අනතුරු සමඟ ගනුදෙනු කළ හැකි හොඳම ක්‍රමය | සිළුමිණ

අනතුරු සමඟ ගනුදෙනු කළ හැකි හොඳම ක්‍රමය

භාවනාව පුහුණුවේදී ඇතිවන වැරැදි හැඟීම් 3ක් මේ වන විට ඔබ දැනගෙන ඇත. එහි සිවුවන වැරැදි හැඟීම දෙස දැන් අවධානය යොමු කරමු.

4 වන වැරදි හැඟීම:

‘භාවනා පුහුණුවේ යෙදෙන්නේ අධිමානසික හැකියාවන් සහිත සුපිරි ජීවියකු වීම සඳහාය.‘ යන්නය.

එයට පිළිතුර ‘කොහෙත්ම නැත.‘ යන්නයි. භාවනාවේ පරමාර්ථය සිහිකල්පනාව වර්ධනය කර ගැනීමයි. අන් අයගේ සිත් කියවීමට ඉගෙනීම හෝ අහසින් ගමන් කිරීම අපගේ බලාපොරොත්තුව නොවෙයි. අපගේ ඉලක්කය විමුක්තිය ලබා ගැනීමයි. අධිමානසික බලය හා භාවනාව අතර සම්බන්ධයක් තිබෙන නමුත් එය සංකීර්ණ එකකි. භාවනා ජීවිතයේ මුල් අවදියේදී මෙවැනි සිද්ධීන් ඇතිවීම හෝ නොවීම සිදුවීමට පුළුවන. සමහර පුද්ගලයන් හට සහජ ඥානය හෝ පෙර භවයන් හි මතකයන් උඩුසිත කරා පැමිණිය හැකිය. සමහරුන්ට මෙම අත්දැකීම් නොලැබෙයි. කෙසේවෙතත් මෙවැනි දේ හොඳින් වර්ධනය වූ හා විශ්වාස කළ හැකි අධිමානසික හැකියා ලෙස නොසැලකෙයි. එමෙන්ම ඒවාට අනවශ්‍ය වැදගත්කම් ආරෝපණය නොකළ යුතුය. මුළා විය හැකි බැවින් මෙවැනි සිද්ධීන් නවක සිසුන්ට අන්තරාදායී විය හැකිය. මේවා ඔබ මාර්ගයෙන් ඉවතට කැඳවා ගෙන යන මමත්වයේ උගුලක් වීමට පුළුවන. කළ යුත්තේ මෙවැනි සිද්ධීන්ට අනවශ්‍ය වැදගත්කමක් හෝ අනවශ්‍ය අවධානයක් නොදීමයි. ඒවා පැමිණියහොත් එය යහපත්ය. ඒවා නොපැමිණීම ද යහපත්ය. භාවනා ජීවිතයේදී මානසික හැකියාවන් පුහුණු කළ හැකි, විශේෂ අභ්‍යාසයන් හි යෙදෙන කාලයක් ඇත. නමුත් ඒ සෑහෙන පුහුණුවකින් පසුවය. එනම් ඉතා ගැඹුරු ධ්‍යානයක් හා මානසික විවේකයක් අත්කර ගැනීමෙන් පසුවයි. මේ වන විට අන්තරාවකින් තොරව මෙවැනි බලයක් සමඟ, ගනුදෙනු කළ හැකි දියුණු තත්ත්වයක් භාවනානුයෝගියා අත්කරගෙන සිටියි. එවිට ඔහු හෝ ඇය එම හැකියාවන් වර්ධනය කර ගන්නේ අන් අයට යහපතක් සැලසීමේ අභිප්‍රායෙන් පමණකි. බොහෝ විට මෙවැනි මට්ටමට කෙනෙක් පත්වන්නේ දශක කීපයක් තුළ භාවනා පුහුණුවෙන් පසුය. 

ඒ ගැන ඔබ දැන්ම කරදර නොවන්න. එලැඹි සිහිය වර්ධනය කර ගැනීම පිළිබඳ පමණක් සිත යොමු කරන්න. දර්ශන හෝ කටහඬවල් පැමිණේ නම් ඒ බව දැනගෙන, ඒවාට යන්න හරින්න. ඒවා සමඟ නොපැටලෙන්න.

5 වන වැරදි හැඟීම :

භාවනා පුහුණුව අනතුරුදායකයි. නුවණැත්තන් භාවනාව මඟ හැරිය යුතුයි.

