ලාල් කාන්ත, උවිඳු විජේවීර 1988-89 සහ 2023 | සිළුමිණ

ලාල් කාන්ත, උවිඳු විජේවීර 1988-89 සහ 2023

ලෝක ඉතිහාසයේ පැරණිම වැඩ වර්ජනය ගැන අන්තර්ජාලය සහ පොත් පත් ඔස්සේ සොයන විට ඉපැරණි මූලාශ්‍ර තොගයක්ම ලබාගත හැකිය. එහෙත් එම විස්තර තොගයෙන් ලෝකයේ පැරණිම වැඩ වර්ජනය ගැන හරියාකාරව සොයා ගැනීමට නැත. වැඩ වර්ජනයක් කිරීමට කෙනකුට විඤාණයක් තිබිය යුතුය. එබැවින් විඤාණයක් නැති ඉවකට අනුව පමණක් ජීවත්වන තිරිසන් සත්තු වැඩ නොවරති. තිරිසනා ජීවත් වෙන්නේ වෙනම ආණ්ඩුවක් හදාගෙන නොවේ. තිබෙන ආණ්ඩුවක් යටතේය. ගෙවල්වල හෝ කැලෑවල හෝ සත්වෝද්‍යානවල හෝ අභයභූමිවල ජීවත් වීමට තිරිසනුන්ට සිදුව ඇත. උද්ධමනය අඩු කර ජීවන වියදම පහත හෙළන්නැයි කියන්නට තරම් දැනුමක් තිරිසනාට නැත. තිරිසනෙක් වැඩිම වුණොත් කරන්නේ ආහාර තිබිය හැකි මනුෂ්‍ය වාසස්ථානයක් වෙත පැමිණ නොඉවසිල්ලේ හැසිරෙමින් කෑමට යමක් සොයා ගැනීමය.

අලියා මීට වඩා ඉදිරියෙන් සිටී. මේ රටේ ඇතැම් වන ගහනවල සිටින වන අලි, අලි වැට පැන පාරට අවුත් මගීන්ගෙන් ආහාර හිඟා කති. ආහාර හිඟයක් සැරටම දැනුණොත් මේ සතුන් කරන්නේ ගම්මානවලට වැද ගෙවල්වලට රිංගා ආහාර පැහැර ගැනීමය. ඉහත සඳහන් කුඩා කාරණය අප ලිව්වේ වැඩ වර්ජනය නමැති සංකල්පය සමඟ සදාකාලිකවම ඈඳී සිටින එකම සතා මනු සතා බව කීම පිණිසය. සමහරුන්ට වැඩ වර්ජනය යනු රැකියාවකි. උදාහරණයක් වශයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධානියා වන ජෝෂෆ් ස්ටාලින් රස්සාවට කරන්නේ වැඩ වර්ජන සංවිධාන කිරීම, ඒවාට සහභාගි වීම හා තම ශරිර කූඩුවට නොගැළපෙන පරිදි විරෝධතා පාඨ කීම යනාදියය.

වෘත්තීය සමිති කටයුතු සඳහා කැපවීම පිණිස විවිධ වෘත්තීය සමිතිකාරයන් සේවයෙන් නිදහස් කොට පඩි ද වෙනත් දීමනා ද ගෙවමින් උසස්වීම් ද ලබා දෙමින් නඩත්තු කරනු ලැබීමේ සිරිතක් ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තිබේ. මෙවැනි දේවල් අද රටවල් බොහොමයක නැත. වැඩ වර්ජනය කළොත් වර්ජකයාගේ පඩි කැපීම බොහෝ රටවල සාමාන්‍ය සිරිත වේ. ශ්‍රී ලංකාව තුළ එවැනි සිරිත් තිබුණේ වැඩවසම් යුගයේ සහ යටත් විජිතවාදී යුගයේ පමණි. මේ යුග දෙකේදීම බොහෝ අවස්ථාවලදී පාලකයා විසින් වර්ජකයා මරන ලදි. ඒත් ඒ සෙල්ලම් අද නැත. ඔරිජිනල් ජෝෂෆ් ස්ටාලින් ද අද නැත. ඔරිජිනල් ලෙනින් හෝ මාක්ස් ද අද නැත. ඔරිජිනල් ලියොන් ට්‍රොට්ස්කි (Leon Trotsky) හෝ ෆ්‍රෙඩ්රික් එංගල්ස් (Friedrich Engels) ද අද නැත. මේ සියලු දේශපාලන නායකයන්ගේ සහ න්‍යායවාදීන්ගේ ව්‍යාජ ප්‍රතිරූපකයෝ පමණක් අද ඉතිරිව සිටිති. අද ස්ටාලින් කියා රැවටී සිටින්නේ ඇත්ත ස්ටාලින්ට නොවේ. ඔබ මාක්ස් කියා රැවටී සිටින්නේ ඇත්ත මාක්ස් ට නොවේ. ඒ සියලු දෙනා මේ රටින් පිටුවහල් කළ යුතු පල් හොරුය. අපි අද අපේ කතුවැකිය එතැනින් අරඹමු;

