රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් ගොඩනැඟිය යුතුයි | Page 2 | සිළුමිණ

රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් ගොඩනැඟිය යුතුයි

මෙරට පවත්නා වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සියලු පාර්ශ්ව දැනුම්වත්ය. මේ අර්බුදය මතු වූයේ 2020න් පසුව වුවත් මේ අර්බුදයට හේතු මීට දශක දෙක තුනක සිට පැවැත එන්නකි. අපි මෙතෙක් අපනයනය කර උපයා ගන්නා ප්‍රමාණයට වඩා දෙගුණයක් ආනයනික වියදම් පවත්වාගෙන පැමිණි රටකි. 2022 වසර ගත් විට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 11 ආසන්නයේ පැවැති අතර, ආනයනික වියදම ඩොලර් බිලියන 22කි. එසේ නම් වැඩි වන මේ ආනයනික වියදම සඳහා විදෙස් විනිමය උපයාගත යුත්තේ කෙසේද? එය විදෙස් ණය ලබා ගැනීමෙන් පියවා ගන්නා ලදි. කාලාන්තරයක් පුරා පැවැති මේ ක්‍රමවේදයේ අනිසි ප්‍රතිවිපාක කොවිඩ් සමඟ පුපුරා යෑමක් සිදු විය. එසේම බදු සහන වැනි ක්‍රියාදාමයන් හරහා 2020 පත්වූ ආණ්ඩුවේ යම් වැරැදි ක්‍රියාමාර්ගයන්ද මේ සඳහා බලපාන ලදි.

නමුත් දේශීය යාන්ත්‍රණය යහපත් කිරීමට නම් දේශීය වියදම් පියවා ගැනීම සිදු වූයේ නිතර හිඟ අයවැයක් පවත්වාගෙන ඉදිරියට යෑමෙනි. එවිට රට තුළින් ආදායම් උපයා ගැනීම සිදු කළ යුතුය. නිතර හිඟ අයවැයක් පවතී නම් එහි සමබරතාව පවත්වා ගැනීම සිදු නොවෙයි. රට තුළින් ආදායම් නොලැබුණ තත්ත්වයක් තුළ සිදු වන්නේ මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීමක් සිදු වීමයි. මේ මඟින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළට ගලාගෙන පැමිණියත්, පසුව උද්ධමනය 100% වැඩි විය.

කෙසේ වෙතත් පසුගිය සතියේ සිට රුපියලේ අගය 12%කින් පමණ ප්‍රතිශතයකින් අධිප්‍රමාණය විය. ඩොලරය 340ක සීමාවට පැමිණීම සිදු විය. එයට හේතු වූයේ ලංකාවේ පුද්ගලික වාණිජ බැංකුවලට අත්‍යවශ්‍ය ආනයන පහසුකම් සඳහා ඩොලර් මිලියන 400ක හුවමාරු පහසුකමක් ලැබීම සහ ආනයනික පාලනයක් පවත්වා ගෙන යෑමයි. එසේම සඟවා ගෙන තැබූ ඩොලර් බිලියන 500ක මුදලක් ද වෙළෙඳපොළට එකතු වීමයි.

මෑතකාලීනව පනවන ලද ඉහළ බදු අනුපාත නිසා සමාජයේ යම් විරෝධතා පැවැත්වුවද මේ විරෝධතාවන්ට එක්වන්නන්ගෙන් බදු නොගෙවන අය වෙති. එසේ පැමිණෙන ඇතැමකු බදු නොගෙවන්නන් වුවද විවිධ දේශපාලන අරමුණු මත පැමිණ විරෝධතාවන්ට එක් වෙති.

එසේ මේ තත්ත්වය සමනය කර ගැනීමට රටක් ලෙස ගත යුතු පියවර කවරේද යන්න පිළිබඳ විමසා බැලිය යුතුය. රටක ආර්ථිකයක් ගොඩනැඟීමට කෙටි,මධ්‍ය සහ දීර්ඝකාලීන විසඳුම් තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 80ක තරම් කුඩා ආර්ථීකයකි. බිලියන 80න් විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51කි.

