දරු උපතට සුබ හෝරාවක් | සිළුමිණ

දරු උපතට සුබ හෝරාවක්

පංච මහා සම්පත්තියෙන්  පිරිපුන් දුවෙක් හෝ පුතෙක් ලැබේවායිප්‍රාර්ථනා කරන්න

චන්ද්‍රයා කේන්ද්‍රස්ථානගතව සහ ගුරු ශුක්‍ර ලග්නයේ වීම ඉතාම සුබයි

පුරුෂ ලග්නයක් උදා වන විට පුරුෂ ග්‍රහයෙක් බලවත්ව සිටී නම් වාසනාවන්ත පිරිමි දරුවකු පිළිසිඳ ගෙන ඇත

 

සුධාරකොත්පත්තියක් (දරු පිළිසිඳ ගැනීම) සඳහා ඉතාම සුබ දිව්‍යමය මුහුර්තියක් සැකසීම ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා යන පංච මහා සම්පත්තියම හිමි දරුවෙකු මෙලොවට දායාද කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ජ්‍යොතිෂමය ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වේ.

කාන්තාව ඔසප් වී දින 7කින් පසුව උදාවන 13 වැනි දින කාල පරාසය තුළ පිළිසිඳ ගැනීමට ඉතාම යෝග්‍ය වේ. ඔත්තේ දිනවල පිරිමි දරුවන් ද ඉරට්ටේ දිනවල ගැහැනු දරුවන් ද පිළිසිඳ ගන්නා බැව් මතයකි.

මෙසේ ගර්භ දානයට අපේක්ෂා සහගතව ක්‍රියා කිරීම හරහා අස්විද - රෙහෙන - මුවසිරස - පුනාවස - පුෂ - උත්‍රපල් - හත - සා - අනුර - මුල - උත්‍රසල - සුවණ - දෙනට - සියාවස - උත්‍රපුටුප - රේවතී යන නැකත් යෙදෙන දින තෝරාගත යුතු වේ.

මේෂ තුලා මකර යන චර රැසක් හෝ වෘෂභ සිංහ වෘශ්චික කුම්භ යන තිර රැසක් තත් කාල ලග්නයක් ලෙස උදා වී තිබීම සුබය. රාත්‍රී 8.00 සිට අලුයම 4.00 දක්වා යහපත් වේ.

මේ ආකාරයට ග්‍රහ චාරය පිහිටීම ධනාත්මක වේ. ලග්නයේ චන්ද්‍රයා 9 වැන්නේ හෝ 7 වැන්නේ බුධ 5 ගුරු හෝ ශුක්‍ර සිටීම සුබයි. පාපී ග්‍රහයින් සිටීම අයහපත්ය.

චන්ද්‍රයා කේන්ද්‍රස්ථානගතව ද 3, 6, 11 භාවයක පාපීන් ද ගුරු ශුක්‍ර ලග්නයේ වීම ඉතාම ශුභ පිහිටීමකි. 5 වැන්නේ දුර්වල පාපීන් වීම අසුබයි. මෙම සටහන හරහා ගුරු ශුක්‍ර චන්ද්‍ර හෝරාවකින් ශුභ මුහුර්තියක් සකසා ගැනීම යහපත්ය.

පුරුෂ ලග්නයක් උදා වන විට පුරුෂ ග්‍රහයෙක් බලවත්ව සිටි මොහොතකට අනුව යොදා ගත් සුබ මුහුර්තියෙන් වාසනාවන්ත පිරිමි දරුවෙකු පිළිසිඳ ගනු ඇත. දේව සංකල්පය තුළ පත්තිනි දේවියත්, ශ්‍රී ලක්ෂ්මී දේවියත් උදෙසා පුද පූජා තැබීම ජීව මන්ත්‍ර කියැවීම මෙන්ම දාරක සම්පත් අපේක්ෂා සහගත සෙත් කවි නිර්මාණය කර සුබ මුහුර්තියකට කියැවීම ද යහපත් බැව් ජ්‍යොතිෂයේ දක්වා තිබේ. විවාහ වී මධුසමය ගත කිරීමේදී පංච මහා සම්පත්තියම පිරිපුන් දුවෙකු හෝ පුතෙක් ලැබේවායි චිත්ත මනෝ තරංග විශ්වයට මුදා හැරීම හරහා වාසනාවන්ත දරු ප්‍රසූතියක් ලබා ගැනීමේ මහඟු වාසනාව හිමි වේ.

දරුවාගේ වැඩීමේ පූර්ණ අයිතිය ඇත්තේ මවටය. ගැබ් ගත් මොහොතේ සිට පුරා මාස 7 දින 21 දක්වාම දරු ගැබ රැක ගත යුත්තේ ය. දරුවාට ගැබ තුළ පිහිටීමට අවශ්‍ය ජල බෑගය මනාව සැකසී තිබීම අනිවාර්ය කරුණකි. නිසි වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ. දරුවෙකු ඉබේ නූපදී. මවගේ සිතුම් පැතුම්වල ධනාත්මක පැතිකඩ අතිසාර්ථකත්වයෙන් ක්‍රියා කිරීම මැනවි.

 

ජ්‍යොතිෂවේදී

ටී. හෙන්රි බෙම්මුල්ල

Comments