නාලන්දාවට ආයුබෝවන්... | සිළුමිණ

නාලන්දාවට ආයුබෝවන්...

සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මතකාවර්ජනය

ගුරුවරයකු වශයෙන් සේවය කිරීම මම ඉතා ප්‍රිය කළෙමි. මගේ උපරිම මහන්සිය යොදවා ළමයිනට ඉගැන්වීමට මම මහන්සි ගතිමි. එහෙත් ගුරුවරයාගේ පළමු යුතුකම තමන්ට භාර විෂයය ඉගැන්වීම නොවේ. තමා උගන්වන විෂයය තුළින් ශිෂ්‍යයාගේ පෞරුෂය උදා කරවීමය.

පූර්ණ පෞරුෂෝදයකට ශිෂ්‍යයන් යොමු කිරීම පත - පොතින්, පන්ති කාමරයෙන්, විභාග සමත් කරවීමෙන් පමණක්, සිදු කළ නොහැකි බව, එක්දහස් නවසිය පනස් ගණන් වනවිට මම හොඳින් තේරුම් ගෙන සිටියෙමි. පවතින අධ්‍යාපන ක්‍රමයෙන්ම, මේ කාර්යය සඳහා ද ඉඩක් ලබා ගැනීමට මම කල්පනා කළෙමි. මගේ සහෝදර ගුරුවරුන්ගේත්, ශිෂ්‍යයින්ගේත්, වෙසෙසින් එවකට නාලන්දා විදුහල්පතිව සිටි එම්. ඩබ්ලිව්. කරුණානන්දයන් සහ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ ආරියනන්ද අබේසේකරයන්ගේත් උදවුවෙන්, රටපුරා ක්‍රියාත්මක කෙරුණු අධ්‍යයන සහ ප්‍රජා සේවා ශ්‍රමදාන කඳවුරු මේ අදහස ක්‍රියාත්මක කරන ලද ප්‍රතිඵලයයි.

එක්දහස් නවසිය හැත්තෑ එක වනවිට, විශාල ලේ ගැලීමක් රටේ සිදුවන බවත්, දහස් ගණන් තරුණ - තරුණියන් මේ නිසා ජීවිතක්ෂයට පත්වන බවත් මම දැන සිටියෙමි. මෙය වැළැක්වීමට තිබෙන එකම මඟ අහිංසාවාදී සර්වෝදය විප්ලවීය මඟ බවට මගේ සැකයක් තිබුණේ නැත. දශක තුනක පමණ පන්ති සටන මුල් වූ - හිංසක විප්ලවීය දැනුම්වත් කිරීමක් මේ වන විට ශ්‍රී ලාංකික සමාජයට - වාමාංශික ව්‍යාපාරය තුළින් ලැබී තිබුණේය. මේ නිසා අහිංසාවාදී සර්වෝදය විප්ලවයක් ගැන ජනතාව දැනුම්වත් කිරීමට, අප වයසින් හෝ අත්දැකීම්වලින් හෝ මෝරා තිබුණේ නැත.

මේ නිසා එක් අතකින් අප වැඩ කළ ගම්වල ජනතාවගේ සහ අපගේ සේවක සේවිකාවන්ගේ ජීවිත බේරා ගැනීම මගේ සීමිත අරමුණ විය. නැඟීගෙන ආ කැරැල්ලේ නායක රෝහණ විජේවීර මුණගැසීමට මා දැරූ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක විය. කෙසේ හෝ විප්ලවය සිදු විය; අසාර්ථක විය. තරුණ ජීවිත රැසක් - එක්දහස් නවසිය හැත්තෑ එකේදී විනාශ විය. අවුරුදු ගණනාවක්ම ගුරු වෘත්තියේ සිට දෙවසරක් පමණ පඩි රහිත නිවාඩු ගෙන, සම්පූර්ණ කාලය සර්වෝදය වෙනුවෙන් කැප කිරීමට මා ගත් හැම ප්‍රයත්නයක්ම ව්‍යර්ථ විය. අධ්‍යාපන ඇමැතිතුමාටත්, අගමැතිනියටත් අපේ විධායක සභාවෙන් පවා ලියූ අභියාචනාවලින් ප්‍රයෝජනයක් නොවීය. රටේ සිටි විවිධ ප්‍රභූන් ද, රජයට මේ ඉල්ලීම ඉදිරිපත් කළ මුත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීවාදය මෙයට ඉඩ නුදුන්හ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන ගමන්ම, සර්වෝදය ව්‍යාපාරය ද අධ්‍යාපනයේම කොටසක් වශයෙන් ගොඩනැංවීමට ප්‍රයත්න දැරීම, මගේ අභිලාෂය විය. එහෙත් එයට ද ඉඩ නොලැබුණේ ය. මේ නිසා එක්දහස් නවසිය හැත්තෑ දෙකේදී නාලන්දාවට 'ආයුබෝවන්' කීමට මම තීරණය කළෙමි.

