මහ බැංකු කෙටුම්පතට මොකද වෙන්නේ | Page 2 | සිළුමිණ

මහ බැංකු කෙටුම්පතට මොකද වෙන්නේ

ශ්‍රී  ලංකා මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනත්වය ලබාදීම සඳහා වූ ‘ශ්‍රී ලංකා මහ බැංකු’ පනත් කෙටුම්පත නමින් වූ පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

නූතනත්වයට ගැළපෙන ලෙසින් සකස් කර ඉදිරිපත් කර ඇති මහ බැංකු නව පනතට එරෙහිව විරෝධතා ගොනු කෙරිණි.

විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රවීණ ව්‍යාපාරිකා ජෙහාන් හමීඩ් ඇතුළු පිරිසක් අධිකරණය කරා ගියේ මහ බැංකු පනත හරහා රටට හානියක් වන බව පවසමිනි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින්ද පසුගිය 17වැනිදා විශේෂ පෙත්සමක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලදි. මේ හරහා රටේ ආර්ථිකයේ ඇති වන ගැටලු මෙන්ම ඒ හරහා සිදුවන්නේ යැයි කියන අර්බුද සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය කිහිපයකින් සිළුමිණ අදහස් විමසුවෙමු.

රට යළිත් යටත් විජිතයක් කිරීමක් 
•පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි

‘‘ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවෙන් ස්වාධීන කිරීම රට යළිත් යටත් විජිතයක් කිරීමක්. ශ්‍රී ලංකා මහ බැංකුව මෙතෙක් පාලනය වුණේ 422 වන අධිකාරිය වූ මුදල් නීති පනත යටතේ. එනමුත් ආණ්ඩුව 2023/02/17 වනදා ගැසට් පත්‍රයකින් "ශ්‍රී ලංකා මහ බැංකුව" යන නාමය යටතේ යෝජිත නව පනතක් ප්‍රකාශයට පත් කළා. මේ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ නියාමනයෙන් හා පාලනයෙන් සපුරා නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා. එනම් පනතේ 5 (1) වගන්තිය යටතේ මහ බැංකුවට පරිපාලනමය හා මූල්‍යමය ස්වාධීනත්වය පිරිනැමීමට යෝජනා කර තියෙනවා.

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව "පරමාධිපත්‍යය" ජනතාව සතුවන්නේ ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය මහජන නියෝජිතයන් හරහා ක්‍රියාත්මක විය යුතුයි. "ප්‍රතිපත්ති සම්පාදනය" ඒ පරමාධිපත්‍ය බලයේම කොටසක්, ඒ අනුව "ආර්ථික ප්‍රතිපත්ති" සම්පාදනය කිරීම ද ඊට අයත් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය යටතේ මෙම ආර්ථික / මූල්‍යමය ප්‍රතිපත්ති සම්පාදනයේ බලය සම්බන්ධ විධිවිධාන විස්තරාත්මකව දක්වා තිබෙනවා. එම පරිච්ඡේදයට අයත් ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව මහජන මූල්‍ය කටයුතු සම්බන්ධව සම්පූර්ණ බලතල පාර්ලිමේන්තුවටයි පිරිනමා තියෙන්නෙ.

යෝජිත මහ බැංකු පනත මඟින් 7(1) වගන්තිය අනුව රටේ මුදල් ප්‍රතිපත්ති තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීම මහ බැංකුවේ බලතල කාර්ය හා කර්තව්‍ය අතරට පවරා තියෙනවා. මෙසේ රටේ මුදල් ප්‍රතිපත්තිය තීරණය කරන රටේ මූල්‍යමය කටයුතු පිළිබඳ ප්‍රධාන ආයතනය එනම් ආර්ථික හදවත වන "ශ්‍රී ලංකා මහ බැංකුව" නව පනතේ 5(1) වගන්තිය අනුව පරිපූර්ණ ලෙස ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට යෝජනා කරන පනතක් ඉදිරිපත් කිරීම මඟින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වනවා.‘‘

මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කිරීමෙන් ඔබ්බට ගොස් යෝජිත පනතේ 10(1) සහ 13(8) වගන්ති යටතේ පහත පරිදි දක්වා තිබෙනවා.

