නින්ද නැතිකමින් නැතිවෙන මන සුව | Page 2 | සිළුමිණ

නින්ද නැතිකමින් නැතිවෙන මන සුව

නින්ද යන්නෙ නැති එක හරි ගැටලුවක් " ඔහු කීවේ කතා බහකට මුල පුරමිනි.

" අපට ඒකෙ අනෙක් පැත්ත. අපට නිදා ගන්නවත් වෙලාවක් නැති තරම්"

" ඒ ඔයගොල්ල පුරුදු වෙලා ඉන්න හැටි. වැඩක් තිබුණත් නැතත් දැන් දොළහ, එක වෙනකම් නින්ද එන්නෙ නෑ, එහෙම නේද ? ඉතින් අන්තිමට බැලුවාම අපි දෙන්නම එක බෝට්ටුවෙ නේද? " 

සෞඛ්‍යය ගැන කතා කෙරෙන කිසිවිටෙක හෝ මගනොහැරෙන කාරණා කිහිපය අතරින් එකකි නින්ද. ප්‍රමාණවත් හා ගුණාත්මක නින්ද වශයෙන් එය වඩාත් පැහැදිලි ලෙස හඳුනා ගත යුතුය. නින්දේ ඇති වැදගත්කම ගත සුව පිණිස මෙන්ම ඊට වඩා වැඩි වශයෙන් මන සුව පිණිස හේතු වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි නින්ද විශාල දායකත්වයක් දක්වන බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ අධ්‍යයනවලින් පෙන්වා දී තිබෙන්නේ නින්දේදී අපේ මොළය සියලු වැඩ කටයුතු භාර ගන්නා බවයි. දිවා කාලයේ අපේ මොළයේ තැන්පත් වූ සියලු විෂ ද්‍රව්‍ය හරණය කිරීම හා විඩාව නිවා දැමීම සිදු වන්නේ අප නින්දට වැටී සිටින කාලය අතරතුරය.

අනිද්‍රාව අද දවසේ බහුලව අසන්නට දකින්නට ලැබෙන ගැටලුවකි. මේ ගැටලුව තමාටත් තිබෙනවා දැයි වටහා ගන්නේ කොහොමද? දිනපතාම පාහේ නින්ද නොයෑමද? අඩු පැය ගණනක් නිදා ගැනීමද? අනිද්‍රාව (insomnia) සරලව නිර්වචනය වන්නේ මෙලෙසිනි. මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ අඩුම තරමේ සතියකට දින තුනක් හෝ ඊට වැඩි ගණනක් නින්දට වැටීමේ අපහසුවෙන් හෝ රාත්‍රිය නිදිවර්ජිතව සිටීමේ තත්ත්වයක් අනිද්‍රාවෙන් පෙළීමක් ලෙස ගැනේ. අනිද්‍රාවේදී ඇඟට හා හිතට දැනෙන ලක්ෂණ ද නැතුවා නොවේ. දිවා කාලයේ ශාරීරිකව අපට දැනෙන විඩාව, නිරන්තර සිතේ කැළඹිලි ස්වභාවය, කාංසාව, ප්‍රකෝපකාරී හැඟීම් මෙන්ම චිත්ත ඒකාග්‍රතාව පිළිබඳ ගැටලු ඒ අතරින් කීපයකි.

අපි නින්දට වැටෙන්නේ ඇඳට වැටී කොපමණ කාලයක් ඇතුළතද? ඇතුමුන් පවසන්නේ ඇඳට වැටුණු ගමන්ම දෑස පියවෙන බවය. ඒත් ඇඳට වැටී සෑහෙන කාලයක් එහි මෙහි පෙරළෙමින් ඉන්නට සිදු වන්නේ යැයි මැසිවිලි නඟන්නෝ ද නැතුවා නොවේ. ඇතැමකු නින්දට වැටෙන්නට පැය භාගයකට කිට්ටු කාලයක් ගතවන බවක් පවසන නමුදු තවත් කෙනකු කියන්නේ පැයකට කිට්ටු කාලයක්වත් නිදි ඇඳේ එහි මෙහි පෙරළි පෙරළී ඉන්නා බවය.

නින්දට වැටීමට ගත වන සාමාන්‍ය කාලය වශයෙන් සැලකෙන්නේ කුමක්ද ? මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති තැනැත්තන්ගේ අදහස වන්නේ උපරිම වශයෙන් විනාඩි දහයත් විස්සත් අතර කාලයක් ඊට ගත වීම සාමාන්‍ය තත්ත්වයක් බවය. එහෙත් ඒ සීමාව ඉක්ම වීම සිරුරේ දෛනික නිද්‍රා රිද්මයට බාධාවක් ඇති වීම හෝ අනිද්‍රාව පිළිබඳ ඉඟියක් වන්නට පුළුවන.