එක්දහස් නවසිය හැට එකේදී, කරුණානන්දයන් - ආනන්දයේ විදුහල්පති හැටියට මාරු වී ගිය පසු, විදුහල්පති පදවියට පත් කේ. එම්. ඩබ්ලිව්. කුරුප්පු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලපෑම නිසා අපට එරෙහි වූ බව මම දැන සිටියෙමි. ඒ නිසා ඔහු කෙරෙහි කිසිම අමනාපයක් මා තුළ නොවීය. එතුමාට පාසල හොඳින් පාලනය කිරීමට මම පාසලට නැවත ආපසු සියලු සහයෝගය දුනිමි. පසු කලෙක එතුමාට අපේ පාතකඩ සර්වෝදය ප්‍රජා නායකත්ව භික්ෂු පුහුණු ආයතනයේ පරිපාලන ලේකම් වශයෙන් රැකියාවක් ද දුනිමි.

ඊළඟට පත්ව ආ ඩී.ජේ. එදිරිසිංහයන්, ගුණපාල වික්‍රමරත්නයන් හා සුගුණදාස අතුකෝරාළයන් මගේ සුහදශීලි මිතුරෝ වූහ. නාලන්දාව සැබැවින් ම පුනරුත්ථාපනය කළේ වික්‍රමරත්නයන්ගේ ඍජු දැඩි පාලනය විසිනි. සුගුණදාස අතුකෝරාළයන් නිවුණු නිහතමානී පාලකයෙක් විය. අධ්‍යාපන ඇමතිවරුන්ගේ සුහදත්වය දිනාගෙන, එතුමා විශ්වකර්මයෙක් මෙන් පාසලේ ගොඩනැඟිලි ආදී වූ, අවශ්‍යතා ඉක්මනින් සම්පූර්ණ කළේ ය. මේ දෙපළම මට සියලුම ධෛර්යය සර්වෝදය කටයුතු සඳහා දුන් අතර, දැන් අපේ සංගමය දෙල්ගහයට ගෙදර මධ්‍යගත වී ශක්තිමත් තත්ත්වයක පැවැතියේය.

මේ කාලය වන විට අපේ වැඩ තහනම් කළ, අපේ පන්තිවලට පැන චණ්ඩිකම් පෙන්වූ, ලොග් පොතේ ලියා, ඊනියා කුලහීන ගම්වලට ශිෂ්‍යයන් ගෙන යෑම තහනම් කළ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කෝ වෙනත් තැන්වලට මාරු වී සිටියහ. ඉතිරි වූ අය අපේ සේවය අගය කොට, අපට උදවු දුන් හ. සටනක් නැති තැන ඉදීම මට එපා විය. විශේෂයෙන් එක්දහස් නවසිය හැත්තෑ එකේදී ඇති වූ තරුණ විනාශය, මට ඉවසා ගත නො හැකි සමාජ ඛේදවාචකයක් විය. මගේ පාසලේ ගුරු රස්සාව කැප කොට 'ප්‍රජා ගුරුවරයෙක්' වශයෙන් මහජනයා අතරට මා යා යුතුය.