10(1) - පාලක මණ්ඩලයේ රැස්වීම් කටයුතු රහසිගත විය යුත්තේය. පාලක මණ්ඩලය විසින් යම් කාරණයක් සම්බන්ධයෙන් ගනු ලබන යම් තීරණයක් අවශ්‍ය යැයි එය විසින් සලකන්නේ නම් ප්‍රසිද්ධියට පත් කරනු ලැබිය හැකිය.

13(8) - මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ රැස්වීම්වල කටයුතු රහසිගත විය යුත්තේය.

‘‘මේ ලෙසින් රටේ ආර්ථික හදවත වූ මූල්‍යමය ප්‍රතිපත්ති සම්පාදනයට බලය ලැබී ඇති බලගතු ආයතනයක් ස්වාධීනව සහ රහසිගතව ක්‍රියාත්මක වීම රටේ ආර්ථිකය කොම්පැනියක පාලනයට නතු කරලීම වැනි තත්වයක් උද්ගතකරලිය හැකියි. නව පනතේ 37 වගන්තිය මඟින් රටේ විදේශ විනිමය මෙහෙයුම් කටයුතු මහ බැංකුවට පවරා තිබීම මේ තත්ත්වය වඩාත් බරපතළ කරවන්නක්.

මහ බැංකුවේ පාලනය රටට සතුරු විදේශිය බලවේගයක් මගින් හෝ වෙනත් ජාතික විරෝධී බලවේගයක් මගින් හසුරුවනු ලබන තත්වයක් උද්ගත වුවහොත් නව පනතේ ප්‍රතිපාදන අනුව ඉතා විනාශකාරී තත්ත්වයක් උද්ගත විය හැකියි. මේ හේතුවෙන් රටේ ආර්ථිකය, ආර්ථික ස්වාධීනත්වය හා රටේ ආර්ථික ස්වාධිපත්‍යය සපුරා විනාශ වන අවදානමක් උද්ගත කෙරෙන මෙම නව පනතට එරෙහි වීම සහ එය හකුලා ගැනීමට ආණ්ඩුවට බල කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීම විය යුතුයි.‘‘

මහ බැංකුව රටේ පාලනයෙන් ගිලිහුණොත් එය සදාකාලික වේවි 
•පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

‘‘ මේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 3 සහ 4 වගන්ති අමු අමුවේ උල්ලංඝණය කරන නිසා ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතියකින් තොරව මේ පනත සම්මත කර ගැනීමට බෑ කියලා තීන්දු කරන ලෙස ඉල්ලමින් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. අපට තිබෙන තොරතුරු අනුව මේ පනත ඉදිරිපත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්ලු. අද අපි ණය ගනීවි. හෙට ඒ මුදල් වාෂ්ප වේවි. රටේ ආර්ථිකය නියාමනය කරන මහ බැංකුව රටේ පාලනයෙන් ගිලිහුණොත් ඒ ගිලිහීම සදාකාලික වේවි. ඩොලර් ලබා ගන්න ජනතා පරමාධිපත්‍ය රටේ ස්වාධිපත්‍ය විකුණා දමන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නෑ. අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කිසිම දෙයක් කරන්න ආණ්ඩුවට මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙන්න බෑ. ව්‍යවස්ථාවයි මූල්‍ය අරමුදලේ ගිවිසුමයි අතර පරස්පරයක් තිබෙනවා නම් වෙනස් කළ යුත්තේ මූල්‍ය අරමුදලේ ගිවිසුම මිස ව්‍යවස්ථාව නොවේ.

