අපි ලංකාවේ පස සරු කරන්නේ කොරියානු තාක්ෂණයෙන් | සිළුමිණ

අපි ලංකාවේ පස සරු කරන්නේ කොරියානු තාක්ෂණයෙන්

2008 වසරේ හ්යෝසුන්ග් කොරියානු සමාගම, මීගමුව කොච්චිකඩේ අක්කර පහක භූමියක, කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළේ, කොරියාවට කාබනික පොහොර යැවීමේ අරමුණු ඇතිව ය.

එහෙත් HS පොහොර නමින් අපේ රටේ ගොවීන් අතර එය වඩාත් ප්‍රචලිත වූයේ, රසායනික පොහොරවලින් විනාශ වී ගිය මේ මහපොළොවට යළි ජීවය දෙන අති සාර්ථක කාබනික පොහොරක් ලෙස ය.

කන්න තුන හතරක් එක දිගට වැටුණු මේ කාබනික පොහොර නිසා, තමන්ගේ කුඹුරුවල ගැඩවිලි පණුවන්, කුක්කුටු පැටවුන් වසන්නට පටන් ගෙන ඇති බවත්, උන්ගේ බෝවීමෙන් සහ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වයේ වර්ධනයෙන් මහපොළොව සරුසාර වන්නට පටන් ගෙන ඇති බවත්, ගොවි මහතුන් HS පොහොර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා, නිර්මලීට කීවේ වරක් දෙවරක් නොවේ. ඒ, තමන් හදන පොහොරවල ගුණාගුණ දැක ගැනීමේ අරමුණු ඇතිව ගොවි මහතුන් හමුවන්නට ඔවුන් ගේ කුඹුරුවලට යනෙන ක්ෂේත්‍ර චාරිකාවලදී ය.

HS කැට පොහොර හෙවත් පෙලට්ස් (pellets), HS දියර පොහොර, පොල් ලෙලි කැට සහ කොහුබත් ඇසුරෙන් නිපදවන HS Growbags හෙවත් වගා මලු ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන කාබනික නිෂ්පාදන ලෙස, කොච්චිකඩේ සහ කොටදෙණියාවේ පිහිටි හ්යෝසුන්ග් ONB පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වන්නේ අභිමානවත් දේශීය නිපැයුම් ලෙසිනි.

විශේෂත්වය වන්නේ, උසස් කාබනික නිෂ්පාදන පෙළක් සඳහා අඩු මිනිස් ශ්‍රමයක් සහ නවීන කොරියානු තාක්ෂණය යොදා ගැනීම යි.

ඒ අනුව, රොබෝ තාක්ෂණය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙරට එකම ආයතනය බවට හ්යෝසුන්ග් ONB පුද්ගලික සමාගම පත්ව තිබේ.

එවකට ඇය සිටියේ, හ්යෝසුන්ග් ONB පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරිවරිය ලෙසිනි. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කොට, කාබනික පොහොර අපනයනය කිරීමේ දී පැමිණි නෛතික බාධා සහ ගැටලු හමුවේ එම කොරියානු කළමනාකාරීත්වය, කර්මාන්තශාලාවේ සියලු වගකීම් පවරා, කොරියානු මවු සමාගම වෙත පිටත් වූයේ, අසාර්ථක සමාගමක් ඇයට බාර දෙමිනි.

" මං බාරගත්තේ අසාර්ථක ව්‍යාපෘතියක්. ව්‍යාපෘතිය අසාර්ථක වුණේ, කාබනික පොහොරවලට පනවා තිබූ ලංකාවේ තදබල නීති රීති නිසා. ඒ දවස්වල හැම පහසුකමක්ම, නීතියේ හැම ලිහිල් බවක් ම තිබුණේ රසායනික පොහොර වෙනුවෙන්. ඉතින්, ලංකාවේ රසායනික පොහොරවලට තිබූ සියලු අනුමැතීන් කාබනික පොහොරවලටත් ලබා ගන්න මට සෑහෙන්න මහන්සි වෙන්න වුණා.

ඒ වගේම, බෙහෙත් එඬරු අපගේ මූලික අමුද්‍රව්‍යයක්. නමුත් ඉන්දියාවෙන් ගේන්න හුඟක් අපහසු වුණා. මම මුලින්ම ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය හදා ගත්තා. මොකද, වාර්ෂිකව බෙහෙත් එඬරු මෙට්‍රික් ටොන් 3000ක් අපිට අවශ්‍ය වුණා. බෙහෙත් එඬරු යොදා හදන මේ HS කාබනික පොහොර, අපේ පේටන්ට් නිෂ්පාදනයක්.

