මනුසතට සෙත සලසන අභිසම්භිධාන යන්ත්‍රය | සිළුමිණ

මනුසතට සෙත සලසන අභිසම්භිධාන යන්ත්‍රය

අවශ්‍ය අයගේ නම යොදා දහස් වරක් හෝ  ඊට වැඩි ගණනක්  පිරිත් කරගත යුතුයි

 

රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ධනු, ශනි, රාහු, කේතු කියන්නාවූ නවග්‍රහයින් මුල්කොටගෙන සිදු වන්නා වූ විවිධ අපල උපද්‍රවද ජ්‍යොතිෂය මෙන්ම ගුප්ත ශාස්ත්‍රයට අනුකූලව විවිධාකාර අමනුෂ්‍ය දෝෂ ඇතුළු ප්‍රේත භූත පිශාදි වශයෙන් ප්‍රචලිත විවිධ දෝෂද එමගින් ඇති වන්නාවු ඇතැම් රෝග සහ එවැනි දෝෂ බලපෑමකින් සිදු වන්නාවු විවිධ රෝගවලට ජනතාවට මුහුණ දීමට සිදුවේ.

ජ්‍යොතිෂ ගුණ මන්ත්‍ර ශාස්ත්‍රයේදී මනුෂ්‍යයාගේ ඇසට නොපෙනෙන ගෝචර නොවන අමනුෂ්‍ය දෝෂ හඳුනා ගැනීමට ජ්‍යොතිෂ්‍යමය දෘෂ්ටි කෝණයකින් බැලීමේදී ලග්නගත කේන්දරයක අමනුෂ්‍ය නැත්නම් අශුද්ධ ආත්මයන් ගැන නිවේදනය කරන භාවය වනුයේ අට වැන්නයි. එබැවින් කේන්දරයක අට අධිපති මහසොහොන් යක්ෂයන් බහිරවයන් නිවේදනය කරනු ලබන රාහුගේ ක්‍රියාවලිය තුළ සිටින භූතයන්ද මළ ආත්මය නිවේදනය කරන සෙනසුරුද ග්‍රහයන් නිවේදනය කරන කේතු සමඟ එක්ව සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හය අට දොළහ යන දෘෂ්ටිභාවයක හෝ බාධකතාවක එසේත් නැත්නම් වෙනත් භාවයක දුර්වලව සිටින ලග්නාධිපතිට පීඩා කළ විට අමනුෂ්‍ය දෝෂයන්ගෙන් පීඩා විඳීම සිදු වේ.

ඇතැම් විට ඉහත කී ග්‍රහයන්ගෙන් ලග්නාධිපති මෙන්ම සදුද පීඩාවට ලක්ව ඇත්නම් ප්‍රබල ලෙස අමනුෂ්‍ය දෝෂවලට ලක්වනු ඇත. එමෙන්ම ලග්නයෙන් චන්ද්‍ර ලග්නයෙන් නමවැන්නාධිපති දුර්වලනම් පාප පීඩිතනම් එම අමනුෂ්‍ය දෝෂ බලපෑම් මත පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමටද හැකිය. ලග්නයෙන් සහ චන්ද්‍ර ලග්නයෙන් නමවැන්නාධිපති බලවත් වීම එම භාග්‍ය ස්ථානාධිපතියන්ගේ ග්‍රහ දෘෂ්ටියන් ලග්නාධිපති සහ චන්ද්‍ර ලග්නාධිපති හෝ චන්ද්‍ර (සඳු) කෙරේ සිදුවන්නේනම් අමනුෂ්‍ය දෝෂ හා සම්බන්ධ විවිධ දෝෂයන් යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාවට අදාළ විවිධ කටයුතු කිරීමෙන්ද දෙවි දේවතාවන් සඳහා දේව කන්නලව් කිරීමෙන්ද පුද පූජා පැවැත්වීමෙන්ද ඇතැම් විට තොවිල් ආදී කටයුතු කිරීමෙන්ද සුවය ලැබෙනු ඇත. නව ග්‍රහ දෝෂ නිසා විවිධාකාර ප්‍රශ්න ගැටලුවලට ලක්ව පීඩා විඳින කවර තරාතිරමක අයෙකුට වුවද දහසක් දෙනාට සෙත සලසන අභිසම්භිධාන පිරිත සහ යන්ත්‍රය පිරිත් අතුරින් බලගතු පිරිතක් ලෙසද සැලැකේ. ඉන් විවිධාකාර දෝෂ දුරු කර ආරක්ෂාවද දියුණුවද සලසනු ඇත.

මෙහි සඳහන් අභිසම්භිධාන පිරිත් යන්ත්‍රය නිවැරැදිව අවශ්‍ය අයගේ නමද අදාළ ස්ථානයේ සඳහන් කර පිරිසිදුව දහස් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් පිරිත් කර ගන්න අඟල් 10ක් දිග හෝ අඟල් 02ක් පළල තඹ කොළයක ශුභ දිනක ශුභ හෝරාවකින් උදය කාලයේදී යන්ත්‍රය ඇඳ ගන්න.

අභිසම්භිධාන යන්ත්‍ර තුනක් දැනට භාවිතයේ ඇත. අදාළ යන්ත්‍ර තුනම මෙහි දක්වා ඇත. සුදුසු ස්ථානයක මල් ආසනයක් සාදාගෙන ජීවම් කිරීමට පෙර තුන් සුත්‍රය ඇතුළු සෙත් පිරිත් කියා පේ කරන්න. යන්ත්‍ර ජීවමට අදාළ විධි අනුගමනය කර වරං දිෂ්ටිය නවග්‍රහ දිෂ්ටිය පලිප්පු පුට යන සියලු විධි අනුගමනය කරමින් අභිසම්භිධාන පිරිතෙන් අදාළ යන්ත්‍රය බල පිහිටුවා ගන්න. ඇතැම් යන්ත්‍ර සඳහා නැමි හතක්ද ඇතැම් යන්ත්‍ර සඳහා නැමි නමයක්ද භාවිත වේ. කැමැති ආකාරයෙන් යන්ත්‍රයක් සකස් කර ගන්න. දැහැන් හත සහ නවය ද මෙහි සඳහන් කර ඇත. දැහැන් නවය භාවිත කරන විට අභිසම්භිධාන මන්ත්‍රයේ(දැහැනට) සංඝ මන්තංච මන්තංච යන පදයෙන් පසුව ඉමං යන්න සඳහන් ස්ථානයේ අවශ්‍ය අයගේ නම යොදා ආතුරාස්‍ය යනුවෙන් සඳහන් කර භාවිත කරන්න. අවසානයේදී දෙවියන්ට පින් දී යන්ත්‍රය සුරයකට දමා උදය කාලයේ පලඳින්න.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී,

වෛද්‍යාචාර්ය එම්. රූපසිංහ

Comments