අපේ රටට මෙය ගැටලුවක් වී ඇත්තේ අපි ණය ඩොලර්වලින් ලබාගත් ණයක් හෙයිනි. එයට හේතුව රුපියල්වලින් ණය ලබා ගන්නේ නම් එය අසාදු වීමක් හෝ බංකොලොත් වීමක් සිදු නොවෙයි. මෙම වසරේ ජනවාරි මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 900කි. අපේ ආනයනික වියදම ඩොලර් මිලියන 1400කි. මේ නිසා ඇති වන වෙළෙඳ ගිණුමේ හිඩැස පියවා ගන්නේ කෙසේද යන ගැටලුව මේ වනවිට මතුවී තිබේ. මේ වෙළෙඳ ශේෂ හිඟය වසර ගණනාවක් ඉදිරියට පවත්වා ගෙන පැමිණ ඇත. මේ වෙළෙඳ ශේෂ හිඟය පියවා ගැනීමට අපි නිසි පියවරක් කිසිදු දිනක ගෙන නැත. උදාහරණයක් ලෙස 2022 අපේ මුළු අපනයනවලින් 52%ක් රෙදි පිළි සහ ඇඟලුම් සහ 17%ක් තේ අපනයන වෙයි. එසේ නම් 69%ක් අපේ අපනයන ඉපැයුම් පවතින්නේ භාණ්ඩ දෙකක් මතයි.

අපනයන විවිධාංගීකකරණයක් අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. අපේ අපනයනවලින් 60% වඩා යන්නේ අමෙරිකාව, එංගලන්තය ප්‍රමුඛ යුරෝපා රටවලටයි. ඉන් පැහැදිලි වන්නේ අපනයන විවිධාංගීකරණයක් වෙළෙඳපොළ මත සිදුවී නැති බවයි. මේ සඳහා කෙටිකාලීන විසඳුම් සීමාසහිතය. ඒ නිසා මැදි හා දීර්ඝකාලීන විසඳුමක් කරා යෑම මෙතැන් සිට අප ආරම්භ කළ යුතුය.

විශේෂයෙන් අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් ඉහළ ඉහළ මිලක් ලබා ගත හැකි භාණ්ඩ නිෂ්පාදනය වෙත යොමු විය යුතුයි. එවැනි භාණ්ඩ නිෂ්පාදනයට යෑමෙන් ඒ නිෂ්පාදන කර්මාන්තශාලාවල වැඩ කරන උගත්, තරුණ, බුද්ධිමත් සේවකයන්ට ඉහළ වැටුපක් ගෙවීමට හැකියාවක් ලැබෙයි. වත්මන් තරුණ පරපුර ඩිජිටල්කරණය, තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් දැනුමෙන් ඉතා ඉහළ මට්ටමක සිටීම ඒ සඳහා ප්‍රබල පිටිවහලක් වෙයි. ඒ ආකාරයට තාක්ෂණික අතින් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කිරීම මඟින් උගත් තරුණ පිරිසට ඉහළ වැටුප් ලබා දෙන රැකියා උත්පාදනය කිරීමට ද අවස්ථාවක් සලසා ගත හැකිය. එයින් බුද්ධිගලනය පාලනය කර ගත හැකිය. මේ පිරිස රටේ රඳවා ගැනීමට නම් ඉහළ වැටුප් උපයන කර්මාන්ත ආරම්භ කිරීම වැදගත් වෙයි. එහෙත් මේ කර්මාන්ත ආරම්භ කිරීමේදී හුදෙකලා කර්මාන්ත ආරම්භ නොකර පොකුරු ආකාරයේ කර්මාන්ත සහ එසේම කාර්මික ගම්මාන ඇති කළ යුතුය. තරගකාරීත්වය හරහා ඵලදායිතාව ඉහළ නංවාගත හැකිය.

මේ වනවිට රජයේ අදායම වැඩි කර ගැනීමට බදු වැඩි කිරීමක් සිදු කර ඇත. 2020 බලයට පත් රජය හඳුන්වා දුන් බදු සහන නිසා මුළු බදු ආදායම ජාතික නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස 8% තරම් පහතට වැටිණි. සාමාන්‍ය ‍ෙයන් දියුණු වෙමින් පවතින රටකට මෙවැනි බදු ආදායමක් කිසිසේත් ගැළපෙන්නේ නැත. වර්තමාන රජය නව බදු ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දුන්නේ එම දුර්වලතාව මඟ හරවා ගැනීමටය. බදු ආදායම සම්බන්ධයෙන් ගත් විට වක්‍ර බදු 80% පවතිද්දී ඍජු අදායම 20%ක් පවති. එසේ නම් ඉහළ ආදායම් ලබන පිරිසෙන් අදායම් බදු ගෙවන්නේ 20%ක් පමණි. ආදායම් බෙදී යෑමේ විෂමතාව ගත් විට අපේ රටේ ජාතික නිෂ්පාදිතයෙන් 55%ක් පමණ පාරිභෝජනය කරන්නේ රටේ ඉහළම අදායම් ලබන 20%යි. රාජ්‍ය ආදයමෙන් 80% දායක වෙන්නේ දිලිඳු පිරිසයි.

