නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් ගැන දැනුවත් කරයි | සිළුමිණ

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් ගැන දැනුවත් කරයි

නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතනවල නිළධාරීන් දැනුවත් කිරීම ඇරඹෙයි. දිවයිනේ පළාත් පාලන ආයතන 341 සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 
 
ඒ අනුව මෙහි පළමු වැඩමුළුව හොරණ, කුඹුක ‘ප්‍රශාන්ති’ උත්සව ශාලාවේදී අද (20) පැවැත්විණි. 
 
හොරණ නගර සභාව, හොරණ ප්‍රාදේශීය සභාව, බුලත්සිංහල ප්‍රාදේශීය සභාව සහ මදුරාවල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන හතරෙහි ලේකම්වරුන්, වැඩ අධිකාරීවරුන්, තාක්ෂණ නිළධාරීන් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ.
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතනවල නිළධාරීන් දැනුවත් කිරීම සහ ඔවුන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කර ගැනීමට සහය වීම මෙම වැඩමුළුවේ අරමුණවේ. 
 
නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන සැලසුම් හා රෙගුලාසිවලට අදාළ මූලික සැලසුම් නිරාකරණය, ඉඩම් සංවර්ධනය කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා වෙනස් කිරීම, අනුකූලතා සහතික ලබා දීම සහ වෙනත් රෙගුලාසි පිළිබදව මෙහිදී නිළධාරීන් දැනුවත් කෙරිණි.  
 
2021.07.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන බලප්‍රදේශ වලට අදාළව නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එය මෙරට සියලුම පළාත් පාලන ආයතන සදහා බලපැවැත්වේ. 
 
ශ්‍රී ලංකාවේ සමස්ත පළාත් පාලන ආයතන ගණන 341 කි. මහනගර සභා 29 ක්, නගර සභා 36 ක්, ප්‍රාදේශීය සභා 276 ක් ඊට අයත් වේ. නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කලේ ඉදිරි කාලය තුළ මෙම සියලු පළාත් පාලන ආයතනවල නිළධාරීන් සදහා මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිත බවයි.
 
 

Comments