සෑම දෙයක්ම අනතුරුදායකයි. පාර හරහා යන ඔබ බසයකට යට විය හැකිය. දිය නාන විට පය ලිස්සා බෙල්ල කඩා ගැනීමට ඉඩකඩ ඇත. භාවනා කිරීමේදී වැළලුණු අමිහිරි අතීත සිද්ධීන් මතුපිටට පැමිණීමට පුළුවන. දිගුකාලයක් තිස්සේ සිත යට යටපත්ව තිබූ කරුණු බිය ගෙන දෙන සුලු විය හැක. නමුත් එය ඉතා ප්‍රයෝජනවත්ය. අවදානමකින් තොර වූ කිසිවක් ලොව නැත. එම නිසා ආරක්ෂාකාරී කෝෂයක් තුළ සිරවී සිටීම ද කළ නොහැකිය. එය ජීවත්වීමට වඩා අකල් මරණයට ගොදුරු වීමක් වැනිය. අනතුරු සමඟ ගනුදෙනු කළ යුතු හොඳම ක්‍රමය වන්නේ දළ වශයෙන් අන්තරාවේ ප්‍රමාණය, තිබිය හැකි ස්ථාන හා පැන නැඟුණු විට එයට මුහුණදෙන ආකාරය ඉගෙන ගැනීමයි. මෙහි පරමාර්ථය එයයි. විපස්සනාව යනු සිහි නුවණ දියුණු කිරීමයි. එය තනිව ගත්විට අන්තරාදායී නැත. එපමණක් නොව දියුණු සිහි කල්පනාව අනතුරු සඳහා වූ ආරක්ෂාවයි. හරියාකාරව පුහුණු වූ විට, භාවනාව මෘදු මෙන්ම ක්‍රමානුකූල ක්‍රියාවලියකි. එය සෙමෙන් සැහැල්ලුවෙන් පුරුදු වන විට ඔබගේ පුහුණුවේ වර්ධනය ඉබේම සිදුවනු ඇත. කිසි බලකිරීමක් ඇවැසි නැත. පසුකාලයකදී ඔබ දක්ෂ භාවනා ගුරුතුමකු ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂාකාරී ගුරූපදේශ සමඟ පුහුණුව ලබන කල, භාවනා කාලය දීර්ඝ කර, ඔබගේ වර්ධන වේගය ද වැඩි කර ගත හැකිය. මුලදී සෙමෙන් පුහුණු වන්න. එවිට සියල්ල හොඳින් සිද්ධ වනු ඇත.

6 වන වැරදි හැඟීම :

භාවනා පුහුණුව ඇත්තේ ශාන්තුවරයන් සහ මුනිවරයන් සඳහායි.

සාමාන්‍ය ජනයා සඳහා නොවෙයි.

සංඝයා වහන්සේලාට සහ ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්නන් හට මහත් ගෞරව හා වන්දනාමාන දක්වන ආසියානු රටවල ජනයා අතර මෙවැනි ආකල්පයක් පවතියි. මෙය තරමක් දුරට අමෙරිකානු ජාතිකයන් සිනමා තාරකාවන් සහ බේස් පන්දු වීරයන් දේවත්වයෙහිලා සැලකීම හා සමාන ආකල්පයකි. මෙවැනි පුද්ගලයන් එක ම ආකෘතියකට ඇතුළත් කොට, යථාර්ථයට වඩා විශාල කොට, මනුෂ්‍යයන් අතරෙන් ඉතා ටික දෙනෙකුට පමණක් ළඟා කරගත හැකි නොයෙක් මාදිලියේ ගති ලක්ෂණවලින් හැඩගන්වා ඇත. භාවනාව පිළිබඳ මෙවන් ආකල්ප බටහිර රටවල වෙසෙන අප තුළ ද පවතියි. භාවනානුයෝගීන් ඉතා සුවිශේෂ වූ පුදුම දේ කළ හැකි ධාර්මික පුද්ගලයන් විය යුතු බවට අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් සමඟ කෙටි ඇසුරකින් පසු එවැනි වැරදි හැඟීම් අප කෙරෙන් බැහැරව යයි. ඔවුන් විශාල උද්‍යෝගයකින් සහ ක්‍රියාශීලී බවකින් හෙබි පුදුමාකාර ශක්තියකින් ජීවිතය ගෙනයන පුද්ගලයන් ය.

