සංචාරකයන් ආකර්ෂණය කරන අනුරපුර පෞරාණික භූමියේ සිරි විසිතුරු | Page 3 | සිළුමිණ

සංචාරකයන් ආකර්ෂණය කරන අනුරපුර පෞරාණික භූමියේ සිරි විසිතුරු

කළු දිය පොකුණ

හිමිදිරිය එකෙළි කරමින් රූරා වැටෙන නෑඹුල් එළිපොද දියමත නැඟෙන තරඟුවැල් රන් පැහැයෙන් සිත්තතම් කරයි. නැඟෙන හබල් පහරින් මතුවන පසුබිම් රිද්මයට මුහුවූ සියක් කුරුලු හඬය. ගං මතට නැමී හැලෙන තුරු රුප්පාවෙන් මෙපිට තැනෙක පිපී සැනහෙන මානෙල් මල් ගොන්නකි. ඔරු කඳ පසකින් කෙළිදෙලෙන් සරණ කුරුලු රැඟුම් දකිමින් සීරුවට ගමන් කරමින් සිටිමි.

මේ අප සිටින්නෙ මේ පුංචි දිවයින ගොඩ නැඟු මහා ශිෂ්ඨාචාරයේ දිවයවර මතය. ලෝකයක් රන්ජනය කළ අනුරාධපුර රාජධානිය බිහිවීමට අඩුම තරමින් වසර තුන්දහසකට පෙර මේ ගංගා නිම්නය දෙපස, මේ පොළවට උරුමකම් කී සැබෑ මිනිස්සු ජනාවාස පිහිටවූහ.

ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ සිදුවන විජයාවතරණය සම්බන්ධව අපි උත්කර්ෂයෙන් කතා කරමු. එහෙත් විජය ආක්‍රමණය කරන්නේ දියුණු ආනයන අපනයන වෙළෙඳාමක් සහිත, දියුණු කෘෂිකර්මාන්තයක් පවත්වාගෙන ගිය, මැටි උළු සෙවිලිකළ නිවාස හී වාසය කළ, අක්ෂර භාවිතයක් සහිත සමෘද්ධිමත් ජන කොටසක් බව ආචාර්ය සිරාන් දැරණියගලයන් පුරාවිද්‍යා සාධක මත තහවුරු කළේය. විජය ඇතුළු කණ්ඩායම ජනාවාස පිහිටුවීමට ප්‍රමුඛත්වය දෙන්නේත් මේ මල්වතු ඔය නිම්නයේය. රිටිගලින් ඇරඹී මන්නාරමින් මුහුදට වැටෙන ලංකාවේ මහවැලියට පමණක් දෙවැනි වූ ගංගාව මේ මල්වතු ඔයය.

දැන් මල්වතු ඔය අමුණේ සිට කළු පාලම ලෙස හඳුන්වන පැරණි දුම්රිය පාළම තෙක් දිවෙන කිලෝමීටර දෙක්ක දිගු බෝට්ටු සවාරිය අපූරු අත්දැකීමකි. උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ පවසන ආකාරයට මේ සංචාරය අතිශයින්ම සුරක්ෂිතය. අනුරාධපුර පොලිසියේ ජීවිතාරක්ෂක බලකාය, අනුරාධපුර සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය මෙන්ම ප්‍රතිලාභ ලබන ප්‍රජාව එක්වී ප්‍රජාවේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙන මෙම බෝට්ටු සවාරිය විසල් අත්දැකීමක් එක් කරමින් ඇත.

ගංදියවරින් ආර්ද්‍ර වූ සිහිල් සුළං රැළි හමා එයි. උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මේ වැඩසටහන ජීවමාන අනුරාධපුරයේ අටමස්ථාන භූමියෙන් එපිට පහළ වී ඇති සැඟවුණු විභූතිය පිළිබඳ සංස්කෘතික සංවාදයක් සඳහා කරන ඇරයුමක් වැන්න. ගෙවුණු දිනයත් ඒ නොමියෙන මතක රැසක් සහිත අත්දැකීම් ගොනුවකි. රන්මසු උයන, වෙස්සගිරිය, අශෝකාරාමය, ගල්පාලම පසුකර මිහින්තලයේ පෞරාණික ආරාම පරිශ්‍රය දකිමින් කළුදිය පොකුණ අසල සොඳුරු අත්දැකීමක් වින්දෙමු.