2017 හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2000 දක්වා වැඩි විය. ඇතැම් විට බදු අය කිරීම් වැඩි යැයි අද විරෝධතා දක්වන වෘත්තිකයෝ එදා බදු ගෙවීම පිළිබඳ විශාල විරෝධතාවක් නොදැක්වූහ. ඉන් අනතුරුව බලයට පත්වූ ආණ්ඩුව බදු සහනයක් ලබා දෙන ලද්දේ සමාජය බදු සහනයක් ඉල්ලා නොසිටි අවස්ථාවකදීය. මේ බදු සහනය නිසා බදු ෆයිල් අක්‍රිය විය. රාජ්‍ය ආදායම බිලියන 600ක් අඩු විය. එසේ නම් එම බදු ෆයිල් නැවත සක්‍රිය කර නැවත අදායම් වර්ධනයක් ලබා ගැනීමට හැකිය. ආණ්ඩුවට එවිට වෘත්තිකයන් මත පනවා ඇති බදු බර යම් තාක් දුරකට අඩු කළ හැකිය. මේ අවස්ථාවේදී නව පිරිස් සොයමින් බදු ගෙවන තත්ත්වයට පත් කර ගැනීමට අසීරුය. නමුත් හඳුනා ගත් අක්‍රිය වු බදු ෆයිල් විශාල සංඛාවක් වෙයි. ඒවා නැවත ක්‍රියාත්මක කිරීම පහසුය. පසුගිය කාලයේ ලබා දුන් බදු සහනය නිසා ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් විශාල ප්‍රමාණයක් අඩුවිය. කෙසේවෙතත් වෘත්තිකයන් සම්බන්ධයෙන් පනවා ඇති බදු සම්බන්ධයෙන් වෘත්තිකයකු ලෙස බදු ප්‍රතිපත්තිය ටිකක් පහළට පැමිණිය යුතු යන තැන සිටිමි. යම්කිසි ප්‍රතිශතයක් ගෙවීමට ඔවුන් සුදානම් වන අතර, වෘත්තිකයන්ගෙන් 36%ක් මැද අනුපාතයක ප්‍රමාණයකට ඔවුන්ගේ අප්‍රසාදයක් නැත. එමෙන්ම මේ අවස්ථාවේ වෘත්තිකයන් මෙන්ම රජය විසින් කළ යුතු කාර්යභාරයක් වෙයි. මේ අප වගකීමෙන් යුතුව ක්‍රියා කළ අවස්ථාවකි.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක බදු දැල පුළුල් කිරීමට සහ වෙනත් අත්‍යවශ්‍ය ආර්ථික තොරතුරු රැස් කිරීම සදහා ආර්ථීක බුද්ධි තොරතුරු ඒකකයක අවශ්‍යතාවක් ඉතා දැඩිව පැන නඟී. මෙම ආර්ථීක බුද්ධි තොරතරු ඒකකය පුළුල් කිරීමෙන් සියලු ක්ෂේත්‍ර විධිමත් වෙයි. ගමට සහනාධාර ලැබිය යුතු නියම පුද්ගලයන්ට හිමි වෙයි. මේ කර්තව්‍ය සඳහා අදාළ රජයේ සේවකයන් යොදා ගනිමින් ඒ අයට නිසි වගවීමක් ඇතිව වැරැදි තොරතුරු ප්‍රකාශ නොවන ආකාරයට කටයුතු කිරීමට විධිමත් විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ අනුව අධීක්ෂණය කිරීමට ඩිජිටල් තොරතුරු පද්ධතියක් සැකසිය යුතුය. මෙය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කළ යුතු වෙයි. මේ තොරතුරු පද්ධතිය හරහා රැස් කරන තොරුතුරු නිවැරැදි කළ යුතුය. සහනාධාර නියමාකාරයෙන් බෙදා දිය යුතුය.

මේ අර්බුදයෙන් ගොඩ ඒමට රජය IMF සහනයක් අපේක්ෂා කරන ලදි. කෙසේ නමුත් ඇතැම් පිරිස් IMF බිල්ලෙක් බවට පත් කර ඇත. නමුත් IMF නියම ලෙස පාවිච්චි කළහොත් අර්බුදයෙන් රට ගොඩගැනීම විශාල ගැටලුවක් නොවේ. IMF සඳහන් කරන්නේ රජය විසින් සපයන සේවාවන්වලට පිරිවැයට සරිලන මිලක් අය කළ යුතු බවයි. වෙළෙඳ ශේෂය අඩු කළ යුතු බවයි. ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සිදු විය. සහනාධාර දීම නියමාකාර සුදුස්සන්ට ලබා දිය යුතුය. එමෙන්ම වෙළෙඳ පරතරය අඩු කිරීම, අපනයන වැඩි කිරීම, ආනයනය අවම කිරීම වැනි දේ සඳහන් කරයි. ඒ නිසා IMF කළු චිත්‍රයක් යැයි අනිසි බියක් ඇති කරගැනීම සුදුසු නොවේ.