මේ පනතේ 4 වන වගන්තියෙන් කියනවා මහ බැංකුවේ සියලුම කොටස් අයිති ආණ්ඩුවටයි කියලා. ඒ කියන්නේ මහජන මුදල් තමයි මහ බැංකුවේ ආයෝජනය කරන්නේ. නමුත් 5 වන වගන්තියෙන් කියනවා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කියලා. මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පත් කරන්නේ රටේ ජනතාව. ඒ අය තනතුරු දරන කාලය පුරාම ජනතාව ආණ්ඩුවේ කටයුතු පිළිබඳ විමසිල්ලෙන් ඉන්නේ. ජනතාව නැතත් විපක්ෂය සහ ජනමාධ්‍ය විමසිල්ලෙන් ඉන්නේ. ඒ අය වරදක් කළොත් ඊළඟ මැතිවරණයේ දී දඬුවම් කළ හැකියි. ඒ නිසාම ජනතා මතයට විධායකය සහ ව්‍යවස්ථාදායකය යම් සංවේදී බවක් තිබෙනවා.

නමුත් මහ බැංකුවේ නිලධාරින් ජනතාව ගැන කිසිම සංවේදිතාවයක් තිබෙන්න හේතුවක් නෑ. ඒ නිසා මහ බැංකුව ස්වාධීන වුණොත් ඔවුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කිරීමට කටයුතු කරාවි. ඊටත් වඩා භයානක වන්නේ ඔවුන්ට විදේශ ශිෂ්‍යත්ව දෙන, විදේශ සංචාර දෙන, ජාත්‍යන්තර සංවිධානවල රැකියා අවස්ථා ලබා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ බටහිර තානාපති කාර්යාලවල ඕනෑ එපාකම් මත ක්‍රියා කිරීමට උත්සාහ ගනිවි. මේ සිදු කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ලංකා ආණ්ඩුවේ ග්‍රහණයෙන් මුදා හැරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ග්‍රහණයට නතු කරන එකයි.

මහ බැංකුව ස්වාධීන කිරීම මූල්‍ය අරමුදලේ ණය ලබා ගන්න සම්පූර්ණ කළ යුතු කොන්දේසියක් කියලා ආණ්ඩුව කියනවා. අපි මීට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම් ලබා ගත්තා. මහ බැංකුව ස්වාධීන කරන්න කිව්වේ නෑනෙ. වෙනත් කිසිම රටකට මේ කොන්දේසිය දැමූ බවට වාර්තා වෙන්නේ නෑ. එහෙම නම් මේ උත්සාහ කරන්නේ අපේ අසරණකම පාවිච්චි කරලා අපේ රට, මූල්‍ය අරමුදලේ අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත් කර ගන්නයි.

ඒ විතරක් නෙමෙයි මහ බැංකුව ආණ්ඩුවේ බැංකුකරු වගේම මූල්‍ය උපදේශක කියලා මේ පනතේ 7 වන වගන්තියෙන් කියනවා. ඒ වගේම රාජ්‍ය මූල්‍ය නියෝජිත කියලාත් තිබෙනවා. මහ බැංකුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති රාමුවට සහය ලබා දිය යුතුයි කියා 6 වන වගන්තියෙන් කියනවා. මේ වගන්ති අනුව පේන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය සකසන මහ බැංකුව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සකසන භාණ්ඩාගාරය අතර සමීප සම්බන්ධතාවයක් තිබිය යුතු බවයි. භාණ්ඩාගාර ලේකම් නිල බලයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වෙන්නේ මේ නිසා.

නමුත් නව පනතින් භාණ්ඩාගාර ලේකම් මහ බැංකුවේ පාලක සභාවෙන් ඉවත් කරලා. ඒ අනුව ආණ්ඩුව සහ මහ බැංකුව සමග විශේෂයෙන් භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර තිබිය යුතු අත්‍යවශ්‍ය බැඳීම ඉවත් කරලා. ඒ පියවර අරගෙන තිබෙන්නේ මහ බැංකුව ආණ්ඩුවෙන් ගලවලා අරන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනයට යටත් කර ගන්නයි. අපි විශ්වාස කරනවා මෙම පනත ජනතාවගේ අනුමැතියකින් තොරව සම්මත කළ නොහැකි බවට තීන්දුවක් ලබා දීලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැක දීමට අධිකරණයෙන් නිසි පියවර ගනීවි ‘‘

