ගල් වරුසාවක් මැද්දේ මං මගේ හීනවලට ගියා | Page 2 | සිළුමිණ

ගල් වරුසාවක් මැද්දේ මං මගේ හීනවලට ගියා

සුන්දර සිනහව කියන්නෙත් තරුණියකට ආභරණයකි. එය වඩාත් ආකර්ෂණීය වූ විට එය තවකෙකුගේ නෙතට රසඳුනකි. ඇය ද එවන් වාසනාවන්තියකි. 2021 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලඳීමත් සමඟින් ඇගේ සිනාවට තව තවත් වටිනාකම් එක්වූවාය. ඇය නමින් දසුනී නවෝද්‍යාය. ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක ලෙස දස්කම් දක්වන ඇය මේ වනවිට රංගන ක්ෂේත්‍රයේ ද තම දස්කම් උරගා බලමින් සිටින්නීය. උරේෂා රවිහාරිගේ ‘ඔබ කොතැනද‘ නවතම මියුසික් වීඩියෝව ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක අවධානයට යොමුව සිටින ඇය සමඟයි අපේ කතාබහ.

 

උරේෂා රවිහාරිගේ ‘ඔබ කොතැනද‘ කියන අලුත්ම මියුසික් වීඩියෝවට තමයි දසුනි මුලින්ම සම්බන්ධ වුණේ. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබුණේ?

2021 අයි. ටී. එන්. අවුරුදු කුමරිය වීමත් එක්ක මට එහි නිවේදිකාවක් වීමේ අවස්ථාව ලැබුණා. ඒත් එක්කම රංගනය සඳහාත් ගොඩක් ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය, චිත්‍රපට වගේම මියුසික් වීඩියෝ සඳහාත්. ඒ වෙද්දිත් මං ඒකමතිකව තීරණය කරලා තිබුණා කිසිම රංගන කටයුත්තකට දායක වෙන්නෑ කියලා. අපේ තාත්තා පොඩ්ඩක්වත් කැමැති නෑ මං රඟපානවට.

පුංචි කාලෙ ඉඳන්ම මට හීන තුනක් තිබුණා. එකක් අවුරුදු කුමරියක් වීම, ඒ වගේම නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් වීම. ඒ නිසාමයි මං අවුරුදු කුමරිය සඳහා අයදුම් කළෙත්. යන්න කලින් දවසෙ තාත්තට කියලා අමාරුවෙන් තමයි කැමැත්ත ගත්තේ. ඒ විදිහට මගේ පළමු හීනය සැබෑ වුණා. එයම නිවේදන හීනයටත් පාර හදලා දුන්නා. මේ වෙද්දි මගේ තුන්වැනි හීනයත් සැබෑවෙලා ඉවරයි. රංගනයටත් දායක වෙන්න ලැබුණා.

නිවේදනයේදී මගේ මුල්ම ගුරුතුමා වුණේ?

මගේ ගුරුතුමා ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්. ඒ කියන්නේ උරේෂා රවිහාරිගේ පියා. ඔහු තමයි මට ආරාධනා කළේ දසුනි මෙහෙම වැඩක් තියෙනවා ඔයා සම්බන්ධ වෙන්න කැමැතිද අහලා. උරේෂා රවිහාරි කියන්නෙත් ගුණාත්මක ගීත ගායනයේ ප්‍රවීණ ගායන ශිල්පිනියක්. උරේෂා අක්කත් මට කතා කරලා කිවුවා නංගි මෙහෙම වැඩක් තියෙනවා. ඔයා කැමැතිද මගෙත් එක්ක වැඩ කරන්න කියලා. මියුසික් වීඩියෝව කළ චාරුක දුදුෂ්‍යයන්ත අයියත් කතා කළා. ඉතින් මට අකමැති වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. මේ වෙද්දි ‘ඔබ කොතැනද‘ මියුසික් වීඩියෝව ට්‍රෙන්ඩින් වෙලා තියෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ගොඩක් සතුටු වෙනවා මුලින්ම මේ වගේ හොඳ ඉහළම තත්ත්වයේ ගුණාත්මක නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන. මේ සඳහා රංගනයෙන් දායක වුණු ප්‍රවීණයන් වන නදීශා අක්ක වගේම ගයාන් අයියත් මට ලොකු සහායක් දුන්නා මේක සාර්ථකව කරගන්න. ඉදිරියේදිත් මේ වගේ හොඳ ගුණාත්මක, ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලබාගත හැකි නිර්මාණවලට දායක වෙන්න තමයි බලාපොරොත්තුව.

 

ඔබ අවුරුදු කුමරිය තරගය සඳහා අයදුම් කළේ?

ආසාවට මිසක් ජයග්‍රහණය කරන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නොවෙයි.

නොසිතූ ජයග්‍රහණයක් ලැබුණු ඒ මොහොත මතකද?

