මාර්තු 31 වැනි සිකුරාදා ධන යෝග බල ඇති ප්‍රබල ව්‍යාපාර නැකතක් | සිළුමිණ

මාර්තු 31 වැනි සිකුරාදා ධන යෝග බල ඇති ප්‍රබල ව්‍යාපාර නැකතක්

ඉතා බලසම්පන්න පංචාංගයම ශුද්ධ වන සුබ දිනයක් ලෙස සැලකෙන 2023 මාර්තු 31 වැනිදා සිකුරාදා උදෑසන 10.11ට යෙදෙන සුබ මුහුර්තය ධන යෝග බල ඇති ප්‍රබල ව්‍යාපාරික නැකතක් බව ජ්‍යොතිෂයෙහි සඳහන් වෙයි.

උදා තත්කාල ලග්නයේ 10 වැන්න තුළ මූල ත්‍රිකෝණ බලයෙන් යුක්තව සෙනසුරු රැඳී සිටීම වෙහෙස මහන්සියෙන් වැඩ කරන තරමට ජයග්‍රහණ ද නෙළා ගත හැකි පරිසරයක් නිර්මාණය කරන නැකතක් බවද ජ්‍යොතිෂයෙහි සඳහන්ය.

සිකුරු හිමි සිකුරාදා දිනයම යෙදෙන එදිනට යෙදෙන උදා ලග්නය ද සිකුරු හිමි වෘෂභ ලග්නය වන අතර පුෂ නැකත හා පුර දසවක තිථියත් සුකර්ම යෝගය හා තෛතිල කරණයත් යෙදී තිබීම අතිශයින් ම සුබ පල ගෙන එයි.

විශේෂයෙන් වෙළහෙළඳාම් කටයුතු ආරම්භයට, ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනයට ඉතා සුබ දිනයක් වන මෙදින ධන යෝග බලය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙයි. එමෙන්ම එදින නව රැකියා භාර ගැනීමට, නිවෙස් හා ව්‍යාපාර ස්ථානවලට ගෙවැදීමට, හිසකෙස් කැපීමට, කන් විදීමට, මූල්‍ය කටයුතුවලට, වෙහෙර විහාර වැඩවලට ඉතා සුබදායකය.

එමෙන්ම එදින හතර අධිපති රවි හා පහ අධිපති බුධ යෝග වී අමාත්‍ය ගුරු යෝගයන් ද නිර්මාණය වේ. නවය, දහය දෙකේම අධිපති සෙනසුරු වන බැවින් ද එම සෙනසුරු 10 වැනිව බලසම්පන්නව සිටීම ද ධර්ම කර්මාධිපති යෝගයයි. එමෙන්ම දෙවැන්නාධිපති හා එකොළොස්වැන්නාධිපති යෝග වීම ප්‍රබල ධනු යෝගයකි. එම ධනු යෝගයට පසුබිම සලසන එකොළොස්වැන්න අධිපති ගුරුට හිමි හෝරා වන ගුරුගේම පංචම කාල හෝරාවන් උදා වෙයි. මෙය ද ආර්ථික ස්ථාවරත්වය කියාපාන ග්‍රහ සිත්තමකි. එම ගුරු ස්වක්ෂේත්‍ර වී තිබීම නිසා ව්‍යාපාර හා තනතුරු පුළුල් කර ගැනීමේ අවස්ථාවන් ද උදාවනු ඇත.

මෙදින උදා නැකත පුෂ බැවින් පුනාවස, විසා, පුවපුටුප නැකැත් හිමි අයට මහා ප්‍රතිඵල ලබාගත හැකි වාසනාවන්ත දවසකි. තවද අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමි ඔබට ද මෙම නැකැත් මඟින් විපුල පල නෙළා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද මෙදින හෝරාව ගෙන ඇත්තේ ගුරු හෝරාව බැවින් හා දිනය සිකුරාදා බැවින් ශුභ දිශාව වන්නේ උතුරු දිශාවයි. ශුභ වර්ණ ලෙස කහ, තැඹිලි මිශ්‍ර වර්ණ, දීප්තිමත් වර්ණ හඳුන්වාදිය හැක. තවද ඊට පෙර දින එනම් බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.10ත් 9.10ත් අතර කහ මල්, කහ කොඩි, බෙහෙත් පැන් ආදිය පූජා කර තම කටයුත්ත සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්න.

වයෝවෘද්ධ හිමිනමකට කළු කුඩයක් පූජා කිරීම ද ඉතා ශුභයි. අදාළ නැකැතට පෙර කහ මල් ටිකක් පූජා කිරීම ද ශුභ ප්‍රතිඵල වැඩි කර ගැනීමට මහෝපකාරී වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී  ආචාර්ය ජී.එස්.එම්. කැලුම් ගුණතිලක

 

Comments