අපේ ගොවීන් අතර මුලින්ම අලෙවි කළේ ඉතා සුළු ප්‍රමාණයක්. හැබැයි පාවිච්චි කළ අය නැවත හොයාගෙන ආවා. ඇත්තටම, HS කාබනික පොහොර ප්‍රචලිත කළේ අපේම ගොවි මහතුන්. එය, ගොවි මහත්වරුන්ගේ ම කටින් කට ගිහින් හැදුණු හොඳනමක්.

2016 අවුරුද්දේ ලක් පොහොර සමාගම එක්ක මං ගිවිසුමක් අත්සන් කළා. ඒ මඟින් රට පුරාම අපේ පොහොර බෙදා හැරියා. නිෂ්පාදන ධාරිතාව වැඩි කළා.

ඔය අතරේ ම අපනයන වෙළෙඳපොළත් හදා ගත්තා. ලංකාවේ කාබනික පොහොර වෙනුවෙන් කිසිදු පිළිගැනීමක් නොතිබූ කාලයක අපනයනය වෙනුවෙන් අදාළ Biocert Organic Certification සහතික කිරීම් අනුමැතීන් ලබා ගත්තා.

කොම්පෝස්ට් කියන්නේ, අපේ පොහොරවලට යොදන තවත් එක් අමුද්‍රව්‍යයක් පමණයි. HS කාබනික පොහොරවල විශේෂත්වයත් එයයි.

අපේ කොම්පෝස්ට් එක, පවුඩර් එකක්. නිෂ්පාදනය කරන්නේ, ලංකාවේ අති දැවැන්ත කුකුළු ගොවිපළක ස්ථාපිත කර තිබෙන නවීන කොරියානු යන්ත්‍රයකින්. එම සමාගමෙන් දිනපතා ඉවතලන කුකුළු අපද්‍රව්‍ය මිශ්‍රිත ලී කුඩු මේ මැෂිමට දැමූ විට එයින් එළියට එන්නේ අති සාරවත් පවුඩර් එකක්. අපේ කර්මාන්තශාලාවට රැගෙන එන්නේ, එසේ ගොවිපොළේදී ම නිපදවන කුකුළු පොහොර කොම්පෝස්ට් පවුඩර්. එම කොම්පෝස්ට් පවුඩර් මාසෙකට ටොන් 1,000ක් අපට අවශ්‍යයයි.

බෙහෙත් එඬරු, හාල් නිවුඩු, කොහොඹ පුන්නක්කු, එප්පාවල රොක් පොස්පේට්, කොරියානු තාක්ෂණයෙන් නිපදවන කුකුළු අපද්‍රව්‍ය කොම්පෝස්ට් පවුඩර්, පාම් තෙල් පුන්නක්කු, පැසවන ලද සත්ත්ව පොහොර ඇතුළු මහපොළොව සරු කරන අමුද්‍රව්‍ය ගණනාවක් HS කාබනික පොහොරවල අන්තර්ගත යි. වැලි වැඩි නිසා අපි ගොම පොහොර අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරන්නේ නැහැ. වැලි සංයුතිය වැඩි වුණොත් අපේ ස්වයංක්‍රීය මැෂින්, එම අමුද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරනවා. කාබනික පොහොර ලෙස අප නිෂ්පාදනය කරන්නේ කැට සහ දියර පොහොර පමණයි. ඉහත කී සියලු ස්වාභාවික අමුද්‍රව්‍යයන් ගෙන් හැදෙන මේ පොහොර ඇත්තටම පුන්නක්කු සුවඳින් යුක්තයි. කිසිදු දුර්ගන්ධයක් නැහැ.

රජයේ පොහොර සහනාධාර වැඩසටහනට පොහොර සපයන්න අපිත් ටෙන්ඩර් පටිපාටිය අනුව ඉල්ලුම් කළා. ඒ අනුව 2020 පළමු කන්නයේදී කාබනික පොහොර ටොන්1,000ක්, දෙවැනි කන්නයේදී ටොන් 4,000ක්, තුන් වැනි කන්නයේදී ටොන් 8,000ක් සහ දියර පොහොර ලීටර් ලක්ෂ 6ක්, හතරවැනි කන්නය ලෙස 2022 මහ කන්නයේ දී ටොන් 5,000ක් සහ දියර පොහොර ලීටර ලක්ෂයක් ගම්පහ, කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශීය බීජ වවන ගොවීන් ඇතුළු අනෙකුත් ගොවීන් වෙත අප බෙදා හැර තිබෙනවා. ඒ ලද අවස්ථාව ඇත්තටම ආයතනය තැබූ තවත් යෝධ ඉදිරි පියවරක්.

