රත්රන්වලට රනින් ලියැවෙන ඉල්ලුමක් | Page 2 | සිළුමිණ

රත්රන්වලට රනින් ලියැවෙන ඉල්ලුමක්

ත්රන් ඇයි ඔච්චර ගණන්? යන ප්‍රශ්නය ප්‍රේම ලෝකයේදී නිතර අහන්ට සිදුවෙන පද පෙළකි. හැත්තෑව සමගි පෙරමුණ ආණ්ඩුවේ නායිකා සිරිමාවෝ විසින් ඇන් ඇම්, කොල්වින් වැනි නායකයින් පාලනයට එක්කර ගැනීම එදා දේශපාලනයේ හැඳින්වූයේ 'රත්‍රමොල' හවුල් කර ගැනීමක් ලෙසය.

තමිල්නාඩුවේ මහා ඇමැතිවරයෙකුව සිටි ජනප්‍රිය බයිස්කෝප් නළු එම්. ජී. රාමචන්ද්‍රන් මිය ගිය වේලේ තමිල්නාඩුව පුරා ඇල වූ පෝස්ටරයේ සඳහන් වූයේ 'රත්‍රං හදවත නිහඩයි' ලෙසය. 

මේ වාක්‍යයේ තේරුම නොදත් ලංකාවේ ගොයියන් විජය කුමාරතුංග මිය ගිය අවස්ථාවේ 'රත්‍රන් හදවත නිහඬයි' යනුවෙන් පෝස්ටරයක් ගැහුවේ ඩීමන් ආනන්ද නිසාය. එහෙත් මේ බොහෝ දෙනෙක් හිටපු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍රන් දිනකට යම් වට්ටෝරුවකට රත්‍රං පානය කළ බව දැන සිටියේ නැත. එම්. ජී. 'රත්‍රං කුඩු' දියරය පානය කළේ තම සමෙහි වර්ණය රත්පැහැ ගන්වන්නටය.

රත්‍රන් මිල දරාගත නොහැකි ලෙස ඉහළ යද්දි අපේ හුදි ජනතාවට නම් රත්‍රං කුඩු දියකර බොනවා තියා කරේ කනේ තිබූ රත්‍රන් කරාබු මාල උගස් තැබුවේ බඩ වියතට මූලික අවශ්‍යතාවක් වූ අත්‍යවශ්‍ය ආහාර ඩිංගිත්තක් වත් මිලදී ගැනීමටය. එහෙත් කොරෝනාවෙන් පසු හිටු කියා ඉහළ ගිය රන් මිල පසුගිය සතියේ හිටි අඩියේ පහත වැටුණේය. ඒත් පසුදිනම ආයෙත් තිබුණ මිලටත් ඉහළ මිලකට නැග්ගේය. අප මේ ගැන කරුණු සොයන්නට පසුගිය සතියේ රත්‍රන් බඩුවලට නම් දරාපු හෙට්ටි වීදිය නොහොත් සී ස්ට්‍රීට් එකේ කරක් ගැහුවෙමු.

අපි හෙට්ටි වීදියට ගියේ ගිනි කාස්ටක අව්වේය. එකකට එකක් හේත්තු කොට ඇති බිල්ඩින්වල ඇති රත්‍රන් බඩු සාප්පුවල ජනතාව සිටියේ අතුරු සිදුරු නැතුවය. මේ ජනතාව පොදි කන්නේ රත්‍රන් බඩු මිලදී ගන්න ද ඒත් නැත්නම් ඒවායේ මිල අසා 'අනේ අපොයි' කියන්ටදැයි යන පැනය වෙනම එකකි.

හෙට්ටි වීදිය යනු තනි අතට යන වීදියක් නොහොත් One way පාරකි. එහි මීටර් 300ක් පමණ ගිය පසු වම් අතට හමුවන පළමු මාර්ගයෙන් පසු රත්‍රන් බඩු සාප්පු දකින්නට නැත. ඉන්පසු ඇත්තේ කෝවිල් තුනක්, සයිවර් කඩ දෙකක්, ඉලෙක්ට්‍රික් බඩු කඩ හා කඩදාසි ආනයනකරුවන්ගේ කඩය. ඡායාරූප ශිල්පියාත් සමඟ රත්‍රන් කඩ ඇති පැත්තටත් නැවතත් ගෑස්පහ හන්දියටත් කිහිපවරක් එහා මෙහා ගියේ 'රත්‍රන් මිල' ගැන ලිපියට හෝඩුවාවක් සොයා ගන්නටය.