මේ සැබවින්ම මන සුව වනසන ගැටලුවක් බවට පත් වන්නට පුළුවන. අනෙක් අතට එය එදිනෙදා ජීවිතයේ කටයුතු අපිළිවෙළ කරන හේතුවක් වන්නට ද ඉඩ තිබේ. ඊට හේතු වන ගැටලු හඳුනා ගැනීම අනිද්‍රාවෙන් ගැලවෙන්නට අපට උදවු වනු ඇත.

හිතේ බර ගතිය අපේ නින්දට වැටීම ප්‍රමාද කරන්නට හේතුවක් වෙයි. කතාවට කියන්නේ දාහක් කරදර හිතේ තියෙද්දී නින්ද අහලකටවත් එන්නේ නැති බවය. මිනිසුන් ආර්ථික, සමාජයීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ පවා විවිධාකාර ගැටලුවට මුහුණ දී ඉන්නා සැටි අමුතුවෙන් කිව යුතු නොවේ. එය සාමාන්‍ය තත්ත්වයකි. හිතේ කරදරවලින් මුළුමනින්ම තොර වූ දවසක් ගැන කිසිවිටෙකත් අපට සිතන්නට නොහැකිය. එබැවින් හිතේ කරදර නැති දවස් සොයා හිතේ හැටියට නිදා ගන්නට කල්පනා කිරීම විහිළුවකි.

නිදන්ගත අනිද්‍රාවෙන් පෙළෙන පුද්ගලයන් නිරන්තරව කනස්සල්ලෙන් හා හිතේ කරදරවලින් පෙළෙන්නෝය. මේ අමිහිරි කල්පනා ඉස්මතු වන්නේ නින්දට වැටෙන්නට සූදානම් වෙද්දීය. මේ තත්ත්වය මගහැරීම සඳහා අප කළ යුත්තේ කුමක්ද ?

ඊට ඇති ප්‍රායෝගික පිළිවෙළ වන්නේ මේ කනස්සල්ල ඉදිරියට ගැනීමය. කනගාටු වීමක් කල් තියා කරන්නේ කෙසේ දැයි ඔබට හිතෙන්නට පුළුවන. ඒ සඳහා විනාඩි දහයක් පහළොවක් වෙන් කර ගැනීම ප්‍රමාණවත් ය. මෙහිදී අපේක්ෂිත පිළිවෙළ වන්නේ මේ තෝරා ගත් විනාඩි කීපය තුළ සිතේ ඇති ලොකු කුඩා සියලුම තරාතිරම්වල ගැටලු පොත් පිංචක හෝ කොළ කැබැල්ලක සටහන් කිරීමය. මේ සියල්ල එසේ ලියා තැබූ විට සිතේ උපදින්නේ සැහැල්ලුවකි; සැනසිල්ලකි. මේ ගැටලුවලින් සමහරක් ඒවාට ඔබ සතුව ඇති පිළිතුරු, ඊට පිළියම් වශයෙන් කරන්නට අවැසි දේ පවා සිතට ගන්නට හැකි බැවින් නිදි ඇඳේදී අහස පොළොව ගැටලන්නට සිදු නොවෙයි.

මේ පුහුණුව අපේ දින චර්යාවට හෙමින් මුහු වෙද්දී ඉබේටම පාහේ හිතේ ඇති කනස්සල්ල කොළ කැබැල්ලකට භාර දී සුව නින්දකට වැටෙන්නට අපට හැකි වෙයි. ඇතැම් විට අපේ ගැටලුවලට අප හිතනවාටත් වඩා හොඳින්, ඉක්මනින් පිළිතුරු සොයා ගන්නටද මේ හුරුව උදවුවක් වීමට ඉඩ තිබේ.

අපේ තවත් වැරදි වටහා ගැනීමක් වන්නේ ඇඟේ මහන්සිය තිබෙන තරමට ඉක්මනින් නින්ද ලැබෙන බවය. බැලූ බැල්මට එහි ඇත්තක් නැතිවා ද නොවේ. එහෙත් අප ඇඳට ගොඩ විය යුත්තේ විඩාව දැනුණු විට නොව වෙහෙස දැනුණු විට බව මතක තබා ගත යුතු කාරණයකි. නිදිමත හා වෙහෙස එකිනෙකට වෙනස්ය. නිදි මත අපේ දෙඇස් පියවන්නට ද හිටගෙන ඉන්නට පවා නොහැකි බවක් සිරුරට දන්වන්නට ද හිස එහි මෙහි ඇල කරන්නට ද පටන් ගනී. එහෙත් වෙහෙසකර තත්ත්වයකදී අපට දැනෙන්නේ කායිකවත් ශාරීරිකවත් ශක්තිය පිරිහී ගිය බවකි. බාගවිට මුළු දවසක වෙහෙසකින් පසු වූයේ වුවද නිදිමත ගතියකින් තොරව ඇඳට ගොඩවන අපට හෝරා ගණනාවක් ඇඳේ එහි මෙහි පෙරළෙමින් ඉන්නට සිදු වීම සාමාන්‍ය අත්දැකීමකි.