ලෝක ඉතිහාසයේ පළමුවන වැඩ වර්ජනවලින් එකක් ක්‍රිස්තු පූර්ව 1159 දී ඊජිප්තුවේ ඇතිවී යයි කියනු ලැබේ. එය ඉතා වැදගත් වැඩ වර්ජනයකි. එයට හේතුව එම වර්ජනය යම් ප්‍රමාණයකට සංවිධානාත්මක වීමත් පාවාදීම්වලින් අඩුවීමත් රාජ්‍යය දේපළවලට කරන භෞතික හානිවලින් ශූන්‍ය වීමත් නිසාය. ඒ කතාව මෙසේය; ක්‍රිස්තු පූර්වයේදී ඊජිප්තුවේ සිටි පාරාවෝ රජවරුන්ට පිරමීඩ තැනීමේ ඔල්මාදයක් තිබිණ. රජා මළ විට ඔහුගේ බිරියන් ද අන්තඃපුර කාන්තාවන් ද හිතවත් සේවකයන් ද රජාගේ අශ්වයන් සහ ඔටුවන් ද එම්බාම් කර රජා සමඟම පිරමීඩය තුළට දමා වැසීම සිරිතක් විය. මෙවිට මිය ගිය රජතුමා පිරමීඩයේ සිටින සහ තිබෙන සියලුම දෙනා සහ දේපල සමඟ දෙව්ලොව යන බව පූජකයන්ගේ අදහස විය.

මේ නිසා පිරමීඩ තැනීමේ පිස්සුව ඉතා දැඩි ලෙස ඊජිප්තු රජවරුන්ගේ ඔළුවට ගසා තිබිණ. 1159 දී පාරාවෝ රජ පරම්පරාවේ තුන්වන රැම්සේස් රජතුමාගේ ඉදිරි මරණ කටයුතු වෙනුවෙන් පිරමීඩයක් සෑදීම සහ අවමංගල්‍යය උත්සවයක් සංවිධානය කිරීම පටන් ගන්නා ලදි. මේවන විට තුන්වන රැම්සේස් මැරෙන්නට තබා මැරෙන්නට හිතලාවත් නැත. පිරමීඩයක් සෑදීමට අඩුම ගණනේ අවුරුදු 15 ක් වත් යයි. 3 වන රැම්සේස්ගේ පිරමීඩ් ඉදිකිරීම් කටයුත්ත ආරම්භ කර තුන් මාසයක් පමණ යනවිට ඊජිප්තු භාණ්ඩාගාරයේ සල්ලි හිඟයක් ඇති විය. ලංකාවේ මෙන් බඩු මිල ඉහළ යාමෙන් රටේ ජනයා මහත් සේ පීඩාවට පත් විය. අන්තිමට පිරමීඩ් හදන කම්කරුවන්ට පඩි ගෙවීමටවත් රජුට සල්ලි නැති විය. පිරමීඩ සාදන විට කම්කරුවන්ගෙන් බලෙන් වැඩ ගත්තා යැයි කතාවක් තිබේ. මෙය පල් බොරුවකි. පිරමීඩය හදන කම්කරුවන්ට පඩි ගෙවීමත් කෑම සැපයීමත් භාණ්ඩාගාරයෙන් සිදු විය. ශ්‍රී ලංකාවේ රජවරුන් වැව් තැනීමේදීත්, දාගැබ් සැදීමේදීත් කම්කරුවන්ට වැටුප් හා ආහාර සැපයීම මේ ආකාරයෙන්ම සිදු කරන ලදි. කෙසේහෝ වේවා පිරමීඩ් හදන කට්ටියට මාස ගණනාවක්ම පඩි ගෙවීමට රජුට බැරි විය. අන්තිමේදී ඒ මිනිසුන්ට කන්නත් නැති විය. අන්තිමේදී ඔවුහු තම පවුල් නඩත්තු කිරීම සඳහාත් ආහාර මිලදී ගැනීම සඳහාත් වැටුප් ලැබෙන තුරු වැඩ නැවැත්වූහ.

මෙකල ජෝෂෆ් ස්ටාලින් වැනි උසස් ක්‍රියාධරයන් නොවූ බැවින් වර්ජකයන් වෙනුවෙන් ඉදිරියට යාමට හෝ මහජන දේපළ ගිනි තැබීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැත. අන්තිමේදී ඊජිප්තු ආණ්ඩුව පිරමීඩ හැදිල්ල තාවකාලිකව අත්හිටුවා තම තමන් ජීවත්වන ක්‍රමයක් ගැන කල්පනා කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ වැඩ වර්ජක පිරමීඩ සේවකයන් මහ පාරට බැස හිඟා කෑමය. සමහරු බඩගින්නේ මිය ගියහ. එකල වැඩ වර්ජන කළා යැයි කියා වර්ජකයන්ට පඩි ගෙවීම හෝ වර්ජකයන් නැවත සේවයේ පිහිටුවීම නොකරන ලදී. 1159 පිරමීඩ වැඩ වර්ජනයට සහභාගී වුණේ නම් ජෝෂෆ් ස්ටාලින්ට සිදු වන්නේ ස්ථිර වශයෙන්ම කන්න නැතුව රජතුමාට පෙර දෙව්ලොව යෑමටය. මේ ගැන මෙතැනින් එහාට නොකියමු. අපි කතාවේ ඉතිරි ටික සාකච්ඡා කරමු.