ඒක නම් තාමත් මට හීනයක්. මං හිතුවෙ නෑ කවදාවත් යන්න ලැබෙයි කියලවත්. අපේ තාත්ත ගොඩක් සැරයි. ඒත් මං හිතනවා තරගය දිනුවට පස්සේ ගොඩක්ම සතුටු වුණේ එයා කියලා. තරගයේ අවසාන අවස්ථාවේ ප්‍රසන්ටර්ස්ලා දෙන්න ජයග්‍රහණය කළ කෙනා විදිහට මගේ අංකය කියද්දි මං ආයිමත් හැරිලා බැලුවා ඇත්තටම ඒ මගේ අංකයම ද කියලා. එවෙලේ දැනුණ හැඟීම මට වචනවලින් විස්තර කරන්න බෑ. මං ජීවිතේ දැක්ක එක් හීනයක් එදා ඒ වේදිකාව උඩ සැබෑ වුණා. ඒක ගොඩක්ම තදින් අද මට දැනෙන්නේ මං අද ඒ තරගයේ නිවේදිකාව විදිහට කටයුතු කරන නිසා. 2023 අයි. ටී. එන්. අවුරුදු කුමරිය තරගයේ මුල් වටය පුරාම ඔවුන් සමඟ සම්බන්ධව කටයුතු කළා. නිවේදිකාවක් වෙන්න පෙනුම විතරක්ම තිබිලත් බෑ. මට ඒ අවස්ථාව ලැබෙන්න මගේ අවුරුදු කුමරිය කිරුළ වගේම මගේ නිවේදන හැකියාව එක්ක වාසනාවත් මුසුවෙන්න ඇති. පොඩි කාලෙ ඉඳන්ම හැම දෙයක් ගැනම මට හැකියාවක් තිබුණා. නිවේදනය වගේම නර්තනයත් මං හොඳින් හදාරලා තියෙනවා.

 

පහුගිය දවස්වල ඔබ රංගනය පැත්තටත් යොමු වුණා නේද?

අවුරුදු කුමරිය වුණ දවස්වලම චිත්‍රපට දෙකකට වගේම ටෙලි නාට්‍ය රැසකටත් ආරාධනා ලැබුණා. එකක් දකුණු ඉන්දියානු චිත්‍රපටයක්. මගේ ෆොටෝ දැකලා තමයි ඒකට ආරාධනා ලැබුණේ. ඒත් ඒ වෙද්දි මං රංගනයට සූදානමක් තිබුණෙ නෑ. පස්සෙ තවත් ටෙලි නාට්‍යකට ආරාධනාවක් ලැබුණා. මගේ ඊළඟ හීනය රංගන ශිල්පිනියක් වීම. මට හිතුණා ගිහිල්ල බලන්න ඕන කියලා. නිවේදිකාවක් විදිහට මං කැමරාව ඉදිරියේ හැසිරිලා තිබුණට රංගනය කරලා තිබුණෙ නෑ. මට හිතුණා ඒකත් කරලා බලන්න. ඒක පොඩි චරිතයක් වුණත් ඒ අත්දැකීම මට ගොඩක් අමාරුවුණා. මං මාර විදිහට බය වුණා. වචන පැටලෙන්න ගත්තා. එදා නම් මට හිතුණා ආයෙම නම් යන්නෙම නෑ කියලා. මේ ළඟදී මං වෙනස්ම තාලයේ අලුත් නිර්මාණයකට දායක වුණා. ඉදිරියේදී ඒක දකින්න ලැබේවි. අද මට හිතෙනවා එදා මං ඒ විදිහට පැටලි පැටලි ඒ දේ කරලා ඒ ලබපු පන්නරය නිසා තමයි මේ නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන් වුණේ කියලා.‍

 

තාත්තගෙ අකැමැත්ත මත ආව ගමනක් නේද මේක. කොහොමද දැන් ගෙදරින් ලැබෙන සහයෝගය?

ඒක නම් කියන්නම ඕන. අම්මා තමයි මගේ ජීවිතේ ලොකුම ශක්තිය. හැමදේකදිම හෙවණැල්ල වගේ මගේ ළඟින් ඉන්නෙ මගේ අම්මා. මගේ නිර්මාණ වෙනුවෙන් මටත් වඩා ලොකු කැපකිරීමක් කරන්නේ එයා. ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි, කකුලෙන් ඇදීම්, මානසිකව ඇද දැමීම් ඉදිරියේ මං දවස් ගණන් එක දිගට අඬපු අවස්ථා තිබුණා. තාත්තට නිතර මගේ පස්සෙන් ඉන්න බැරි වුණත් ඒ හැම වෙලාවකම තාත්ත තමයි ඕව ඔහොම තමයි පුතේ කියලා මට ශක්තියක් වෙලා මගේ හිත හදන්නේ. ගල් වරුසාවක් මැද්දේ අවුරුදු දෙකක් තරම් පුංචි කාලෙකදි මං මගේ හීනවලට ගියා.

 

ආදරය ගැන දසුනිට තියෙන්නේ මොන වගේ හැඟීමක් ද?

යෝජනා නම් ඕන තරම් එනවා. ඒත් ඒ අයගේ හිත නොරිදෙන විදිහට තේරුම් කරලා දීලා මං මගේ ගමන යනවා. ආදරයෙදි විශ්වාසය හා තේරුම් ගැනීම උපරිමයෙන් තියෙන්න ඕන. ඒ වගේම මං නියැළෙන ක්ෂේත්‍රය ගැන හොඳින් තේරුම් ගත්ත මං ගැන ගොඩක් හොයලා බලන මට විතරක් ආදරේ කරන කෙනෙක් වෙන්නත් ඕන. කවදහරි මගේ විශ්වාසය කැඩුවා කියල දැනුණොත් ආයෙ කවදාවත් මට එයාව එපා.

Comments