්ෂණික කරුණු පිළිබඳව මනා අවබෝධයක් තිබූ වත්මන් ජනාධිපතිවරයා එදා වසර 2003 අංක 3 දරන මූල්‍ය වගකීම් කළමනාකරණ පනත ඉදිරිපත් කළහ.

එදා වසර 2002 – 2003 කාලයේ එවකට රජයේ මුදල් විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා ලෙස මම කටයුතු කළේය. එම වකවානුවේ රනිල් වික්‍රමසිංහයන් රාජ්‍ය ව්‍යවසායන්ගේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව හා ඊටත් වඩා වැදගත් ලෙස සමස්ත රාජ්‍ය මූල්‍ය විනය සහ මනා කළමනාකාරීත්වයක් ඇති කිරීමට සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව ගැඹුරු අවබෝධයකින් පසු විය. ඒ අනුව 2003දී රාජ්‍ය මූල්‍ය වගකීම් කළමනාකරණ පනත ඉදිරිපත් කළහ. එම පනතින් වසර 2006 වන විට ඉලක්කගත අගයකට අය-වැය පරතරය, රාජ්‍ය ණය ප්‍රතිශතය ආර්ථික වර්ධන වේගය පිළිබඳව නීතිගතවම කරුණු දැක්විය. වසර 2006 වන විට අය-වැය පරතරය 5% දක්වා අඩු කිරීමටත්, රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 65% දක්වා අඩු කිරීමටත්, 4.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමටත් ඉලක්ක කළහ. ඒ අනුව වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි වීම නිසා අපට අර්බුදයකට මුහුණ දීමට සිදු විය. එම අර්බුදයේ අමිහිරි, කටුක අත්දැකීම් අප දැන් අත්දැක ඇත. දැන් ඉන් මිදීමට සියලු දෙනා කැපකිරීම් සිදුකොට එක් විය යුතුයි. කවුරු ආණ්ඩු කළත් කවුරු මැති ඇමැතිකම් දැරුවත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි ලෙස සිදු නොකොට ඉදිරියට යෑමක් අපට නැත.

අපට රටක් ලෙස විදෙස් ණය සාර්ථකව ආපසු ගෙවීමට ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි. ඒ සඳහා තාක්ෂණික, ජාත්‍යන්තරව පිළිගත් දැනුම සහ අවබෝධය තිබෙන උපදේශකයන්ගේ සහාය අප ගත යුතුයි. ඒ අනුව අපට සහයෝගය දීමට කැමැති ආයතනවලට ආරාධනා කළහ. ඉල්ලුම්පත් කැඳවූහ. ඊට රටවල් 28ක සමාගම් ඉල්ලුම් කළහ. මේ අතරින් ප්‍රංශයේ ලසාඩ් ආයතනයේ සහාය ගැනීමට අප තීරණය කළේය. ඊට අමතරව ක්ලිපර්ඩ් හාන්ස් ආයතනයේ නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළහ. එවැනි ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සිදු කර මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අප ආරම්භ කොට ඇත. එය සිතනවාට වඩා ඉතාම ගැඹුරු පුළුල් ක්‍රියාවලියකි. විවේචකයන්ට පහසු වුවත් එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව නැවත වරක් කිව යුතුයි. එය අප මූලික අවස්ථාවේදීම ජයග්‍රාහී ලෙස ගොඩනඟාගෙන තිබේ. මෙම ගොඩ නඟාගත් පදනම මත අනාගත පරපුරේ ආර්ථික නවෝදය දියුණු රටක අපේක්ෂා ඉටුකර ගැනීමට අප වගකීමෙන් වගවීමෙන් සාමුහිකව කටයුතු කරමු. මේ එළැඹ ඇත්තේ ඒ සඳහා වූ කාලයයි.


කාර්යසාධනය ඉලක්ක කළ අයුරින්ම IMF පහසුකම භාවිතයට ගත යුතුයි
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආර්ථික වැඩපිළිවෙළක් වහාම ක්‍රියාවට නැංවිය යුතුයි. රාජ්‍ය ව්‍යසායන්ගේ ප්‍රතිසංස්කරණ කළ යුතුයි.

විශේෂයෙන් මේ වැඩපිළිවෙළට එක්වීම තුළ අපට වඩාත් වේගයෙන් නැඟී සිටීමට අවස්ථාවක් උදා වෙනවා. එය සාර්ථක කර ගැනීම සැමගේ සහයෝගයෙන් කළ යුත්තකි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ගොඩනැඟිය යුතුය. එහිදී තාක්ෂණික සහ විද්‍යාත්මක පදනමක් මත මෙම ක්‍රියාවලිය සිදු කිරීමට පියවර ගැනීම කළ යුතුය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැමිණි එකඟතාව පදනම් කොටගෙන අපි, අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතුයි.

