යහපත් නමකට දිව්‍යාක්ෂර | සිළුමිණ

යහපත් නමකට දිව්‍යාක්ෂර

ඉ ඊ ඔ ඕ ට ඩ ල ව ස දිව්‍යාක්ෂරයි

නමක මුලකුරට දිව්‍යාක්ෂර ඉතා සුබයි

අකුරු තුනකින් තැනෙන ගණය වඩාත් බලවත්

 

අර්ථය, ශබ්දය, ගුණය වැනි අංගවලින් පරිපූර්ණ වූ යහපත් නමක් ගොඩනඟා ගැනීම සඳහා මූලික පදනම වනුයේ සුදුසු අකුරු එකිනෙක ගැළපෙන ලෙස ඒ ඒ තැන්වල ස්ථානගත කිරීම යි. මේ ක්‍රියාවලියේ මූලික ඒකකය අකුරු වේ. එසේ අකුරු තෝරා ගැනීමේ විවිධ ක්‍රම ශබ්ද ශාස්ත්‍රයේ දක්වා ඇත. එයින් එක ක්‍රමයක් නම් දිව්‍යාක්ෂර, මනුෂ්‍යාක්ෂර, අපායාක්ෂර නම් වූ අක්ෂර වර්ගීකරණය යි. ඒ වෙත දැන් අවධානය යොමු කරමු.

දැනට විද්‍යමාන වන ග්‍රන්ථ අතර ලංකාවේ පැරණිතම ව්‍යාකරණ ග්‍රන්ථය සේ පිළිගැනෙන සිදත් සඟරාවේ ඉටු-අනිටු අදියරෙහි අකුරු පිළිබඳ ව මෙසේ දැක්වේ.

එ ක ය ම ර ජ අ ණ න ළ අං අවාකර

උ ප බ ග හා නර නමිතිරි වේ අමර

සුරකර පෙර පසැ වැඩ දේ අවාකර

නසා සුබ සියල් නරකුරු මැදුම් සර

මෙයින් කියැවෙන පරිදි “එ ක ය ම ර ජ අ ණ න ළ අං” යන අකුරු අවාකර හෙවත් අපායාක්ෂර වේ. “උ ප බ ග හ” යන අකුරු මනුෂ්‍යාක්ෂර වන බවත් ඉතිරි සෙසු අකුරු දිව්‍යාක්ෂර වන බවත් එහි තව දුරටත් දැක්වේ. ඉතිරි අකුරු ලෙස සැලකෙන “ඉ ඊ ඔ ඕ ට ඩ ල ව ස” අකුරු දිව්‍යාක්ෂර ලෙස සැලකේ. දිව්‍යාක්ෂර අභීෂ්ට (ඉතා යහපත්) අකුරු බවත් මනුෂ්‍යාක්ෂර ඉෂ්ට (යහපත්) අකුරු බවත් අපායක්ෂර අනිෂ්ට (අයහපත්) අකුරු බවත් මෙයින් අදහස් වේ.

දිව්‍යාක්ෂර නමක හෝ පද්‍යයක හෝ ආරම්භයට යෙදීම සුබ වේ යැයි සැලකේ. අප ගේ සන්දේශ කාව්‍ය බොහෝ ගණනක් ආරම්භ වී ඇත්තේ දිව්‍ය අක්ෂරයකිනි. බොහෝ විට මේ සඳහා ගැනෙනුයේ මිහිරි හඬක් ද ඇති ‘ස’ යනු යි. කෝට්ටේ අවධියට හා එයට පෙර අවධියට අයත් සියලු ම සම්භාව්‍ය සන්දේශ කාව්‍ය ‘සැරද’ යන පදයෙන් ඇරැඹේ. ‘සැරද මියුරිඳු සඳ’(මයූරය), ‘සැරද කොවුලිඳු’(කෝකිලය), ‘සැරද සුලකළකුරු’(සැලළිහිණිය), ‘සැරද කිර රද සඳ’ (ගිරාව) ආදි වශයෙනි.

තව ද ඉහත සිදත් සඟරා පාඨයේ නො දැක්වූව ද ඒ ඒ අක්ෂරවල ස්වර සහිත ප්‍රභේද ද මුල් අක්ෂර ගණයට ම අයත් වන බව සැලකේ. නිදසුනක් ලෙස ‘ස’ අකුර දිව්‍යාක්ෂරයකි. ඒ අනුව ‘ස’ අකුරේ අනෙක් ස්වර සහිත ප්‍රභේද වූ ‘සා, සි, සු, සෙ, සො’ වැනි අකුරු ද දිව්‍යාක්ෂර කාණ්ඩයට අයත් සේ සැලකේ.

තනි අකුරකින් ඇති වන ප්‍රතිඵලය අල්ප බවත් අකුරු තුනක සම්බන්ධයෙන් තැනෙන ගණය වඩා බලවත් ප්‍රතිඵල සහිත බවත් පිළිගැනේ.

ඇතැම් විට අපායාක්ෂර වුව ද වෙනත් ක්‍රමවේදවලට අනුව අකුරු තෝරා ගැනීමේදී සුබ ලෙසින් සැලකෙන අවස්ථා ඇත. සමහර ලග්න හෝ දින හෝ අනුව, නැතහොත් වෙන යම්කිසි ක්‍රමවේදයක් හෝ අනුව අපායාක්ෂර ගැළපෙන බව නිර්දේශ විය හැකි ය. එ විට සෙසු අකුරු ද මනා ව යොදා සුබ ගණ පිහිටුවා සෙසු අවශ්‍යතා ද සම්පූර්ණ කොට නමක් තැබීම හෝ වෙනත් සුබ දෙයක් නිර්මාණය කිරීම හෝ සඳහා ඒ අපායාක්ෂර යෙදීම වරදක් නොවේ.

මෙයින් අපට වටහාගත හැකි තවත් කරුණක් ඇත. එනම් සුබාසුබ යනුවෙන් අකුරු බෙදීමේ දී ජ්‍යෝතිෂ සාධක (නැකැත්, දින, ලග්න ආදිය) අනුව අකුරු බෙදීම ම වඩා බලවත් ලෙස සලකා ඇති බව යි, පැරැණි සම්ප්‍රදාය අනුව යෙදෙන වර්ගීකරණයක් හෙයින් දිව්‍ය, මනුෂ්‍ය, අපාය අක්ෂර යන බෙදුම මෙහි දී දක්වන ලද නමුදු එය ප්‍රායෝගික ව නාමකරණයේදී අත්‍යවශ්‍ය වූවක් ලෙස සැලකෙන බවක් නො පෙනේ.

 සමන්ති අහුබුදු

Comments