සෙනඟ ටිකක් අඩුවෙන් සිටි රත්‍රන් බඩු සාප්පුවක ඈනුම් අරිමින් සිටි මුදලාලිගෙන් රන් භාණ්ඩ සාප්පු හිමියන්ගේ සමිතිය ඇති තැන අසා සිටියෙමු. ඉන්පසු එක් ගොඩනැඟිල්ලක මහල් කීපයක් නැඟ මේ 'රත්තරන් සමිතිය' සොයා යාමට මහත් ප්‍රයත්නයක් දරන්නට සිදුවිය. මුලින් අප සිතුවේ බොහෝ දෙනා මේ 'රත්තරන් සමිතිය' ගැන නොදන්නා බවය. එහෙත් සිදුවී තිබුණේ භාෂා ප්‍රශ්නයකි. අප රත්‍රන් සමිතිය ගැන අසා සිටි බොහෝ දෙනා ඉන්දියන් ජාතිකයන් නිසා ඔවුන් බොහොමයක් සිංහල භාෂාව දැන සිටියේ නැත.

ලංකාවේ රන් භාණ්ඩ නිපදවන්නන් හා රන් භාණ්ඩ අලෙවිකරුවන් එක්වී පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් වන්නේ රත්නරාජා සරවනන්ය.

"ලංකාවේ රත්‍රන් මිල වැඩි වෙන්න ඩොලර් එකට වඩා බලපෑවේ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ඉහළ ගිය එක. ගිය අවුරුද්දේ රත්‍රන් පවුම රුපියල් 225,000/= දක්වා වැඩිවෙලා අඩු වුණා. පසුගිය සතියේ මාර්තු නව වැනිදා රත්‍රන් මිල බැස්සා රුපියල් 140,000/=කට. කැරට් 22 රත්‍රන් පවුම 134,000/= බැස්සා. ඩොලරය රුපියල් 362 ඉඳන් 307ට අඩු වුණ ගමන්ම රන් මිල හිතාගන්න බැරි විදිහට රුපියල් 40,000/=ක් විතර අඩු වුණා. ඒත් ඒක හිතාගන්න බැරි අඩුවීමක්."

"ගිය සතියේ රත්‍රං මිල එක දවසක් අඩු වුණේ ඩොලර් එක අඩුවෙච්ච දවසේ ගුවන් මගින් අසීමිත ලෙස රත්‍රන් ගෙනාපු නිසාදැයි" මම රත්න රාජාගෙන් විමසා සිටියෙමි.

"මංගල සමරවීර මුදල් ඇමැති කාලේ රත්‍රන් ඉම්පෝට් නැවැත්තුවට පසු ලංකාවට ගේන්නේ නෑ. දැන් රත්තරන් පිටරටින් එන්නේ අවිධිමත් විදිහට. නැත්නම් පිටරටවල ඉන්න අය පැළඳගෙන එන ඒවා තමයි. උණ්ඩියල් ක්‍රමවලට ලංකාවේ රත්තරන් ඉන්දියාවට යවපු නිසා තමයි මංගල සමරවීර මේ තහනම ගෙනාවේ."

රත්නරාජා තම ස්මාට් දුරකතනයෙන් අප කතබහේ යෙදෙන අවස්ථාවේ ලෝක වෙළෙඳපොළේ පවුමක මිල පෙන්වා දුන්නේය. එහි සඳහන් වුයේ LIVE GOLD MARKET ROUTEN ලෙසය.

"මේ රත්‍රන් මිල අඩු වුණාට බිස්නස් අඩුයි. රත්‍රන් බඩු හදල ජීවත්වෙන දහස් ගාණක් ඉන්නවා. දක්ෂම රන්කරුවෝ ඉන්නේ කඩවත, ගාල්ල වගේ පැතිවල. වැඩ නැති නිසා සමහරු රට ගියා. සමහරු ත්‍රීවිල් එලවනවා."

හෙට්ටිවීදියේ රන්කරුවන්ට රත්තරනින් බඩේ පහර වැදෙන්නට එක් හේතුවක් වූයේ ඩුබායි සහ ඉන්දියාව වැනි රටවල සිට රන් ආභරණ ආනයනයයි. එමෙන්ම කල්කටාව, බොම්බාය වැනි ප්‍රදේශවලින් රන් කර්මාන්තය ආශ්‍රිත ශ්‍රමිකයන් පැමිණීම ද මෙම රන්කාරයන්ගේ ජීවනෝපාය බිඳ වැටීමට හේතුව වී තිබෙන අතර ලංකාවේ කෘතහස්ත රන් කැටයම්කරුවන්ට වඩා අඩු මිලකට ඔවුන් රැකියාවේ නියුතුවීම ද රන් අර්බුදයක් වී තිබේ.