එදා අවසාන වේතනය ගෙන, පාසලේ මට උදව් - පදව් කළ සුළු සේවකයන්ට එයින් භාගයක් පමණ බෙදා දී, මම ගෙදර ආවෙමි. මෙත්මැදුරේ මගේ බිරිය සහ දරුවනට අමතරව විස්සක් පමණ ජීවත් වූයේ මා ලත් සුළු වේතනයෙනි. එදා මා අත තිබුනේ රුපියල් හයසියයයි. අවුරුදු දාහතක් ගුරු වෘත්තියේ සිට ඉන් ඉවත් වූ පසු, මා අත ඉතිරි වූ එකම මුදලයි. ඉදිරියට ජීවත් වන්නේ කෙසේ දැයි සිතමින් මම හාන්සි වුණෙමි. මට විශ්‍රාම වැටුපක් ද හිමි වන්නේ නැත.

මා මුණ ගැසීමට මිත්‍රයෙක් පැමිණ සිටින බව සැල වූයෙන්, මම සාලයට ගියෙමි. ඔහු පැමිණ ඇත්තේ හදිසි වුවමනාවක් සඳහා බව මට පැවැසුවේය. ඔහුගේ මාසික වේතනය ලැබෙන්නට තව දින දෙකක් පමණ තිබෙන බවත්, ඔහුගේ නිම වෙමින් පවතින ගෙයට අවශ්‍ය උළුකැට කිහිපය ගැනීමට රුපියල් 500/- ක් අවශ්‍ය බවත් ඔහු කියා සිටියේය. මගේ අමාරුව ඔහුට තේරුම් කර දුනිමි. මා අත තිබෙන එකම මුදල දින දෙකකින් ආපසු දෙන පොරොන්දුව පිට ඔහු ඉල්ලූයේ, කිසිම ලැජ්ජාවකින් තොරවයි. එය ඔහු අත තබා නැවත කාමරයට ගොස් මම නිදා ගතිමි. මේ මුදල අද වනතුරු ඔහු මට ආපසු දී නැත. මට ඇහැරෙන විට කළුවර වැටී තිබිණි.

එදා රාත්‍රී අපේ පොදු මුළුතැන්ගෙයි තිබුණේ පානුත් - පොල් සම්බෝලයකුත් පමණකි. එය භුක්ති විඳ, මම රාත්‍රී එකොළහ පමණ වනතුරු මොකක් දෝ ලීවෙමි.

මෙත් මැඳුර ගේට්ටුව ඉදිරිපිට වාහනයක් නවත්වා නළාව ශබ්ද කරනු මට ඇසිණි. මමම යතුර ගෙන ගොස් ගේට්ටුව ඇරීමි. කුලී රථයකින් පැමිණි සුදු කාන්තාවක් සමාව අයදිමින්, කුලී රථයෙන් බැස්සාය. ඇය කෙළින්ම කටුනායක ගුවන්තොටුපළේ සිට එන බවත්, එළිවෙන්නට පෙර වෙනත් යානයකින් ජිනීවාවලට යන බවත්, පැවැසුවාය. ටෙලිෆෝන් නොම්මරය නොදත් බැවින් කතා කිරීමට නොහැකි වූ බව පැවැසූ ඇය නැවතත් සමාව අයැදීය.

මැදියම් රැයේ ඔබ වැනි ලස්සන තරුණ කාන්තාවක් පැමිණීම ප්‍රතික්ෂේප කරන්නේ කවුදැයි කියා විහි‍ළු කළ මා, ඇය ගෙදරට කැඳවාගෙන ගොස් නීතාට හඳුන්වා දුනිමි. ඉතිරි වූ පාන් පෙත්ත කෙසෙල් ගෙඩියකුත් සමඟ ඇයට දී, තේ කෝප්පයක් ද නීතා හදා දුන්නාය. මේ අතර 'දශවිධ මූලික අවශ්‍යතා' යන මැයින් ලෝක සෞඛ්‍ය සම්මේලනයේ රැස්වීමක දී ජිනීවාවල මා කළ දෙසුමක් ඇය විසින් ලිපියක් වශයෙන් සකස් කොට ටයිප් කරගෙන විත් තිබිණි. එය කියවූ මම, එය පළ කිරීමට අවසර දී අත්සන් කළෙමි. රිසිට් පතක් ද අත්සන් කිරීමට ඇය මා අත තැබුවාය. ඩොලර් 500 ක චෙක්පතක් එවේලේම ලියා ඇය මා අත තැබුවාය. ඒ කුමකටදැයි මා ඇසූ විට ඇය පිළිතුරු දුන්නේ මේ ලිපියට කරන ගෙවීමක් ලෙසයි.

