මුදල් පනතේ අරමුණ මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමටයි | සිළුමිණ

මුදල් පනතේ අරමුණ මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමටයි

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ

මේ වන විට නව මහ බැංකු පනත පිළිබඳ විවිධාකාර විවේචන, චෝදනා, යෝජනා ගණනාවක් සමාජයේ සහ මාධ්‍ය තුළ කතිකා වෙමින් පවතී. ඒවා පිළිබඳ අවධානය යොමු කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ නව බැංකු පනත පිළිබඳ බහුතර ජනතාවගේ දැනගැනීම සඳහා කරුණු දැක්වීමක් සිදු කිරීමට කල්පනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ පිහිටි බැංකු විදු පියසෙහි මාර්තු 16 දා ප්‍රසිද්ධ දේශනයක් පවත්වමින් අධිපතිවරයා දැක්වූ අදහස් ඇසුරින් මේ ලිපිය සකස් කෙරිණි.

වසර 1949 අංක 50 දරන මුදල් නීති පනතින් මහ බැංකුව ස්ථාපිත කොට ඇත. එම පනතට වසර 2002 දී සංශෝධනයක් සිදු කොට තිබේ. එදා මෙදාතුර වසර 70කට අධික කාලයක් තුළ තවමත් මුදල් නීති පනත සංශෝධනය කොට නැත. මෙනිසා කාලයට සහ නව තාක්ෂණයට ගැළපෙන අයුරින් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇතිවන ලෙස මුදල් නීති පනත සංශෝධනය කිරීමට කාලය පැමිණ ඇත. ඒ අවබෝධ කර ගනිමින් වසර 2019 දී නව මහ බැංකු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එය මේ වන තෙක් සම්මත වී ක්‍රියාත්මක කිරීමක් සිදු වී නැත.

එවැනි පසුබිමක නව මහ බැංකු පනත ක්‍රියාත්මක කිරීමට කතිකාවක් ගොඩනැඟී තිබේ. ඒ සඳහා වන කාලපරිච්ඡේදය තුළ අප ද වගකිවයුතු පිරිසක් ලෙස පනත සම්බන්ධයෙන් ප්‍රසිද්ධ දේශනයක් මඟින් මහජනතාවට යම් අවබෝධයක්, දැනුමක් ලබාදීමට කල්පනා කළෙමු.

ඕනෑම පනතක් හෝ ක්‍රියාවලියක් යාවත්කාලීන වී පැවතිය නොහැකිය. කාලීන අවශ්‍යතාවන් අනුව කලින් කලට ඇතිවන ප්‍රවණතා සැලකිල්ලට ගෙන ඒවා වෙනස් කළ යුතුව තිබේ. ඒ අනුව අප කවුරුත් පිළිගන්නා පරිදි මුදල් නීති පනතට සංශෝධන එක්කළ යුතුම වේ. නැතිනම් නව පනතක් හෝ ඉදිරිපත් කළ යුතුය. අද සිදුව තිබෙන්නේ එයයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමේ දින පටන් මේ දක්වා වූ කාලපරිච්ඡේදය තුළ පමණක් නොව මතුවටත් එය වඩාත් ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන යෑමට නව පනතින් අරමුණු කොට ඇත. පැරණි පනත යටතේ මහ බැංකුවේ කාර්යභාරය ප්‍රධාන වශයෙන් 2කි. ඉන් පළමුවැන්න වන්නේ තිරසාර පදනම මත රටේ ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙන යාමයි. දෙවැන්න මූල්‍ය පද්ධතියේ ස්ථාවරතාව ඇති කිරීමයි. මිල ස්ථායිතාව යටතේ උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතුය. මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ඇති කිරීම යටතේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශ තැන්පත්කරුවන්ගේ තැන්පතුවල සුරක්ෂිතතාව රැක ගනිමින් එම පද්ධතිය කඩා නොවැටී පවත්වා ගෙන යෑමට ක්‍රියා කළ යුතුය.