අප මීළඟට හමුවූයේ ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ සභාපති ඒ. විජයකුමාර්ය.

"ලෝකයේ රත්‍රන් මිල විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා. 'ලන්ඩන් ගෝල්ඩ් ඔක්ෂන්' එකේ මිලට මෙහෙ මිල සමාන කරනවා. මාර්තු 10 රන් පවුම අඩු වුණාම මිනිස්සු තව අඩුවෙයි කියල බලන් හිටිය. මිනිස්සු හිතුව පවුම ලක්ෂයට බහියි කියල. රන් පවුම වැඩිවෙනකොට ඔක්කොමල තියෙන රත්තරන් ටික වික්කා. දැන් ඉතින් පවුලකට රත්රන් අරගන්න ඉතුරුවක් කරන්න ආර්ථික තත්ත්වයක් නැහැ. දැන් පිටරටින් රත්‍රන් එන්නේ නෑ. රටේ තියෙන රත්තරන්ම රීමික්ස් කරනවා (නැවත උණු කරනවා) මේ සී ස්ට්‍රීට් එකේ අවුරුදු දහයකින් රත්‍රන් බඩු කඩයක් විවෘත කරල නැහැ. රත්රන් වැඩ පුහුණු කරන්න අවුරුදු 5ක්වත් යනවා. ඒත් පුරුදු වුණාම වැඩ නැති නිසා දැන් රට යනවා."

රත්‍රන් බඩු හදන විට යොදාගන්නා උපකරණ මෙන්ම මාල, වළලු, මුදු දාන විසිතුරු පෙට්ටි අලෙවි සැලක් වූ ශාන්ති ජුවලර්ස් කළමනාකරු වූයේ මුතුරාමන්ය.

"ඉස්සර මුදු දාන පෙට්ටි 200ක් ගියා නම් දැන් 50යි යන්නේ. රත්‍රන් කැටයම් කරන උපකරණත් අඩුවෙන් යන්නේ."

'ඒ නම් ඉතින් දැන් මාජින්වල රත්‍රන් බඩු කැටයම් කරන හින්ද වෙන්නැති' මගේ මතය විය.

මුතුරාමන් කියන පරිදි අතීතයේ රන් කර්මාන්තය හස්ත කර්මාන්තයකි. දැන් අනෙක් හැමදේටම මෙන් රන් කර්මාන්තයට ද යන්ත්‍රෝපකරණ පැමිණ ඇත. එහෙත් රන්කරුවන් පවසන්නේ යන්ත්‍රවලින් තනන ඒවාට වඩා අතින් නිපදවන රන් ආභරණ වඩාත් ශක්තිමත් බවින් යුතු බවය.

"කොච්චර අලුත් ටෙක්නොලොජි එකේ ජුවලරි හැදුවත් හෑන්ඩ් මේඩ් බඩු හුඟක් ශක්තිමත්. ඒ වගේම හොඳ නිමාවක් තියෙනවා. ඒ නිමාව මැෂින්වලින් ගන්න බෑ. ඒ වගේම තමයි කල්පැවැත්ම. හෑන්ඩ් මේඩ් ජුවලරි තරම් කල් පැවැත්මක් මැෂින්වලින් හදන රත්තරන්වල නෑ කියල කස්ටර්මස්ලා ඉල්ලන්නේම හෑන්ඩ් මේඩ් රත්න් බඩු තමයි." 

රත්‍රන් බඩු ඔප දමන සකිම් කීවේ ද බඩු ඔප දමන විට මැෂින්වලින් හදන රත්‍රන් බඩු බිඳෙන්නට ඇති අවස්ථාව වැඩි බවය.

හෙට්ටි වීදියේ නම ගිය රත්‍රන් බඩු සාප්පු බොහෝය. එයින් රත්නමහල් ජුවලර්ස් ආයතනයේ කළමනාකරු, එස් කදිරේෂන් අපව පිළිගත්තේ දැඩි ළෙන්ගතුකමකින්.