බොහෝ ශුද්ධාවන්ත පුද්ගලයන් භාවනා පුහුණුවේ යෙදෙන බව ඇත්තකි. නමුත් ඔවුන් භාවනා කරන්නේ ඔවුන්ගේ ශුද්ධවන්ත බව නිසා නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ශුද්ධවන්ත වී ඇත්තේ භාවනා පුහුණුව නිසයි. මෙය ඉතාමත් වැදගත් කරුණකි. භාවනාව ආරම්භ කිරීමට පෙර යමකු පූර්ණ ශුද්ධවන්ත ජීවිතයක් තිබිය යුතු බව බොහෝ ශිෂ්‍යයන් විශ්වාස කරන බව පෙනෙයි. මෙය ප්‍රායෝගික නොවන ක්‍රමවේදයකි. සිල්වත් බවක් ඇතිකර ගැනීමට යම්කිසි ප්‍රමාණයක මානසික පාලනයක් අවශ්‍ය කරයි. එය තිබිය යුතු ගුණාංගයකි. සුළු ස්වයං පාලනයක් හෝ නොමැති පුද්ගලයකුට කවර ශික්ෂා පදයක් හෝ අනුගමනය කිරීම අසීරු කාර්යයකි. නිරතුරුව චංචල වන සිතක් ඇති තැනැත්තාට ස්වයං පාලනයක් ඇති කර ගැනීම පහසු නොවෙයි. පළමුව මානසික වගාව සිදුවිය යුත්තේ මේ හේතුවෙනි.

ශීලය, සමාධිය හා ප්‍රඥාව බෞද්ධ භාවනාවෙහි අනුබද්ධිත අංග තුනයි. ඔබගේ පුහුණුව ගැඹුරෙන් වැඩෙන විට මෙම සාධක තුන ද එකවර වර්ධනය වීම සිදු වෙයි. එකිනෙක කෙරෙහි බලපෑම් ඇති කරන බැවින් ශීලය, සමාධිය හා ප්‍රඥාව එකවිට වර්ධනය කර ගැනීම වැදගත්ය. යම්කිසි අවස්ථාවක් නියම ආකාරයෙන් තේරුම් ගැනීමට ප්‍රඥාව ඇතිවූ විට එයට අදාළ සියලුම පාර්ශ්වයන් කෙරෙහි කරුණාව ඉබේම වැඩෙයි. මෙහි දී කරුණාව යනුවෙන් අදහස් වන්නේ තමාට හෝ අන් අයට පීඩාවක් සිදුවිය හැකි සිතිවිලිවලින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් වැළකී සිටීමයි. එවිට ඔබගේ හැසිරීම ඉබේම ශීල සම්පන්න වෙයි. කරුණු කාරණා ගැඹුරින් අවබෝධ කර නොගැනීම නිසා ඔබට ගැටලු මතු විය හැකිය. ඔබගේ ක්‍රියාවේ පලවිපාක නොදකින විට ඔබ වරදෙහි බැඳෙයි. භාවනාව ආරම්භ කිරීමට පෙර පරිපූර්ණ සීලයක් ඇති කර ගැනීමට බලා සිටින්නා කිසිදාක නොපැමිණෙන අවස්ථාවක් බලාපොරොත්තුවෙන් හිඳියි. පැරණි ඍෂිවරුන් පවසන පරිදි ඔහු දියනෑම සඳහා මුහුද නිශ්චල වන තුරු බලා සිටින්නකුට සමානයි.

මෙය මැනවින් තේරුම් ගැනීම සඳහා සීලයේ මට්ටම් කීපයක් ඇති බව උපකල්පනය කරමු. කිසියම් පුද්ගලයකු විසින් සම්පාදනය කළ රෙගුලාසි මාලාවකට අනුව ජීවත් වීම සීලයේ ප්‍රාථමික මට්ටම ලෙස ගැනීමට පුළුවන. ඒ ඔබගේ ශාස්තෲවරයකු, පවතින රජය, ගෝත්‍රික නායකයා හෝ පියා විසින් සැකසූ නීති මාලාවක් විය හැකිය. මේ මට්ටමේදී ඔබ කරන එකම දෙය වන්නේ එම රෙගුලාසි දැනගෙන ඒවා අනුගමනය කිරීමයි. රොබෝ යන්ත්‍රයකට පවා එය කළ හැකියි. නීති රෙගුලාසි ඉතා සරල නම් හා පිළිනොපදින සෑම අවස්ථාවකදීම පහරක් ගැසීමට කිසිවකු සිටී නම්, පුහුණු කළ චිම්පන්සියකු හට වුව ද එය කළ හැකියි. මෙහිදී භාවනාව කිසිසේත්ම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ රෙගුලාසි මාලාවක් හා දඬුවම් පහරක් දීමට පුද්ගලයකු පමණි.