අපේ පොහොර මහ පොළොවට වැටිලා වතුර ටිකක් වැටෙන කොට ක්‍රියාත්මක වීම ආරම්භ වනවා. ක්ෂූද්‍ර ජීවීන් ගේ වර්ධනයට, ක්‍රියාකාරිත්වයට සහ පැවැත්මට ඉතා හොඳ පසුබිමක් සැකසෙනවා. NPK ප්‍රතිශතය සමබර කර ඇති නිසා, ඒ සියල්ල ක්ෂූද්‍ර ජීවීන්ට හිතකරයි. තේ, වී, පොල්, එළවළු ඇතුළු ඕනෑම වගාවකට සරිලන ලෙසයි HS කාබනික පොහොර නිෂ්පාදනය කර තිබෙන්නේ. වගාවට දමන ප්‍රමාණය අඩු වැඩි කරගැනීම පමණයි අවශ්‍ය වන්නේ. අපි මහ පොළොවට සහ ගහේ මුලට අවශ්‍ය පෝෂණය පමණයි ලබා දෙන්නේ. පත්‍ර සඳහා ඉසින තාවකාලික ප්‍රතිඵල සහිත දේ අප නිෂ්පාදනය කරන්නේ නැහැ.

මේ ආකාරයට වෙහෙස මහන්සි වී හදන අපගේ කාබනික පොහොර සක්‍රීය වී, ගහට පෝෂණය උරා ගන්නා ගමන්, මහ පොළවත් සරුසාර කරනවා කියන්නේ, ඇත්තටම නිෂ්පාදනයකින් එහාට ගිය විශාල තෘප්තියක්.

කොච්චිකඩේ ආරම්භ කළ පොහොර කර්මාන්තය කොරියානු කළමනාකාරිත්වය මට භාර දී ගියත් සෑම විටම ඔවුන්ගේ නවීන තාක්ෂණය අපට ලබා දුන්නා. මවු සමාගමෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන්නත් ඔවුන් කොරියාවට එක සතයක් වත් රැගෙන යන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ලාභය යළි යළිත් ආයෝජනය කිරීමයි මම කරන්නේ. කොටදෙණියාවේ අක්කර 14ක පොල්වත්තක, රොබෝ තාක්ෂණයෙන් යුතු මේ කර්මාන්ත ශාලාව ඉදි කළේ, කොච්චිකඩේ කර්මාන්තශාලාව දියුණු කළ ලාභයෙන්.

අපගේ මූලික අමුද්‍රව්‍ය, වීල් ලෝඩර් යන්ත්‍රවලින් පොළව යට ඇති බහාලූම් වෙත ඇතුළු කර, එතැනින් මිශ්‍ර වී ඉහළට ඇදී ගොස්, පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර පද්ධතියක් මඟින් පෙලට් බවට පත් වී, බෑග්වලට පිර වී ඇසුරුම් වී, ගබඩාවේ තැන්පත් කිරීම දක්වා සිදු වන්නේ fully auto mated ක්‍රියාවලියක් ලෙසින්. පිරෙන පොහොර මලු අවසාන අවස්ථාව දක්වා තැන්පත් කෙරෙන්නේ රොබෝ තාක්ෂණයෙන්. එසේ බොහොම පරිස්සමට හදන මේ කාබනික පොහොර,එක දිගට තව කන්න කිහිපයක් වත් ඒ විදියටම වැටෙනවා නම් , ඇත්තටම මේ මහ පොළොව යළි පණ ගසාවි. ගොවීන් වකුගඩු රෝගීන් වන එක නතර වේවි. මිනිස්සු වස විස කන එක නැතිවෙලා යාවි. අප වැනි දේශීය කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් තව බිහි වේවි.

අද අපි කොරියාවට සහ මාලදිවයිනට අපේ HS කාබනික පොහොර වාර්ෂිකව ටොන් 2,000ක් සහ කොහුබත්, පොල් ලෙලි කැබලි මිශ්‍ර කර, ප්‍රෙස්කර සකසා ඇති වගා මලු අපනයනය කරනවා. මේ වගා මලු වතුර දැමූ විට තෙත් වී, හොඳින් පිපෙනවා. අපේ රටේ කාන්තාවන් ගේ වැඩි ශ්‍රම දායකත්වයකින් හැදෙන මේ වගා මලු කොරියාව, නවසීලන්තය, ජපානය වගේ රටවල සරුසාර ලෙස ස්ට්‍රෝබෙරි, බෙල් පෙපර්, තක්කාලි වැනි වගාවන් සඳහා යොදා ගන්නවා. පොහොර සහ වගා මලු අපනයනය ඔස්සේ, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක පමණ අපනයන ආදායම් ලංකාවට රැගෙන එනවා.

ඒ වගේම මුහුදු බෙල්ලන් වැවිය හැකි ලණු දැලක් හෙවත්, Oystermat එකක් මේ දිනවල අපි නිර්මාණය කරමින් සිටිනවා. එම ලණු දැල මත මුහුදු බෙල්ලන් තැන්පත් කර, එය මුහුදේ ස්ථාන ගත කළ විට ඉතා හොඳින් මුහුදු බෙල්ලන් වර්ධනය වනවා. මෙය අපගේ කොරියානු මවු සමාගමෙන් ලැබුණු ඇණවුමක්.

