IMF ණය සහනයට විපක්ෂ මන්ත්‍රීන්ගෙන් තල්ලුවක් | සිළුමිණ

IMF ණය සහනයට විපක්ෂ මන්ත්‍රීන්ගෙන් තල්ලුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන බව විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ඉකුත් බ්‍රහස්පතින්දා හා සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ. ඔවුහු මේ අදහස් පළ කළේ, ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පැවැති විවාදයේදී අදහස් දක්වමිනි.

සජබෙ මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළේ, බංකොළොත්භාවයෙන් ගොඩ ගිය රටක් බවට ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන බව තමන්ට දැනෙන බවත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලුම පුරවැසියන් එක පැත්තකින් සතුටු විය යුතු යැයි තමන් විශ්වාස කරන බවය. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  පවසා සිටියේ IMF ශ්‍රී ලංකාව සමඟ එළැඹි යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන් සම්පූර්ණ සහාය ලබා දෙන බවය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කළේ, IMF එකෙන් මුදල් ලබා ගැනීම ගැන සතුටු වෙන බවත් එය අගය නොකිරීමට තරම් කුහක නොවන බවත්ය.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ, මූල්‍ය අර්බුදයකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ගැනීම වරදක් නොවන බවය.

සජබෙ මන්ත්‍රී ජේ. සී. අලවතුවල පෙන්වා දුන්නේ, IMF සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවළට සහාය දෙන බවය.

Comments