අපේ රටේ අනාගත පරපුරේ ආර්ථික, සාමාජික සංවර්ධනය ඇති කරලීම උදෙසා එය මහත් පිටුබලයක් වෙනවා. අපි ඉතා දරුණු ලෙස ආර්ථික ප්‍රපාතයකට තල්ලු වූ රටක්. ඉන් ගොඩ ඒමට අපට අතදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පහසුකමක් අනුමත කොට පළමු කොටස ලබාදී තිබෙනවා. මෙය අවුරුදු 04 ක් ඇතුළත අවස්ථා 08 කදියි අපට ලැබෙන්නේ.

අපි ඔවුන් සමඟ එකඟතාවක් ඇති කර ගත්තේ කුමක් සඳහා ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතුයි. අපේ රටේ ඔබ අප කවුරුත් දන්නවා විශාල ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබෙනවා. අයවැය පරතරයත් විශාලයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට අප කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් තිබෙනවා. ඒවා ඉටු කිරීමෙන් රජයේ ආදායම වැඩි කර ගත හැකියි. අපේ අපනයන ආදායම් වැඩි කර ගැනීමට අනිවාර්යෙන්ම නිෂ්පාදන ආර්ථිකයකට මුල පිරිය යුතුයි.

අපගේ රාජ්‍ය අංශය වඩාත් කාර්යක්ෂම කළ යුතුයි. රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් පසු රාජ්‍ය අංශයේ ධාරිතාව අවම වුණා. එය රජයේ බර සැහැල්ලු කිරීමක් වුණා.

අපි IMF එකඟතාවන් කඩ නොකර කවරාකාර බාධා ආවත් ක්‍රියාත්මක කළ යුතුයි. ඒවාට බධා කිරීම නොකළ යුතුයි. සියලු දෙනා එකට එකතු වී වැඩ කිරීමෙන් පමණයි මේ ප්‍රශ්නයෙන් ගොඩ යා හැක්කේ.


IMF ණය අනුමත වීම ජාත්‍යන්තර ආයතනවල සහාය ලබා ගැනීමට වැදගත්
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල අනුමත වීමක් සිදු නොවුණා නම් අපට කිසිදු විදේශ රටකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය පහසුකම් ගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ නෑ. ඒ නිසා මේ මැදිහත් වීම ඉතාම වටිනවා. දැන් අප කළ යුත්තේ අපට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන දැඩි මූල්‍ය විනයක් ඇතිව මේ මුදල් කළමනාකරණය කර රට ගොඩනැඟීමයි. එහිදී ආර්ථික වර්ධනය, සංවර්ධන ක්‍රියාවලිය, ආනයන අපනයන ආදායම් පරතරය අවම වන ලෙස ක්‍රියාත්මක නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියකට රට යොමු කළ යුතුයි.

රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකි තරම් ක්‍රියා කළ යුතුයි. රටෙන් පිටවන විදේශ විනිමය ප්‍රමාණය අඩු කර ගැනීමට වැඩ කළ යුතුයි. ඒ වගේම සෑම අංශයකම දිගු කාලීන ආර්ථික ප්‍රතිලාභ හිමි වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. වසර 2026දී අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 10ක් වත් විය යුතුයි. රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% සිට 90% – 95% දක්වා අඩු කළ යුතුයි. ආර්ථික වර්ධන වේගය 3% කින් වත් සිදු කළ යුතුයි. මෙහිදී මනා මූල්‍ය විනයක් ඇති වන ලෙස නීතිරීති සම්පාදනය කළ යුතුයි."

අප රටට අපනයන ආදායම ලෙස ලැබෙන මුදල සාමාන්‍යයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 10ත් 12ත් අතර වේ. එනමුත් මීට වඩා අපනයන ආදායමක් අපේ අපනයනකරුවෝ ලබා ගනිති. ටික දෙනකු මෙම මුදල්වලින් කොටසක් විදේශවලම රඳවා තබා ගනිති. ඒ නිසා අපට විදේශ විනිමය ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇත. මෙවැනි ඩොලර් රඳවා ගැනීමේ පහසුකම් අවහිර කිරීමට නව නීති රීති රටට හඳුන්වා දීමට කාලය එළැඹ ඇත. එමෙන්ම උන්ඩියල් වැනි නීති විරෝධී විදේශ විනිමය ගනුදෙනු ක්‍රම නවතාලීමට නීති රීති ගෙන ආ යුතුය.

Comments