"පෙබරවාරි 4 පවුම තිබ්බේ 193,000/=යි. මාර්තු 8 වැනිදා පවුම 145,000/=ට බැස්සා. මාර්තු 10 පවුම 161,000යි, මාර්තු 11 වැනිදා පවුම 167,000/=යි. මේ වෙලේ ලෝක වෙළඳපළේ මිල වෙනසක් වුණේ නෑ. ලංකාවේ ඩොලරය අඩුවීම තමයි හදිසියේ මිල අඩු වෙන්න හේතු වූයේ. කදිරේෂන් මෙහිදී රන් පවුම වැඩිම මිලට අලෙවි වූ අවස්ථාව ගැන ද සඳහන් කළේය.

"2022 මාර්තු පවුම නැග්ග උපරිම මිලට රුපියල් 228,000/=ට. ඒත් මාර්තු 31 වැනිදා රුපියල් 207,000/=ට බැස්සා. මාර්තු 9 පවුම රුපියල් 40,000/=ක් අඩු වුණා කියල කවුරුත් දන්නේ නැහැ."

රත්‍රන් බඩු ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ මඟුල්තුලා කටයුතුවලටය. දැන් පවුම් එකයි කාලෙන් හදන මනමාලිය ගෙල බඳින කරමාලය රුපියල් 246,000/=කි. මනමාලිගේ පවුම් කාලේ මුද්ද රුපියල් 95,000/=කි. මනමාලයාගේ මුද්ද යන්තම් පවුම් තුන්කාලකින් හැදුවොත් මිල රුපියල් 142,000/=කි. අඩුම බරට රත්තරන් යොදා හැදුවත් මේ තුනට හාරලක්ෂ අසූහතරදහක් වැයවෙන බැවින් හඳපානේ මනමාලිය කැඳවාගෙන යාම වඩාත් ලාබදායී වී තිබේ.

මේ රත්‍රන් අලෙවිකරුවන් පවසන්නේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය අඩුවූ විට ජනතාව වැඩි වැඩියෙන් රත්‍රන් මිලදී ගන්න බවය. එහෙත් පසුගිය වකවානුවේ ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලිය සියයට විසිහයටත් එහා ගිය සමයක් විය. 

"කවුරුත් ඒවගේ වෙලාවට රත්‍රන් ගන්නේ නෑ. සමහරු තියෙන රත්තරනුත් විකුණල ෆික්ස් ඩිපෝසිට් දැම්මා."

හෙට්ටිවීදියේ ගනේෂා ජුවලර්ස් කළමනාකරු එන්. නඩරාජාය. නඩරාජා රත්‍රන් බිස්නස් එකට බැස්සේ මීට තිස්හත් වසරකට පෙර 1986 දීය.

"1986 රන්පුවුම රුපියල් 3500/=යි. පසුගිය සුමානේ පවුම 135,000/= බැස්ස වෙලේ මිනිස්සු බලන් හිටියේ තව බහියි කියලා. සල්ලි තිබ්බ නම් අපි පවුම් අරන් දානවා. ඉස්සර වෙඩින් එකකට අයිටම් 5ක් විතර හදන්න පවුම් 6ක් අඩුම ගානේ යනවා. කරමාලේ, මුදු දෙක, වළලු, කරාබු විතරක් නෙමෙයි මනමාලයාගේ කකුල් හෝදන මස්සිනාටත් මුද්දක් හැදුවා."

කලකට ඉහත හෙට්ටිවීදියේ රත්‍රන් කඩවලට කදිම ඉල්ලමක් වී ඇත්තේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් රත්‍රං සීට්ටු දමා රත්‍රන් බඩු ගැනීමය.

"දැන් නම් මතක ඇති කාලෙක කටුනායක ළමයි ආවේ නෑ. දැන් රත්‍රන් මිල වැඩි හින්ද ඒ ළමයින්ට ගන්නත් අමාරුයි."

හෙට්ටිවීදියේ ජයලලිතා ජුවලර්ස් කළමනාකරු පී. නවනිදම් රත්‍රන් මිල ගැන කියන්නේ මෙසේය.

"අද කැරට් 24 පවුම රුපියල් 173,000යි. කැරට් 22 පවුම රුපියල් 158,500/=යි. මාර්තු 8 පවුම රුපියල් 135,000/=ට බැස්සාම දන්න අය ගත්තා. අප්‍රේල් අවුරුද්දට පස්සේ එන්නේ වෙඩින් සීසන්. මැයි රත්‍රන්වලට ඉල්ලුම වැඩි වෙනවා. රත්‍රන් තවත් ඩිමාන්ඩ් වෙනවා."