මේ චෙක්පත නීතා අතට දුන් මම, තවත් මාස කිහිපයක් අපේ සර්වෝදය පවුල ජීවත් කරවීමට එය ප්‍රමාණවත් බව පැවැසුවෙමි. එදා සිට අනාගතයට මුහුණ දීමට ආර්ථික වශයෙන් බයක් මට ඇති නොවීය. ධර්මය අනුව නිස්සරණාධ්‍යාශයෙන් සේවය කරන විට මගේ අවශ්‍යතා ධර්ම ශක්තිය විසින් සැපයෙනු ඇති බවට මගේ විශ්වාසය තවත් තහවුරු විය.

ලෝක තරුණ සම්මේලනය ඇතුළු විවිධ ජාත්‍යන්තර සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝ සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, යුරෝපා පාර්ලිමේන්තුව, ජර්මන් රජය ඇතුළු විවිධ රාජ්‍ය සංවිධානවලින් සහ විශ්වවිද්‍යාලවලින් මට ඇරැයුම් ලැබෙන්නට පටන් ගත්තේය. මගේ ගමන් - බිමන්, ඉඳුම් හිටුම්, වියදම් ඔවුන් දැරූ අතර, මගේ සේවයට ගෙවීම් ද කළේය. වරෙක දේශකයකු ලෙස, වරෙක විශේෂඥයකු ලෙස, වරෙක යම් ව්‍යාපෘතියක් නිබන්ධනය කරන්නකු ලෙස, වරෙක ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ආදී වශයෙන් ලොව පුරා සේවය කළෙමි. පාසලේ දී ගත් පඩියට වඩා කිහිප ගුණයක් මා ඉපයූ අතර, මගේ පවුලේ වියදම් යන්තම් පියවා ගෙන, මෙත් මැඳුර ඇතුළු රට පුරා තිබෙන සර්වෝදය ආයතන ගොඩනැඟීමට හා සේවක සේවිකාවන් නඩත්තු කිරීමට ඉතිරි මුදල් සංගමයට පරිත්‍යාග කළෙමි.

එක්දහස් නවසිය හැත්තෑ දෙකේ - මාර්තු තුන්වැනි දා, නාලන්දා විදුහල්පති සුගුණදාස අතුකෝරළයන්ට මම ඉල්ලා අස්වීමේ ලිපිය යැවුවෙමි. මේ පිළිබඳ ඉතා සංවේගයට පත් එතුමා සේවය හැර යාම පිළිබඳ ලිපියක් මට එවීම ප්‍රතික්ෂේප කළේය. එතුමාගේ රැකියාව අහිමි වුවත්, එය නො කරන බව මා සමඟත් - අන් අය සමඟත් පවසා තිබේ. ඒ නිසා එම ක්‍රියාව කිරීමේ වගකීම එතුමා අධ්‍යාපන අමාත්‍යාංශයටම පැවරුවේය. එහිද කිසිවෙක් ඒ වගකීම බාර නොගත් නිසා, අද වන තුරු නිල වශයෙන් පළමු වන ශ්‍රේණියේ විශේෂ ගුරු තනතුරක සිටි මම, නිල වශයෙන් අමාත්‍යාංශයෙන් අස් කර නැත.

රනිල් වික්‍රමසිංහයන් අධ්‍යාපන ඇමැතිව සිටි කාලයේ නාලන්දාවේ තෑගි බෙදා දීමේ උත්සවයකට මීට වසර ගණනකට පසු පැමිණ සිටියේය. මට විශ්‍රාම වැටුපක් නොලැබෙන බවත්, මගේ ඉල්ලා අස්වීම තවමත් බාර ගෙන නැති බවත්, ඒ නිසා මා විශ්‍රාම යන දවස දක්වා සේවයේ සිටි බව සලකා - එක්දහස් නවසිය හැත්තෑ දෙකේ සිට වේතනය ලබා ගැනීමට උසාවි යා යුතු බවත් මම එතුමාට විහිළුවට ප්‍රකාශ කළෙමි. එතුමා කොක්හඬලා සිනාසුණේය.


Comments