පොහොර අපනයනය තව තවත් පුළුල් කර, මෙවැනි නවෝත්පාදන හරහා ලංකාවට අපනයන ආදායම් රැගෙන ඒම අපගේ අනාගත සැලසුම් අතර ප්‍රමුඛයි.

දැනටමත් 100 දෙනකු පමණ කොච්චිකඩේ සහ කොටදෙණියාව අපගේ කර්මාන්තශාලාවල සේවය කරනවා. ඔවුන්ගෙන් බහුතරය ග්‍රාමීය කාන්තාවන්. අපගේ නව කර්මාන්තශාලාව ඩොලර් මිලියන දෙකක පමණ ආයෝජනයක්.

ඇත්තටම අපගේ පොහොරවලට යොදා ගන්නේ ස්වාභාවික අමුද්‍රව්‍ය පමණයි. විශේෂයෙන් බෙහෙත් එඬරු කියන්නේ මහපොළොව නීරෝගි කරවන ඖෂධයක්. නවීන යන්ත්‍ර සූත්‍ර සහ රොබෝ තාක්ෂණය ඇසුරින් මේ කාබනික පොහොර නිෂ්පාදනය කරන නිසා තත්ත්වය සහ ගුණාත්මක බව ඉතා ඉහළින් සුරැකෙන බව සහතික කළ හැකියි..."

ඇය ව්‍යවසායිකාවක පමණක් නොවේ. කාන්තාවක, මවක සහ බිරියක ලෙස ද ඇය සාර්ථක ය. ඒ පිළිබඳව ද ඇයට ඇත්තේ සියුම් අභිමානයකි.

" මම ව්‍යාපාරයට කැප වුණා කියලා මගේ ළමයි දෙන්නව අත්හැරුණේ නැහැ. ඒ දෙන්නම හොඳින් ඉගෙන ගත්තා. දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණා. අද මගේ දුව, මුවන්හෙළ රජයේ රෝහලේ වෛද්‍යවරියක්. පුතා, මාස් හෝල්ඩින්ස් සමාගමේ සේවය කරන විධයක කර්මාන්ත ඉංජිනේරුවෙක්. මගේ සැමියාත් එම සමාගමේ ම සේවය කොට දැන් විශ්‍රාම ගෙන සිටින නිසා, අවශ්‍ය විටෙක මට උදව් කළත් ව්‍යාපාරයට ඔවුන් සම්බන්ධ නැහැ.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙන ගෙන, උසස් පෙළට වාණිජ විෂයන් කර මම කොළඹ ආවේ, බෙහෙත් ලංකාවට ගෙන්වන ඖෂධ සමාගමක ගිණුම් අංශයේ රැකියාවකට. එතැනින් ආනයන කටයුතු පිළිබඳ මම හොඳින් ඉගෙන ගත්තා. ඊළඟට, විදුලි බල්බ සමාගමක රැකියාවකට බැඳී නිෂ්පාදන අංශය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ආයෝජන කලාපයේ කොරියානු සැම්සුන් ටෙන්ට් නිෂ්පාදන සමාගමේ පරිපාලන අංශයට බැඳුණේ, ඉන් අනතුරුව.

හ්යෝසුන්ග් ONB සමාගම කියන්නේ, ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට ආ අලුත් ආයෝජකයෙක්. මා සිටි ආයතනය ඔවුන් අතට පත් වූ විට එහි පරිපාලන සහ ගිණුම් අංශය බාර වුණා. සාමාන්‍යාධිකාරි දක්වා උසස් වුණා. පසු කලෙක ඔවුන් මාව අධ්‍යක්ෂ මණ්ඩලයට බඳවා ගත්තා.

රසානික පොහොරවලට තිබූ පහසුකම්, නීති ලිහිල් කිරීම් සියල්ල කාබනික පොහොර වෙනුවෙනුත් ලබා ගන්න මූලික වෙලා කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණේ මේ ආයතනයට බැඳුණාට පසුවයි.

අද මේ මහපොළොව සුවපත් කරන කාර්යයට විශාල දායකත්වයක් දෙන්න මටත් පුළුවන් වී තිබෙනවා. ඒ ගැන මට තිබෙන්නේ මහ විශාල ආත්ම තෘප්තියක්. 30%ක් කාබනික පොහොර යෙදීමේ ප්‍රතිපත්තිය රජය ඉක්මණින් ක්‍රියාත්මක කරනවා නම් ඇත්තටම මේ මහ පොළොවට ගොවියාට විතරක් නෙවෙයි, හෙට දවසේ උපදින දරුවන්ටත් යහපතක් වේවි..."


Comments