වෙස්සගිරිය තවමත් සිත් නිවා සනහන මහා අධ්‍යාත්මික සුවයක් කැටි වූ අතීත ලෙන් ආරාම සංකීර්ණයකි. මහැදුරු සෙනරත් පරණවිතානයන්ට අනුව අද වෙස්සගිරිය ලෙස හඳුන්වන මේ ලෙන් ආරාම සංකීර්ණය මිහිඳු හිමි දවස ඉසුරුමුණිය ලෙස හැඳින් වූ භූමිය ය. මේ ලෙන් ආරාම සංකීර්ණයේ නටබුන් අක්කර විස්සක භූමියක් පුරා පැතිරී ගොස් ඇත. ක්‍රිස්තු පූර්ව 2වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 09වන සියවස දක්වා අවුරුදු එක්දහස් තුන්සියක කාලයක් ආවරණය වන සෙල්ලිපි මාලාවක් සහිත මෙම පුරාණ ලෙන් විහාරය අතර සක්මන් භාවනාවක් වැන්න. ලෙනක සැතපී සිටිය හැකිසේ සිරුරේ වක්‍ර අනුව තැනූ අපූරු නිමැවුමකි. තවත් ලෙනෙක භාවනානුයෝගීව සිටියහැකි සේ ගල් පොළව සැස තැනූ කදිම ආසන පෙළකි. මේ අතර ලෙනක පියස්සෙහි අඳින ලද අනුරාධපුර යුගයේ මහා චිත්‍ර කලාව සිහි කරවන නාරි සිතුවමක ශේෂ පෙනේ.

ගල්පාලම එවැනිම මියුරු අත්දැකීමකි. සමෘද්ධිමත් ජාතියක් සංකේතවත් කරනු ලබන්නේ ප්‍රවේශ මාර්ගවල ස්වරූපයය. අනුරාධපුර රාජධානියේ මහා විභූතිය ගැන ඕනෑවටත් වඩා කතා කර ඇත්තෙමු. එහෙත් ඒ සංවර්ධනයට මූලික පදනම වැටුණු ආකාරය පිළිබඳ කතාව බොහෝ විට අපෙන් ගිලිහී යයි.

අතීත වහරේ උතුරේ දඹකොළ පටුන තෙක් විහිදුන කළුගල්ලා මාවත නම් මහා මාර්ගයක් පැනේ. කළුගල්ලාමාවත යනු කළු ගල් ඇතිරූ මාවත යන අරුත් දෙන බව කියති. වසර දෙදහසක අතීතයක් ගැන කියන ගල් පාදමක නැගුණු ගල් කුලුණු මත මනාකොට සුමට කළ ගල් පුවරු අතුරා තැනූ ගල් පාලම ලැබිය යුතු ගෞරවය සහිතව දකින්නට අනුරාධපුරයට එන අප මෙතෙක් මගහැරියේ ඇයිදැයි සිතමි.

අනතුරුව අප දුටුවේ තවත් පෞරාණික විශ්මයකි. මල්වතු ඔය වම් ඉවුර අසබඩ ඉදිවූ මනරම් පබ්බතාරාමයේ අතිශය කලාත්මක ප්‍රතිමාවහන්සේ නමක් වැඩ හිඳිති. පංකුලිය හෙවත් අශෝකාරාමය ලෙස හඳුන්වන මේ පුරාණ ආරාම සංකීර්ණයේ ප්‍රතිමාවහන්සේ දුටු අයුරු සිහිවේ. එය අතිශය විරල ප්‍රතිමාවකි. වම් අතේ කටක මුද්‍රාවය. දකුණු අතේ විතර්ක මුද්‍රාවය. හිස මුදුනේ මහායාන ඌෂ්ණිය ය.

තිසාවැව පාමුල රන්මසු උයන ක්‍රිස්තු පූර්ව දෙවන සියවස තෙක් දිවෙන සෙල්මුවා කැටයමින් සැදි පොකුණුවලින් හා ගොඩනැගිලි අවශේෂවලින් යුතු රාජකීය ජලෝද්‍යානයය. ක්‍රිස්තු වර්ෂ 8 -9 සියවස්වල කළ ඉදි කර ඇතැයි හඳුනාගෙන ගෙන ඇති ජලෝද්‍යානය තිසා වැවෙන් භූගත ජල මාර්ග ඔස්සේ මේ උයන වෙත දිය දහරා මනා පාලනයකින් යුතුව රැගෙන පැමිණි අයුරු පිළිබඳ සාධක තවමත් ජීවමානව පවතී.

දිනය උත්කර්ෂවත් කළ අත්දැකීම ලැබුවේ මිහිමින්තලාවේදී ය. මහින්දාගමනයේ සිට අද වනතුරුත් පොසොන් සමයේ මිහින්තලාව බැතිමතුන්ගෙන් පිරී යන්නේය. එහෙත් එම ගමනේ හරාත්මක සංචාරක වටිනාකම අප අතපසු කර ඇතිසේය. සිංහල බෞද්ධ මහා සංස්කෘතියේ මුල් බිජුවට වැපිරුණු උත්තම භූමිය සෑ ගිරිය ය. සාහිත්‍යයික උත්කර්ෂ අත්හල විට මහාවංශයේ සඳහන් පරිදි ලක්දිව බුද්ධශාසනයේ චිරස්තිථිය සඳහා මේ පින් බිම කේන්ද්‍ර වූ බවත් සාධනය වන පුරාවිද්‍යා සාධක කොතෙකුත් මිහින්තලාවෙන් හමුවේ.