අනිද්‍රාවෙන් පෙළෙන පුද්ගලයන් රාත්‍රී කාලයෙන් වැඩිමනත් ප්‍රමාණයක් ගෙවා දමන්නේ ළතැවිල්ලෙනි; කනස්සල්ලෙනි. නින්ද නොයෑම ගැන සිතින් තැවෙමිනි. මේ තත්ත්වය ක්‍රමයෙන් බරපතළ වූ කල සයනය යනු නිදන්නට තිබෙන තැනය යන සංඥාව මොළයට නොලැබෙයි. එය ගැලවී ගන්නට තරමක් අපහසු උගුලක අප හෙලන නමුදු ක්‍රමයෙන් එයින් මිදෙන්නට ද අපට නොහැකි නොවේ. එහිදී පළමුවෙන්ම කළ යුත්තේ නින්ද නොඑන බව තේරුම් ගිය පළමු මොහොතේම ඇඳෙන් බිමට බැසීමය. විනාඩි පහළොවත් තිහත් අතර ප්‍රමාණය මේ තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත්ය. අනෙක් අතට මේ කාර්ය සඳහා ඔරලෝසුවෙන් වේලාව බල බලා ඉන්නට අවැසි වන්නේ නොවේ. මේ ලක්ෂණ දැනුණු වහාම ඇඳෙන් නැඟිටීම මෙහිදී හොඳටම ප්‍රමාණවත්ය. නැවත අප ඇඳට වැටිය යුත්තේ හොඳටම නිදිමත දැනුණු පසුවය. කෑම මේසය මේ සඳහා උදාහරණයක් හැටියට ගන්නට පුළුවන. කෙතරම් රස මසවුළුවලින් පිරී තිබුණේ වුවද බඩගින්නක් නැත්නම් එහි හිඳගෙන සිටීමේ පලක් නොවේ. නින්ද සම්බන්ධයෙන් ද මේ කාරණය එසේමය.

ඇඳෙන් නැඟිට ගත්තේ වුවත් අප යා යුත්තේ හොඳින් එළිය වැටුණු කුටියකට නම් නොවේ. රූපවාහිනිය, තේ, කෝපි පානය, දුම්බීම හෝ ව්‍යායාමවල යෙදීම නොකළ යුතු දේ හැටියට අප හිතට ගත යුතුය. ඒවා නිදිමත නැති කරන්නට උපකාර කරනවා විනා නිදිමත ඇති කරන්නට මුල් වන්නේ නොවේ. අනෙක් වැදගත් කාරණාව නම් කියවීම, ලිවීම හෝ රූපවාහිනිය නැරඹීම වැනි දේ සඳහා ඇඳ යොදා නොගැනීමට වග බලා ගැනීමය.

නින්ද සම්බන්ධයෙන් ද සෑහෙන බලපෑමක් ඇති කරන තවත් සාධකයක් වන්නේ උණුසුමය. ආලෝකය මෙන්ම තාපය ද සිරුරේ ස්වාභාවික රිද්මය හා බැඳුණු අභ්‍යන්තර ඔරලෝසුව ක්‍රියාත්මක කිරීමේ ලා වැදගත් දායකත්වයක් දක්වයි. නින්දකට වැටීම සඳහා මෙකී ශරීරාභ්‍යන්තර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක දෙක තුනකින් පහත වැටිය යුතු වෙයි.

නින්දට පැයකට දෙකකට කලින් උණුසුම් වතුරෙන් නෑම සුව නින්දකට මඟ පාදන බව සාමාන්‍යයෙන් අප දන්නා කාරණයකි. එහිදී සිදු වන්නේ නෑම හේතුවෙන් ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය පහත වැටීමය.