රුපියල් වෙනුවට වෙනත් මුදල් භාවිතා කරන්නත් පුළුවන් 
•ප්‍රවීණ ව්‍යාපාරිකා ජෙහාන් හමීඩ්

ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයත් උල්ලංඝනය වෙනවා. එම නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමටයි කටයුතු කෙළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු කර තිබෙනවා. එහි දී ඒකාබද්ධ අරමුදල සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමේ බලය ඇත්තේත් පාර්ලිමේන්තුවටයි.

පාර්ලිමේන්තුව හා විධායකය හරහා නියෝජනය වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. මහ බැංකුව ක්‍රියා කළ යුත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට යටත්වයි. රටක සම්පත්, මුල්‍ය ඇතුළු සමස්ථ ආර්ථිකය කළමනාකරණය හා පාලනය කිරිමේ අයිතිය ඇත්තේ එම රටේ ජනතාවටයි. එය ජනතාවගේ ආර්ථික පරමාධිපත්‍ය බලයයි. නව පනත මඟින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය පාලන බලය හීන කරනවා. එය කිසිවෙකුටත් මැදිහත් විය නොහැකි හා වග නොකියන ප්‍රබල මූල්‍යමය හා පරිපාලනමය ස්වාධීනත්වයක් ඇති ආයතනයක් බවට පත් කරනවා.

මුදල් ප්‍රතිපත්තිය හා විනිමය අනුපාත ප්‍රතිපත්තිය තීරණය කිරීමේ තනි අයිතිය මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නම් කණ්ඩායමකට පවරනවා. එයට විදේශිකයින් වුවද පත් කිරීමට හැකියාව පවතිනවා. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ආසියානු සංවර්ධන බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවයට මුදා හැරිමට අයිතිය මහ බැංකුවට තිබෙනවා. එසේම ජාත්‍යන්තර වශයෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ අවකාශය මහ බැංකුවට තිබෙනවා. මහ බැංකුව දේශීය වශයෙන් පාර්ලිමේන්තුවට හෝ විධායකයට වගකීමට බැඳී නැහැ.

එවිට එය ජනතාවට වග නොකියන නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම හෝ එහි උපදේශකත්වය යටතේ කටයුතු කළ හැකි ආයතනයක් බවට මහ බැංකුව පත්වෙනවා. ජනතාවගේ ආර්ථික පරමාධිපත්‍ය බලය ජනතාවට අහිමි වෙනවා. මහ බැංකුව ජනතාවට අයත් ආයතනයක් ලෙස නොව විදේශ මූල්‍ය ආයතනවලට අයත් ආයතනයක් ලෙස කටයුතු කරනවා. පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරන රාජ්‍ය මුල්‍ය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා තීරණ ක්‍රියා කිරීමට නොහැකි වෙනවා.

උදාහරණ වශයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනය, සුබසාධනය, දිළිඳුකම තුරන් කිරීම යනාදිය සම්බන්ධව රජය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම අත් හිටුවීමට හෝ සීමා කිරීමට මහ බැංකුව විසින් ගනු ලබන මුදල් පිළිබඳ ප්‍රතිපත්ති වලට හැකියාව ලැබෙනවා. මහ බැංකුවේ තීරණ අභියෝග කළ නොහැකියි. එබැවින් ජනතා පරමාධිපත්‍ය බලය මත සෑදෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා තීරණ යටපත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සාදන මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. රට තුළ රුපියල් වෙනුවට වෙනත් මුදල් වර්ග භාවිතා කිරීමට අවසරය ලබා දීමට ද හැකියාව ලැබෙනවා. මෙම පනත මගින් රට ආර්ථිකමය වශයෙන් පරගැති වනවා.

Comments