මෙම අරමුණු දෙක ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන සහ ශක්තිමත් ආයතනයක් ලෙස ගොඩනැඟිය යුතුය. ගත වූ කාලයේදී මහ බැංකුවට මෙම අරමුණු දෙක ජය ගැනීමට හැකි වී තිබේදැයි විවාදාපන්න මාතෘකාවක් වී තිබේ. බොහෝ දුරට එය සාර්ථකව ජය ගැනීමට සමත්ව නැතැයි කීවද වරදක් නැත. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් බිහි කර ගැනීමට අප ක්‍රියා කළ යුතුය. ඒ අනුව දේශීය හා විදේශීය වශයෙන් මිල ස්ථායිතාවය ළඟා කර ගැනීම, පවත්වා ගෙන යාමට අප කටයුතු කළ යුතුය. මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාව ඇති කිරීමට ක්‍රියා කළ යුතුය.

උද්ධමනය ඒකාකාරීව පවත්වාගෙන යමින් මූල්‍ය ප්‍රතිපත්ති පවත්වා ගෙන යාම මහ බැංකුවේ කාර්යයයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රජයේ කාර්යභාරයයි. මෙම කාර්යයන් දෙක එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකකි. එමනිසා එය පටලවා නොගනිමින් විග්‍රහ කිරීම අපගේ වගකීමය.

රටේ මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුව තීරණය කරන අතර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ජනතා ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුව නියෝජනය කරන, බලය හිමි ආණ්ඩුව විසින් සිදු කළ යුතුය. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය තුළ රජය යනු එක් කොටසක් පමණි. අප රටේ වැඩිම ණයහිමියා රජයයි. දෙවැන්නා රජය සතු ව්‍යවසායන් වේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය බදු ගෙවන්නන්ගේ ලැබීම් මත සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ගළපා ගත යුතුය. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ඉන් එහා ගිය තැන්පත්කරුවන්ගේ සුරක්ෂිතතාව ප්‍රමුඛ ව රැකගන්නා ප්‍රතිපත්තිය බවට පත්විය යුතුය. අප මෙම වෙනස තේරුම් ගත යුතුය. රජය බදු ගෙවන්නන්ගේ මුදල් රජයේ වියදම් ලෙස සිදු කරයි. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවට තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් එලෙස වියදම් කිරීමට හෝ ඒවා අනාරක්ෂිත ලෙස විනාශ වීමට ඉඩ හැරීමට හැකියාවක් නැත. ඒ නිසාම පොලිය සහ විදේශ විනිමය අනුපාත තීරණය කිරීමේදී රජයේ මැදිහත් වීම අඩු කළ යුතුය. රජය මීට මැදිහත් නොවී වෙළෙඳපොළ ඉල්ලුම, සැපයුම මත එය තීරණය වීමට ඉඩදිය යුතුය. ඒ අනුව නව මහ බැංකු පනතින් සිදුකොට තිබෙනුයේ එවැනි ඇරඹුමක් සනිටුහන් කිරීමය.

සාමාන්‍ය උද්ධමනය තනි ඉලක්කමේ අගයකින් පවත්වා ගෙන යාම ප්‍රඥාගෝචර ක්‍රියාවකි. 1977 සිට අප රටේ විවෘත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. එදා සිට 2009 දක්වා විශාල වශයෙන් උද්ධමනය ඉහළ පහළ ගියේය. එහි සාමාන්‍ය අගය 36%ක් විය. වසර 2009 සිට මේ දක්වා කාලය තුළ සාමාන්‍ය උද්ධමනය 12%ක මට්ටමක පවතී. එයට හේතු වූයේ ලොව පිළිගත් නම්‍යශීලී උද්ධමනය ඉලක්ක කරන වැඩපිළිවෙළක් ඔස්සේ එය පාලනය කිරීමට මහ බැංකුව කටයුතු කිරීම නිසාය. එවැනි වැඩපිළිවෙළක් නව මහ බැංකු පනතින් වඩාත් ශක්තිමත් කොට ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2020 සිට ඉදිරියට වසර 2ක් තිස්සේ බිඳ වැටීමට ලක්වූයේ පොලී අනුපාත පහළ අගයක තබා ගනිමින් විදේශ විනිමය අනුපාතිකය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 203 මට්ටමින් දිගු කලක් එක තැන රඳවා නිසාය. මෙය අත්දෙක බැඳ දැමීමක් වැනි ක්‍රියාවලියකි. එවැනි ක්‍රියාවලියක් හරහා සිදුවනුයේ සැබෑ ලෙසම ආර්ථිකය බිඳ වැටීමය. එය අප අත්දැක ඇත. එමනිසා පමණ ඉක්මවා දේශපාලන ඇඟිලි ගැසීම්වලට ලක්වීමට මහ බැංකුවට සිදුවී තිබෙනවා යැයි නැඟෙන චෝදනා ද සනාථ වී ඇත. මෙය දුරුකිරීමට නව මහ බැංකු පනතින් ප්‍රතිපාදන ලබාගෙන තිබේ.