පහරක් ගැසීමට කිසිවකු නොසිටින අවස්ථාවකදී පවා එම නීති රෙගුලාසි පිළිපැදීම සීලයේ දෙවන මට්ටමයි. ඔබ එම නීති ඉගෙන ගෙන ඇත. ඒවා කඩන සෑම අවස්ථාවකදීම ඔබම ඔබට පහරක් ගසා ගනියි. මෙම මට්ටමේදී යම්කිසි ප්‍රමාණයක සිත පාලනය කිරීමක් අවශ්‍යයි. ඔබගේ සිතිවිලි රටා ව්‍යාකූල වන විට හැසිරීම ද ඒ අනුව ව්‍යාකූල වීමට පුළුවන. මානසික වගාව මානසික ව්‍යාකූලතාව අඩු කරයි.

සීලයේ තුන්වන මට්ටම සදාචාරය ලෙස හැඳින්වීම වඩාත් සුදුසුයැයි සිතමි. මෙය විශාල පිම්මක් වන පුරුදු චින්තන රටාව වෙනස් කිරීමකි. කිසියම් අධිකාරියක් මඟින් පනවන තද නීති මාලාවකට හිස නැමීම හෝ කීකරු වීම සදාචාරාත්මක මට්ටමේදි සිදු නොවෙයි. යම් පුද්ගලයෙක් තමාගේ සිහිකල්පනාව, ප්‍රඥාව හා කරුණා මෛත්‍රීය මගින් පෙන්වනු ලබන මාර්ගය අනුගමනය කිරීමට තීරණය කරයි. සෑම අවස්ථාවකදීම කරුණු කාරණා තෝරා බේරාගෙන, අද්විතීය, නිර්මාණශීලී හා වඩාත්ම සුදුසු ප්‍රතිචාරය දැක්වීම සඳහා සැබෑ බුද්ධියක් මෙහිදී වුවමනා කරයි. තමාගේ සීමිත පුද්ගලික දෘෂ්ටියෙන් පිටතට පැමිණ තීරණ ගැනීම ද මෙහිදී අවශ්‍ය කරුණකි. තමාගේ මෙන්ම අන් අයගේ අවශ්‍යතා කෙරෙහි ද සමාන වැදගත්කමක් දෙමින් ඔහු සම්පූර්ණ අපක්ෂපාතීව හා ස්වාධීනව දැකිය යුතුයි. තවත් ආකාරයකින් කිවහොත් සාමාන්‍යයෙන් අනෙක් පුද්ගලයාගේ පැත්තෙන් ගැටලුවක් දෙස බැලීමට මඟ අවුරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව, හා අනෙකුත් ආත්මාර්ථකාමී සිතිවිලිවලින් තොර වීම අත්‍යවශ්‍යයි. එවිට, අදාළ අවස්ථාවට ඉතාමත් උචිත වූත් නිවැරදි වූත් ක්‍රියා මාර්ගයක් තෝරා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. උපතින්ම ශාන්තුවරයෙක් නොවන සෑම කෙනෙකුටම, මෙවැනි උසස් සීලයක් අත්කර ගැනීම සඳහා භාවනා පුහුණුව අනිවාර්යයෙන් උපකාරී වන අභ්‍යාසයකි. එම කුසලතාවය වඩවා ගත හැකි අන් මාර්ගයක් නොමැත. එමෙන්ම මෙහිදී අවශ්‍ය කරන තේරීමේ ක්‍රියාවලිය මහත් වෙහෙසකාරී එකකි. සෑම අවස්ථාවකදීම, සියලුම කරුණු කාරණා සමඟ අඩව් ඇල්ලීම උඩු සිත වෙහෙසට පත්කරවන්නකි. සාමාන්‍ය බුද්ධියට එය අධික බර පැටවීමකි. වාසනාවකට මෙන් ගැඹුරු බුද්ධි තලයකදී මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකියි. භාවනාව මෙවැනි දත්ත සම්පාදනයන් ඔබ වෙනුවෙන් ඉටු කර දෙයි.