සංචාරක ව්‍යාපාරය නිසා අපිට ලැබෙන ආදායම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මාසයකට ඩොලර් මිලියන 300ක් 400ක් දක්වා වැඩි වී ඇත. එය හොඳ ප්‍රවණතාවකි. නමුත් රටපුරා නිරන්තර වැඩ වර්ජන පවතී. එවිට මේ රට සම්බන්ධයෙන් ඇති වන්නේ ඉතා නරක ප්‍රතිරූපයකි. රටේ ආර්ථික සාධකවලට බාධා කිරිමට නම් විරෝධතා ගොඩ නැඟෙන්නේ නම් එය අමානුෂිකය.

බොහෝ විට ලංකාවට ඇති විශාලතම ගැටලුව මේ විදෙස් ණය ගෙවීම නොහැකි රටක් බවට පත් වීමයි. 

නමුත් අපට සදාකාලිකව ණය නොගෙවා සිටිය නොහැකිය. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට නම් ණය ලබා දුන් රටවල් සහ ආයතන සමඟ සාකච්ඡා කර කිසියම් ණය ප්‍රමාණයක් ආහෝසි කර ගැනීමටත් ඉතිරි මුදල ගෙවීමට හැකි ආකාරයක් සකස් කළ යුතුය. මේ විශාල ක්‍රියාවලියකි. වර්තමාන රජය ඒ සියලු දෙනා සමඟ සාකච්ඡා කර අවසන් අදියරට පැමිණ ඇත. මාර්තු මාසයේ අග වනවිට IMF මඟින් ලැබෙන ණය ප්‍රමාණයෙන් මුල් වාරිකය ලැබෙනු ඇත. IMF මඟින් ඩොලර් බිලියන 2.9 මුදලක් හිමි වෙයි. එය ඉතා විශාල මුදලක් නොවේ. එහි වටිනාකම පවතින්නේ IMF ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට ඉදිරිපත් වීමෙන් අනෙක් අයට ලැබෙන විශ්වාසනීයත්වයේ සහතිකයයි. මේ සහතිකය නිසා ලෝකයේ අනෙකුත් බැංකු සහ ආයතනවලට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති වෙයි.

එමඟින් අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළෙඳපොළට යෑමට ඉතා විශාල ඉඩක් ලැබෙයි. මේ අවස්ථාවේ ඒ ණය අපිට ඉතා වැදගත් වෙයි. ඒ ණය ගෙන කළ යුත්තේ ඒ ණයවලින් පරිභෝජනය කිරීම නොවේ. කළ යුත්තේ ඒ ණය යොදා ගනිමින් දීර්ඝකාලීනව ආර්ථීක සංවර්ධනයට යෑමයි. එමඟින් ඵලදායි ආයෝජන කිරීමයි. ණය ගැනීම කිසිම ආකාරයකින් අයහපත් නොවේ. එහෙත් ලබා ගත් ණය ඵලදායීව යොදා ගැනීම වැදගත් වෙයි. එම ණය නිසා උත්පාදනය කරන මුදලින් යම් කිසි වසර ගණනාවකට පසු ණය ආපසු ගෙවීමේ හැකියාව අත්පත් කර ගත යුතුය. මේ රටේ ආයෝජනය කරන ලද ඇතැම් ව්‍යාපෘති මඟින් අදායම් නොලැබේ. මේ වනවිට ඇතැම් වරාය, ගුවන්තොටුපොළ ආදිය රටට බරක් වී ඇත.

රටක් ලෙස ගත්විට අර්බුදයකට පත්වී ඇති මේ අවස්ථාවේදී ඉහළ වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කිරීම සුදුසු අවස්ථාවක් නොවන බව අපි ඉතා පැහැදිලිව දනිමු. මෙය රජය පාර්ශ්වයෙන් සහ මහජනතාවගේ පාර්ශ්වයෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාවකි. මේ අවස්ථාවේදී වැටුප් ඉහළ දමා ගැනීම යන සටන් පාඨය මුල් කරගෙන යම් කිසිවකු ඉල්ලීම් කරයිද එය කොතෙක් දුරට සාධාරණ ද යන්න ගැටලු සහගතය. මෙය වෘත්තිකයන්ට පමණක් නොව, සමස්ත රටේම අර්බුද අවස්ථාවක් බැවින් රට ගොඩනැඟීමේ ජාතික වගකීම සියලු දෙනාටම පැවරී ඇති බව වටහා ගත යුතුය.

Comments