නව මහ බැංකු පනතින් මෙතෙක් පැවැති මුදල් මණ්ඩලය වෙනුවට පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස නව මණ්ඩල දෙකක් ඇතිකොට ඇත.

දැනට මුදල් මණ්ඩලයේ නිල වශයෙන් සාමාජිකත්වය දරන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යෝජිත නව පනත අනුව ඉන් ඉවත් කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛව දැනට මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය පස් දෙනෙකි. අලුතින් පිහිටුවීමට යෝජිත පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් ගණන 11ක් වේ.

මුදල් මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමේදී මුදල් ඇමැතිවරයාගේ නිර්දේශය මත සිදු කළ ක්‍රියාවලිය වෙනුවට සුදුසුකම් ලත් මූල්‍ය‍, තාක්ෂණ, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් සහ කුසලතාවන්ගෙන් පිරි සාමාජිකයන් පත් කිරීමට පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායක සභාවට හැකිවන ලෙස බලතල පුළුල් කොට ඇත. ඒ අනුව වඩාත් ස්වාධීන සහ ශක්තිමත් ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පත්කිරීමට නව පනතින් මුලපුරා ඇත.

ලෝකයේ පිළිගත් ක්‍රමවේදයකට අනුව නම්‍යශීලී උද්ධමන ඉලක්ක කරන වැඩපිළිවෙළකට අනුව යමින් උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය අනුපාතික වෙළෙඳපොළ ඉල්ලුම සැපයුම අනුව සිදුකිරීමට ඉඩදීම ස්වාධීන මහ බැංකුවක කාර්යභාරයයි.

නව බැංකු පනත මඟින් මහ බැංකුව දේශපාලනකරණයට ලක්වන්නේ යැයි චෝදනාවක් නැඟෙයි.

එයට පිළිතුරු ලබා දෙන්නේ නම් එවැන්නක් මීට පෙර සිදුව තිබෙන්නට ඇති මුත් නව පනත මඟින් එවැන්නක් සිදුවීමට තිබෙන ඉඩකඩ අසුරා ඇතැයි ඉඳුරාම කිව හැකිය.

නව බැංකු පනත මඟින් අධිරාජ්‍යවාදීන්ගේ, බටහිර බලවේගයන්ගේ බලපෑමට හා යටත්වීම්වලට මහ බැංකුව ලක්වන බවට නඟන චෝදනාව සම්පූර්ණයෙන් බැහැර කරන බව අධිපතිවරයා සඳහන් කරයි.

ස්වාධීනව ගොඩනඟන ආයතන වගකියනුයේ කාටදැයි යන්න පිළිබඳව පැහැදිලි අදහසක් නැතැයි ද එසේ වන්නේ කුමක් නිසා දැයි ද සමාජයේ කතිකාවක් නැඟෙයි. ඒ සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරන මහ බැංකු අධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව වගකියන්නේ කාටදැයි ඔබම සොයා බලන්නැයි සමාජයට ආරාධනා කර සිටියි. එම නිසා ස්වාධීන ආයතනවල කටයුතු එහි ප්‍රධානීන් විසින් වගවීම සහ වගකීම ඔස්සේ ක්‍රියාවට නංවන බව නොරහසකි. නමුත් කිසිවකු නීතියට පිටින් සිදුකළහොත් ඔහුට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන අනුව කටයුතු කිරීමට පනතින් ප්‍රතිපාදන ලබා දී ඇත.

Comments