ඊට අමතරව බෞද්ධයින්ට මේ බිම වැදගත්වන කරුණු ගණනාවකි. රජු හා කෙරෙන සාකච්ඡා වටයකින් අනතුරුව මිහිඳු හිමියන් මුල්ම ධර්මදේශනාව ලෙස චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන්නේ මිශ්‍රක පවුවේදීය. ඒ ධර්මය ශ්‍රවනය කළ රජ ඇතුළු පිරිවර බුදු සමය වැළඳ ගනිමින් පළමු බෞද්ධ දායක පිරිස බිහිවන්නේ මිහින්තලාවෙනි. මිහිඳු හිමියෝ මුල්ම රැය පහන් කරන්නේ මිශ්‍රක පවුවෙහිය. ලංකා භූමිය තුළ ගිහි පුද්ගලයෙක් පළමුවරට පැවිදි භූමියට ප්‍රවේශ වන්නේ මිශ්‍රක පවුවෙහිය. පසුව මේ මිශ්‍රක පවුව සෑ ගිරිය වන්නේය. ලංකාවට මුල්ම වරට ථූපාරාමයේ නිධන් කිරීම සඳහා වඩමවනු ලබන සර්වඥ ධාතූන්වහන්සේලා මුලින්ම තැන්පත් කරන්නේ ද මිශ්‍රක පර්වතයේය.

සංචාරයක දී නිමිති රහිත ඔහේ යන එන ගමනක විඩාවක් මිස ආශ්වාදයක් ඇති කරන්නේ නැත. ආගමික නැඹුරුවකින් තොරව වින්දනය කරනු රිසි නම් මිහින්තලේ කළුදිය පොකුණු පරිශ්‍රය වුවද ඒ සඳහා ප්‍රමාණවත්ය. භාවනානුයෝගී භික්ෂූන් වෙනුවෙන් ක්‍රිස්තුවර්ෂ 8වැනි සියවසේ පමණ ඉදිවූ බවට සැලකෙන කුඩා විලක් බඳු කළුදිය පොකුණ සහ ඒ අවට ස්ථානගත ගත කළ වාස්තු විද්‍යා විශ්මය සංවේදි මිනිසෙක් තිගස්වන තරම් උත්කර්ෂයක් උපදවයි. ඇත්වෙහෙර කන්ද හා අනායිකුට්ටි කන්ද අතර මනරම් නිම්නයේ පිහිටි කළුදිය පොකුණ කඳුවලින් ගලාඑන ජලයෙන් නිරන්තර පෝෂණය ලබන්නේය. මෙම පොකුණ කළුදිය පොකුණ ලෙස නම් කර ඇත්තේ එහි ජලය ගැඹුරු බව නිසා මෙන්ම අවට පර්වත හේතුවෙන් දියවර කළු පැහැයෙන් දිස්වන නිසා බව පෙනේ.

ගත කළ දිනයේ උත්කර්ෂය සමග විඳිමින් ඇති අත්දැකීමේ මිහිර පිරී ගිය තෘප්තියක් උපදවයි. මල්වතු ඔයේ ඔරුවෙන් පැමිණි ගමන කළු පාලම අසලින් නිමා වී ඇත. සීරුවෙන් ඉවුරට ගොඩවෙමි.

බොහෝ යහපත් පෙර මග ලකුණු පෙනේ. සංස්කෘතික සංචාර සඳහා වෙනස්ම වින්දනීය සංස්කෘතික පරිසරයක් සැලසුම් සහගතව නිර්මාණය කරමින් වැඩිමනත් සංචාරකයින් ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමේ සාමුහික වැඩපිළිවෙළක් උතුරුමැද පළාත තුළ ක්‍රියාත්ම වී ඇති අයුරු දකිමු. ඒ සඳහා පසුබිම සපයන උසස් සංකල්පවලින් යුතු හොටල් පද්ධතියක් අනුරාධපුරය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මකය.

කොවිඩ් 19 ගොලීය වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණ වූ සංචාරක කර්මාන්තය යළි යථාවත් කර විදේශ විනිමය ඍජුව උපයාගත හැකි ප්‍රධාන මාර්ගය විවර කරගැනීමට රටක් ලෙස විද්‍යානුකූළ සහ උපක්‍රමශීලී රජය ක්‍රියාත්මක වී ඇති අයුරු උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර පෙන්වා දෙන්නේ උතුරුමැද ජන සමාජයේ ආර්ථිකය නන්වා ගැනීමට සංචාරක ව්‍යාපාරය කළමනාකරණය කරගත යුතු ආකාරය ය.