රත්‍රන් උකස් ගන්නා කඩ හෙට්ටි වීදියේ ද ඇත. ඇතැම් රත්‍රන් බඩු කඩ රත්‍රන් ආභරණ මිලදී ගැනීමේ ද නියුතුව සිටී. අද බැංකු පොලිය වැඩි නිසා සාමාන්‍ය කෙනකුට හදිසි ණයක් ලබාගැනීම සඳහා පහසුම ක්‍රමය වනුයේ බැංකු හෝ මූල්‍ය ආයතනවලට තම රන් භාණ්ඩ උකස් තබා ණය මුදලක් ලබා ගැනීමය. රත්‍රන් උකස් ගැනීම අද බැංකුවල සහ මූල්‍ය ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇත. දැන්වීම් ප්‍රචාරය කරමින් තරගකාරී ලෙස භාණ්ඩ උකස් ගැනීමට පෙලඹී ඇත්තේ මේ නිසාය. උදේ පාන්දර මෙම ආයතන විවෘත කරන විට ඒවා ඉදිරියේ උකස් පෝලිම් ඇති වී තිබෙන අයුරු දැකගත හැක්කේ මේ නිසාය. රන් උකස් තැබීමට ප්‍රධාන හේතුව ජනතාවගේ එදිනෙදා ආහාර හා අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මුදල් නොමැති වීමය. අද බොහෝ අම්මලාගේ කනේ ගෙලේ ආභරණ නැත. සියල්ල උකස් කඩයේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් බැංකු, මුල්‍ය ආයතන හා උකස් සමාගම් යොදාගෙන කළ විශේෂ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ රට පුරා ලක්ෂ 40ක පමණ ජනතාවක් 2022 වසරේ ඔක්තෝබර් දක්වා වූ මුල් මාස 10 තුළදී පමණක් රුපියල් කෝටි 16,900කට ආසන්න වටිනාකමකින් යුත් රන් බඩු ප්‍රමාණයක් බැංකු සහ මුල්‍ය ආයතන ආදියට උකස් කොට ඇති බවය. 

අප හෙට්ටි වීදියේ යන විට කිහිපදෙනකු පදික වේදිකාවේ මෙන්ම මහපාරත් පින්සලකින් අතුගා දූවිලි පැතලි භාජනයකට දමා ගනු දැකගත හැකි විය. ටිකක් ළංවී ඒ පුද්ගලයාගෙන් කරන්නේ කුමක්දැයි විමසා සිටියෙමි.

"අපි බිස්නස් එකට කරන්නේ රත්තරන් බඩු කඩවල, වැඩපළළුල තියෙන 'කුණු' එකතු කරන එක. රත්තරන් වැඩ කරන කොට කොහේ කවුරු කොහොම කළත් රත්‍රං කුඩු ප්‍රමාණයක් අපතේ යනව. ඒක උවමනාවෙන් වෙන වැඩක් නෙවෙයි. නොදැනුවත්වම එහෙම වෙනවා. රත්තරන් ටික උණු කරද්දි, තලද්දි, පීරි ගාද්දි ඇහැට නොපෙනෙන සියුම් අංශු හුළඟට එකතු වෙලා වටපිටාවෙ තැන්පත් වෙනවා. වැඩ කරන අය උපරිම ට්‍රයි එකක් දෙනව 'කුඩු' ටික දනිස් දෙක උඩ දාල තියෙන හමට දාගන්න. ඒත් බෑ. ටිකක් හරි අපතේ යනවමයි. ඒ වගේම ඒ වැඩ කරන අයගේ ඇඳුම්වල, සපත්තුවල ගෑවිල පාරට එනවා. ඒවා තමයි අපි මේ එකතු කරන්නේ."

දැන් මේ රත්‍රන් මිල ඉහළ යන අන්දම දුටුවිට මනමාල මහතකුට මඟුලට ද්‍රව්‍ය රත්‍රන් එකතු කර ගැනීමට හොඳම විසඳුම පින්සලක් ගෙන හෙට්ටිවීදිය අමැදීඹ බව ඔබ වරදවා වටහා ගත යුතු නැත. නාගරික වාසින්ගේ ඇති හැකි බව මනින සාධකයක් වන්නේ නගරයේ ඇති රත්‍රන් බඩු සාප්පු ගාන යැයි කියමනක් තිබේ. රන් පවුම කෙතරම් මිල ඉහළ ගියත් ඒ 'රන්' ගන්නට ගනුදෙනුකරුවන් 'රන්මසු' සොයා එනතුරු මේ රන්හල් පුල පුලා බලා සිටින්නේ ඒ නිසා විය යුතුය.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments