මගේ ලස්සන ගැන මම බය වුණේ නැහැ මේ ටයිට්ල් එක නිසා | Page 2 | සිළුමිණ

මගේ ලස්සන ගැන මම බය වුණේ නැහැ මේ ටයිට්ල් එක නිසා

 

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති 29 වැනි ‘ ලෝක නිරූපණ ශිල්පිනී – 2023 (Top Model Of The World – 2023 ) තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනාගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් මේ වෙද්දී ලෝකයේම අවධානයට ලක්වෙලා තියෙනවා. ලංකාවට කීර්තියක් අත්කර දුන් සඳනිට සුබ පතන ගමන්ම ඇයව රසඳුන සොඳුරු කතාබහකට සම්බන්ධ කර ගත්තා.

සඳනිගේ පවුලේ විස්තර මොනවද?

මගේ තාත්තා සම්පත් පීරිස්. තාත්තා නේවි ඔෆිසර් කෙනෙක් විදියට සේවය කළේ. තාත්තාගේ උපන් ගම ගම්පහ වැලිවේරිය. ඒ නිසා අපි කාලයක් වැලිවේරියේත් හිටියා. මට අවුරුදු 14දී මගෙ තාත්තා නැති වුණා. මගේ අම්මගේ නම කුමාරි මදුරාවල. අම්මාගේ ගම මාරවිල. අම්මා ගුරුවරියක් විදියට සේවය කළා. මට ඉන්නේ අයියා කෙනෙක්. එයාගේ නම විශ්මිත පීරිස්. තාත්තාගේ අභාවයෙන් පස්සේ මගේ ගමනට ශක්තියක් වෙලා ඉන්නේ අම්මා සහ අයියා. මම ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ.

මොඩ්ලින් පැත්ත ගැන හැදෑරීමක් කළේ කොයි කාලේ ඉඳන් ද?

මම අවුරුදු 16 දී තමයි මොඩ්ලින් කරන්න පටන් ගත්තේ. මුලින්ම සමීර කියන ශ්‍රී ලංකාවේ මොඩ්ල් යටතේ මාස තුන හතරක් ඉගෙන ගත්තා. ඔය අතරේ මට The Agency Sri Lanka කියන ආයතනයෙන් ආරාධනාවක් ආවා ඒ අය එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඒ නිසා මම එතැනට සම්බන්ධ වුණා. මාව මේ තත්ත්වයට ගේන්න ගොඩක් උදවු කළේ The Agency Sri Lanka එක. මට මේ මොඩ්ල් තරගයට යන්න උදවු කළේ බ්‍රයන් කොකෝවන්. ඔහු තමයි මගේ නැෂනල් ඩිරෙක්ටර්. එයා තමයි ලංකාවේ මේ පැජන්ට් එක මෙහෙයවන්නේ. බ්‍රයන් කොකෝවන් තමයි ලංකාව නියෝජනය කරන්න මේ තරගයට යවන්න මාව තෝරා ගත්තේ.

එදා Top Model Of The World – 2023 තරගාවලියේ තුන් වන ස්ථානයට ඔබේ නම කියද්දී දැනුණු හැඟීම කොහොමද?

ඒක මට ලොකු සර්ප්‍රයිස් එකක්. රටවල් 43ක නියෝජනයක් තිබ්බේ. ඒ නිසා හැම අතින්ම ලොකු තරගයක් තියෙන්නේ. මම හැමදේම කර ගත්තේ තනියම. අනිත් අයට මැනේජර්ස්ලා ඇවිල්ලා හිටියා. ඒ අයගේ පවුලේ අය ඇවිත් හිටියා. හැබැයි මම හරි ආඩම්බරයි මම ගැන. මම තනියම ගිහිල්ලා මම මගේ උපරිමය කරලා ලංකාවට කීර්තියක් අරන් දෙන්න පුළුවන් වීම ගැන අදහා ගන්න බැරි සතුටක් තියෙන්නේ.

රටවල් 43ක නියෝජනයක් එක්ක 43 දෙනෙක් එක්ක ඔබත් තරගයට එද්දී කොහොමද දැනුණේ...

හැමෝටම ආවේණික ලස්සනක් තියෙනවා. මමත් ලස්සනයි. ඒ අයත් ලස්සනයි. මට වෙනම ලස්සනක් තියෙනවා. ඒ නිසා ලස්සන ගැන මම බය වුණේ නැහැ. මම දන්නවා මේක Model තරගාවලියක් නිසා ලස්සන විතරක්ම නෙවෙයි මෙතැනදී බලන්නේ. බියුටි පැජන්ට් එකක් නම් ලස්සන තමයි මූලික වෙන්නේ. මෙතැනදී මූලික වුණේ අපි ඇවිදින විදිය, කතා කරන විදිය සහ කොහොමද තමන්ගේ රට නියෝජනය කරන්නේ කියන එක. ඒ වගේම Top Model Of The World තරගාවලිය නිසා මොන වගේ ඇඳුම් ද අපි අඳින්නේ. ඒවායින් කොහොමද අපි විවිධ විදියට ස්ටයිල් කරන්නේ. ඒ කියන්නේ කොණ්ඩෙට අපි වෙනස් වූ විලාසිතාවන් කරනවද? මේකප් එක කොහොමද වෙනස් කරලා දාන්නේ, ඒ වගේ ගොඩක් දේවල් මෙතැනදී සලකා බැලුවා. ඒ නිසා බාහිර පෙනුම විතරක් නෙවෙයි මෙතැනදී බැලුවේ.

සඳනි ගැන දැන් හැමෝම කතාවෙනවා, මොඩ්ලින්වලට එහා ගිය හැදෑරීම් ටිකක් වෘත්තීය වටිනාකමක් සඳනිට තියෙනවා නේද?

මම බැලේ නර්තන උපදේශිකාවක ලෙස කටයුතු කරන කෙනෙක්. මම උඩරට, පහතරට, භරත නර්තනය හදාරලා තියෙනවා. උඩරට නර්තනය උපරිමය දක්වා කළා. මගේ අම්මා අවුරුදු 12ක් විතර උඩරට නැටුම් ගුරුවරියක් විදියට සේවය කළා. ඒ එක්කම මම පාසලෙන් උඩරට, භරත, පහතරට නැටුම් ඉගෙන ගත්තා. හැබැයි මම බැලේ ඩාන්සින් ඉගෙන ගත්තේ අවුරුදු 5 දී. ඒ අවුරුදු 5 දී පටන් ගත්ත බැලේ නර්තන ගමන මම තවමත් ඉගෙන ගනිමින් උගන්වමින් ඉන්නවා.

සඳනි කියන්නේ ලංකාවේ ඉන්න ළාබාලම බැලේ නර්තන උපදේශිකාවද?

ඔව්, මම අවුරුදු 16 ඉඳන් බැලේ නර්තනය උගන්වනවා. මට ඒ අවස්ථාව ලබා දෙන්නේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් කරන පුද්ගලික බැලේ ඩාන්සින් ස්කූල් එකේ උගන්වන්න. මොකද මම ඒ වෙද්දී තිබ්බ හැම විභාගයකින්ම ඉහළම ලකුණු අර ගත්තා. ඒ නිසා මට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා මම තමයි ලංකාවේ ළාබාලතම බැලේ නර්තන උපදේශිකාවක වුණේ. මම රුසියානු මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් වගේ යද්දී Colombo International School එකේ බැලේ නර්තන සහ Modern dancing ගුරුවරිය විදියට සම්බන්ධ වුණා. අවුරුදු හතරක් Colombo International School එකේ සහ අවුරුදු හයක් රුසියානු මධ්‍යස්ථානයේ වැඩ කළා' නමුත් ඉන්දියාවට යන්න ලැබුණු අවස්ථාව නිසා කෙටි කාලයකට නර්තන උපදේශිකාවක් කියන වෘත්තියට සමු දෙන්න වුණා. මම ආයේ ආවම නැවතත් ඒ බැලේ නර්තන උපදේශිකාවක් කියන වෘත්තීය කරනවා.

සඳනි කරන්නේ හයි ෆැෂන් කැටගරි එක විතරයි ද?

ඔව්. මම කමර්ෂල් මොඩ්ලින් නෙවෙයි කරන්නේ. මම කරන්නේ හයි ෆැෂන්. ෆැෂන් ෂෝස්, බෑන්ඩ් ෂෝස්, ඒ වගේ දේවල් තමයි මම කරන්නේ.

දැන් ඉන්දියාවට යන්නේ කවදද?

ඉක්මනින් ඉන්දියාවට යන්න වෙනවා. මේ පැජන්ට් එකට යන්න කලින් තමයි ඉන්දියාවට යන්න හිටියේ. මීට මාස හයකට කලින් තමයි මට ඉන්දියාවෙන් පණිවිඩය ලැබුණේ. ඔය අතරේ තමයි මට මේ පැජන්ට් එකට යන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මම පොඩ්ඩක් කල් දාගත්තා. තව සතියකින් වගේ ඉන්දියාවට යන්න වෙනවා. හැබැයි මම මොකක් හරි අවස්ථාවක දී ලංකාව වෙනුවෙන් මට වැදගත් දෙයක් කරන්න තිබ්බොත් මම අනිවාර්යෙන් එනවා. මට ඒකට අවසර තියෙනවා. මට ඕනෙම වෙලාවක ලංකාවට එන්න පුළුවන්. මට ඕනෙම රටකට ලංකාව නියෝජනය කරන්න යන්න පුළුවන් මගේ මේ ටයිටල් එක නිසා.

මෙතැනින් පස්සේ මොන වගේ ඉලක්කද තියෙන්නේ?

මොඩ්ලින් පැත්තෙන් තියෙන ලොකුම පැජන්ට් එක තමයි මේක. හැබැයි මේ මගේ ගමනේ පටන් ගැන්ම විතරයි. ඉස්සරහට තව ගොඩක් දෙවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මොනවද කියලා දැන්ම කියන්න නම් මම කැමති නැහැ. මම කැමති ඒ දේවල් මම සාර්ථකව කරලා එහි ප්‍රතිඵලය පෙන්වන්න. මම ඉදිරියේදී ලංකාවට ලොකු ජයග්‍රහණ අරගෙන එනවා කියන එක අනිවාර්යෙන්ම පොරොන්දු වෙන්න පුළුවන්. මම ආස ඒ දේවල් මගේ හිතේ තියාගෙන ඉඳලා එක සැරේටම සර්ප්‍රයිස් එකක් විදියට දෙන්න.

 

Comments