සාමාන්‍යයෙන් අප නින්දට වැටෙන වේලාවට පැයකට පෙර නෑමකට හෝ ඇඟ සේදීමකට හුරු වීම සනීපදායක හා ගුණාත්මක නින්දකට මඟ පාදන්නාක් මෙන්ම අනිද්‍රාව හා සම්බන්ධ ලක්ෂණ අපෙන් ඈත් කරන්නට ද හේතු වෙයි. ශරීරය සිසිල් වීම, මන්දාලෝකයෙන් යුතු වටපිටාව හා ශරීරය ඉහිල් කරන ක්‍රියාකාරකම් යනාදිය එකට එක් වූ විට නින්දට වැටීම පහසු වෙයි.

Relax and Win: Championship Performance නමැති කෘතිය ලියූ ෂැරෝන් ඇකර්මන් එහි නින්දට වැටීම ගැන විශේෂ හඳුන්වා දීමක් සිදු කර තිබේ. එය බටහිර ලෝකය දන්නේ නින්දට වැටීමේ " මිලිටරි ක්‍රමය " වශයෙනි. අමෙරිකානු නාවුක පුහුණු පාසල් ( he United States Navy Pre-Flight School ) ගුවන් නියමු පුහුණු වැඩ සටහනකදී ඇකර්මන් හඳුන්වා දුන්නේ විනාඩි දෙයක් ඇතුළත නින්දට වැටෙන ක්‍රමයකි. කෝපි කෝප්පයකින් පසුව වේවා, පසුබිමින් වෙඩි හඬ ඇසෙද්දී වේවා විනාඩි දෙකක් ඇතුළත නින්දට වැටෙන්නේ කෙසේ දැයි මෙහිදී පැහැදිලි කර තිබුණි. එය පහත සඳහන් පිළිවෙළට එහි සඳහන් වී තිබුණි. 

මුහුණේ මාංස පේශී ලිහිල් කර ගැනීම පළමුව සිදු කළ යුතු වෙයි. ඊළඟට උරහිස් දෙක මුළුමනින්ම ලිහිල් කර දෙඅත දෙපසින් එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු වෙයි. පපු පෙදෙස ලිහිල් කරමින් හුස්මක් පහළ හෙලීම ඉන්පසු කළ යුතුය. දෙපා, කලව හා බත්කෙණ්ඩා ලිහිල් වීම ද ඒ සමඟම සිදු විය යුතුය. සිත ලිහිල් වන චිත්ත රූපයක් මවා ගනිමින් මනස සැහැල්ලු කර ගැනීම ඊළඟටය. මේ ක්‍රමය සාර්ථක වූ බව ඔවුන් පවසා තිබිණ.

4 - 7- 8 හුස්ම ගැනීමේ ව්‍යායාම ක්‍රමය ද (4-7-8 breathing method) මෙහිදී සිහි කළ යුතුය. මුව පියා ගෙන හතරට ගණින තෙක් හෙමින් හුස්ම ඉහළට ඇදීම පළමු පියවරය. ඉන්පසු තත්පර හතක් හුස්ම රඳවාගෙන සිටිය යුතු වෙයි. තුන් වැනුව ශබ්දයක් සමඟින් තත්පර අටක් හුස්ම පිට කිරීම කළ යුතුය. එයද නින්දට වැටීමේ හොඳ උපක්‍රමයක් ලෙස සැලකෙයි.

මන සුව නැසී යෑමත් නින්දත් අතර ඇත්තේ නොබිඳෙන සබඳතාවකි. නින්ද ඔබේ මානසික සෞඛ්‍ය තත්ත්වය තීන්දු කරන අතරම අනෙක් අතට ඔබේ මානසික තත්ත්වය ද නින්ද තීන්දු කරයි. එය ක්‍රියාත්මක වන්නේ දුෂ්ට චක්‍රයක් මෙනි. කනස්සල්ල හෝ ආතතිය මුසු හැඟීම් නින්ද අඩු කරන්නට හේතු වෙයි. එහි ප්‍රතිඵලය ශාරීරික හා මානසික විඩාවයි. ඉනික්බිති එය දවසේ කටයුතුවලට ප්‍රබල බලපෑමක් ඇති කරයි. එය අඩු ආත්ම සම්මානය ආත්මතෘප්තිය හා මුසු වුණු අර කී කනස්සල්ල හා ආතතිය යළි උපදවයි.

මන සුව පරම සුවය හා සැනසිල්ල බව අමුතුවෙන් කිව නොයුතුය. එබැවින් ඊට එරෙහිව ඇති වන කවර බාධාවක් හෝ නොසලකා හැරීම නොකළ යුතුය. නින්ද ඒ අතරින් ප්‍රබල සාධකයකි. මේ තත්ත්වය දරුණු ලෙසම උද්ගතව ඇත්නම් මනෝ චිකිත්සක හෝ වෛද්‍ය උපදෙස් පැතීම ද කල් දැමීම ඒ හැටි යෝග්‍ය නොවේ.

Comments