“ විදේශිකයන් පමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ ඉහළ ආදායම් උපයන කණ්ඩායමට විනෝද විය හැකි ආකාරයෙන් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යෙමු කළ යුතුයි. ඒ අනුව මේ ප්‍රදේශයේ වැඩි අවධානයක් යොමු නොවුණු ස්ථාන කෙරෙහි ද අවධානය යොමු කරමින් සංචාරක කර්මාන්තය දියුණු කරන සැලසුමක අපි ඉන්නේ” .

උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ මේ ප්‍රායෝගික ඇත්ත පහදා දුන්නේය. "දේශීය සංචාරකයන් ලක්ෂයට වැඩි පිරිසක් සති අන්තයේ අනුරාධපුරයට එනවා. නමුත් ඔවුන් කෙතරම් දින ගණනක් අනුරාධපුරයේ නැවතී සිටිනවා ද ඔවුන් මේ භූමියේ දී දරන වැය ප්‍රමාණය කොපමණ ද යන්න අවධානය යොමු කිරීම වැදගත්. අනුරාධපුරය ලෝක උරුම නගරයක් වුවත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් සියයට තුනක අවම ප්‍රමාණයකුයි අනුරාධපුරයට පැමිණෙන්නේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගත යුතුයි.” දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු නොවුණු සංචාරක ස්ථාන වෙත වැඩි අවධානයක් සහිත සංචාරක සැලසුමක් ඔහු යෝජනා කරන්නේය.

සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උප සභාපති හර්ෂනාත් ගුණසේකරය. ඔහුගේ යෝජනාවත් අනුරාධපුර නගරයෙන් පිට ඇති සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමය. අටමස්ථානය වන්දනා කරගැනීමෙන් අනතුරුව ඉක්මනින් පිටවීමට උත්සාහ කරන ජනතාව අනුරාධපුරයේ රඳවා ගත යුතු ආකාරය සම්බන්ධව නැවත සිතා බැලිය යුතු බව ඔහු කියන්නේය.

“ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු විධිමත් වැඩපිළිවෙලක් සහ ශක්‍යතා අධ්‍යයනයක් අපි රජයට ඉදිරිපත් කර තිබෙනවා. කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් තුළ කටයුතු කරන්නේ නම් විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව ද තිබෙනවා" ඔහු පැවසුවේය. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පාලිත හෙන්නායක ගේ අදහස ද එයය.

2022 වනවිට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 719,978කි. එය සියයට 270.2 ක වර්ධනයකි. බිඳවැටුණ ආර්ථිකය ඉදිරියේ විරෝධතා සහිත පරිසරය ක්‍රමයෙන් මැකී යද්දී වර්ධනය වෙමින් ඇති මේ ව්‍යාපාරය අනාගතයේ සුබ ලකුණු පෙන්වා දෙමින් ඇත. ඉලක්කය, ඒ කෝටාවෙන් වැඩිමනත් ප්‍රතිශතයක් උතුරුමැද පළාත වෙතත් කැඳවා ගැනීමය.

අනුරාධපුරය සංචාරක ගමනාන්තයක් වශයෙන් සංවර්ධනය කිරීමට සැලසුම් සකස් වෙමින්තිබේ. මේ තත්ත්වය විද්‍යාත්මකව වෙනසක් කිරීම සඳහා ඓතිහාසික ස්ථාන දැකීමට වැඩිමනත් සංචාරකයින් එන රටවල අත්දැකීම් සහිත විද්වතුන්ගේ අන්තර්ජාතික අත්දැකීම් ද සහිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

උදාවන හෙට දිනය උතුරුමැද ජන සමාජයේ ආර්ථිකය මෙන්ම රටේ ප්‍රාර්ථනාව ද සඵලවන යහපත් එකක් වනු ඇති බවට වූ පැහැසර හැඟීම් සහිතව මෙපිට බලමි. තුරු හිස් මතින් මහා සෑයේ කොත් මුදුන පෙනෙමින් ඇත. අපි සෑ ගිරියෙන් එපිට මහා කනදරා වැව ඉස්මත්තේ දුර්භෝගී ජීවිත ගත කරමින් සිටින අපේක්ෂා සහිත මිනිසුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා ගැනීමේ අභිලාෂයෙන් අපේ ගමන යළි ආරම්භ කළෙමු.




ඡායාරූප - සුලෝචන ගමගේ

Comments