දිනෙක ඔබට විඳීමට ‘අන්කල් හර්මන්ගේ‘ නවතම දික්කසාදය පිළිබඳව ගැටලුව ඇතැයි සිතමු. එය බැලූ බැල්මට විසඳුමක් පේන තෙක් මානයේ නැති, ඥානවන්ත සොලමන්ට පවා විසඳීමට නොහැකි, "විය හැකියාවන්ගෙන්" පිරුණු ප්‍රශ්නයකි. ඊළඟ දවසේ ඔබ පිඟන් සෝදමින් සිටින අතර, හදිසියෙන්ම විසඳුමක් සිතට නැඟෙයි. එය ගැඹුරු මනසින් හිටි අඩියේ පැන නඟින විට ඔබ "අහා" යයි එය වටහා ගන්නවා ඇත. ප්‍රශ්නය නිරාකරණය වී ඇත. මෙවැනි සහජ ඥානය ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්නය තර්කානුකූල මනසින් මුදා හැර, විසඳුමක් සෙවීමට යටි සිතට බාර දුන් විටයි. මෙහිදී සවිඥාන උඩු සිත බාධා ඇතිකරයි. සිතීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වන්නේ කෙසේද යන්න භාවනාව මඟින් ඔබට උගන්වයි. එය එදිනෙදා ජීවිතයේදී ඉතා ප්‍රයෝජනවත් මානසික කලාවක් වන තම තමාගේ මාර්ගයෙන් ඉවතට පියනඟන ක්‍රමයයි. භාවනාව, ඔබට අදාළ නොවන, තාපසවරුන්ට පමණක් සීමාවූ, අභ්‍යාසයක් නොවෙයි. එය සෑම කෙනකුටම එවේලෙහිම ප්‍රයෝජනයට ගත හැකි, එදිනෙදා ජීවිත සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනැඟෙන ප්‍රායෝගික කුසලතාවකි. එය පරලොවට අයිති දෙයක් නොවෙයි.

අවාසනාවකට මෙන් මෙම සාධකයම සමහර භාවනා සිසුන් පසුබට කිරීමට හේතුවක් වේ. ඔවුන් භාවනාව පටන් ගන්නේ ක්ෂණිකව දේවදූතයන්ගේ ගායනා සමඟ විශ්ව එළිදරව් කිරීම් බලාපොරොත්තුවෙනි. එනමුත් සාමාන්‍යයෙන් ඔවුනට ලැබෙන්නේ සිතෙහි ඇති කුණු කන්දල් ඉවත් කිරීම සඳහා වඩා කාර්යක්ෂම ක්‍රම හා අන්කල් හර්මන්ගේ ගැටලුව සඳහා වන විසඳුම් වෙයි. එවිට ඔවුහු අනවශ්‍ය ලෙස බලාපෙරොත්තු සුන් කර ගනිති. කුණු ඉවත් කිරීමේ විසඳුම් පළමුව පැමිණෙයි. දේවදූතයන්ගේ කටහඬවල් ඇසෙන්නේ සෑහෙන කාලයකට පසුය.

7 වන වැරදි හැඟීම :

භාවනාව යථාර්ථයෙන් පලා යෑමකි.

වැරදියි. භාවනාව යනු යථාර්ථය වෙතට දිව යෑමකි. එය ඔබගේ ජීවිතයේ වේදනාවන්ගෙන් වෙන් කරන්නේ නැත. වේදනාවේ බාධක සිදුරු කරගෙන දුක ඉක්මවා යෑම සඳහා ජීවිතයේ සෑම පැතිකඩක්ම අළලා ගැඹුරින් ගවේෂණය කිරීමට එය ඔබට ඉඩ සලස්වයි. විපස්සනාව යනු ජීවිතයේ යථාර්ථයට මුහුණ දී, ජීවිතය සම්පූර්ණයෙන් ඇති සැටියෙන් අත් දැක, තමාට එහි දී මුණගැසෙන සියල්ල නිසිපරිදි හසුරුවා ගැනීමේ අදහසින් කෙරෙන අභ්‍යාසයකි. එය මායාවේ කඩතුරා ඉවත් කර, ඔබ ඔබටම කියාගන්නා බොරුවලින් ඔබව නිදහස් කරයි. පවතින දේ පවතියි. ඔබ ඔබ ම වෙයි. ඔබගේ දුර්වලකම් හා පෙලඹවීම් ගැන ඔබට ම කරගන්නා වංචාවෙන් සිදුවන්නේ වඩාත් තදින් මායා චක්‍රයේ වෙළීමයි. විපස්සනාව තමාගේ ගැටලුව වසා දමන හෝ තමාව අමතක කර දැමීමට ගන්නා උත්සාහයක් නොවෙයි. එය ඔබ සිටින ආකාරයෙන්ම ඔබව දැක ගැනීමට ඉගෙන ගැනීමයි. පවතින දේ කුමක්දැයි දැක එය මුළුමනින්ම බාර ගැනීමයි. ඔබට වෙනස් වීමට හැකිවන්නේ එවිට පමණි.

(ලබන සතියේ භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවක් ලෙස පෙනෙන්නේ ඇයි?)

Comments