වැඩ වර්ජන පිළිබඳ අලුතෙන් හිතන දෙදෙනෙක් මේ මොහොතේදී අප ඉදිරිපිට සිටී. ඉන් පළමුවැන්නා ජනතා විමුක්ති පෙරමුණේ කේ. ඩී. ලාල් කාන්තය. අනෙකා රෝහණ විජේවීරගේ බාල පුතා වූ උවිඳු විජේවීරය. මේ දිනවල වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මුවාවෙන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රධානියා වූ හරිත අලුත්ගේ සහ ආණ්ඩුවේ ගුරු සංගම් ප්‍රධානියා වූ ජෝශෆ් ස්ටාලින් නටන නාඩගම ලාල් කාන්තට සහ උවිඳුට ඉතාම හොඳින් වැටහී තිබේ. මේ වෙලාවේදී සංකේත වැඩ වර්ජනවලට මිස දිගුකාලීන වැඩ වර්ජනවලට යාමේ තේරුමක් නැති බව ලාල් කාන්ත සහ උවිඳු යන දෙදෙනාම තේරුම් ගෙන ඇත. ලාල් කාන්ත කියන්නේ ජනතාවට දිගින් දිගටම පීඩා කරන වැඩ වර්ජන සඳහා රට යොමු නොකළ යුතු බවය. රාජ්‍ය සේවකයා වැඩ වර්ජනය කළ විට රටේ නිෂ්පාදනය සහ සේවා සැපයීම එක තැන නවතී. එවිට ජනතාව කරන්නේ සංවිධානය වී වර්ජකයන්ට පහරදී වර්ජකයන්ගේ දත් ඇඳි මාරුකර නැවත සවි කිරීම, අත පය හතර කැඩීම වැනි ඉතා දරුණු දේවල්ය. හැබැයි මේ කිසිම අවස්ථාවකදී වර්ජනයට නායකත්වය දෙන ලොක්කන් සීන් එකේ ඉන්නේ නැත. වර්ජකයන්ට පහර දීම සඳහා ගාල්ලෙන් කුරුඳු පොලු ලොරියක් කොළඹට ඒමට පිටත් වූයේ යැයි ආරංචිය ලද සැණින් වර්ජනයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෝ under ground යති. මෙවිට ඉතිරි වන්නෝ ඊළඟ පේළිවල සිටින වර්ජකයෝය. මෙය වෘත්තීය සමිති ව්‍යාපාරයට ලොකු අවාසියකි. පසුගිය ටිකේම පැවති සියලු වැඩ වර්ජන පැය 24 ට වඩා කල් ඇද්දේ නැත.

උවිඳු විජේවීරගේ අර්ථ නිරූපණය මීට වඩා වෙනස්ය. 1980 ජූලි වර්ජනය වන විට උවිඳු ඉපදිලාවත් නැත. එහෙත් දීර්ඝකාලීන වර්ජන සහ උද්ඝෝෂණ ව්‍යාපාරවල චූන් එක ඔහුට මනාව වැටහී තිබේ. ඔහු කියන්නේ මෙවැනි වැඩ වර්ජන සහ උද්ඝෝෂණ නිසා 1988 / 89 යන අවුරුදුවල භීෂණ යුගයේ තිබූ සියලු විපත් පුනරුච්චාරණය විය හැකි බවය. එබඳු භීෂණයක් යළි පටන් ගැනීම ද මේ වනවිට ඉතා සුළු කාරණයක්ව තිබේ. 80 ජූලි වර්ජනයේදී ජේ.ආර්. ජයවර්ධන වර්ජකයන්ට කිසිම ලබු ගෙඩියක් දුන්නේ නැත. වර්ජනය සම්බන්ධයෙන් අවසන් දිනයක් දුන් ඔහු එදා වැඩට නොපැමිණි සියලුම දෙනා අස්කර දමන ලදි. මෙය ඉතා දරුණු වැඩක් සේ පෙනෙයි. එහෙත් වැඩ වර්ජනයක් අස්සේ රටක් ඉදිරියට ගෙන යාමට බැරි නිසා ජේ. ආර්.ට එදා කරන්නට දෙයක් තිබුණේ ද නැත. 1988/ 89 භීෂණයද වැඩ වර්ජන උද්ඝෝෂණ නිසා බලවත් සේ විපතට පත්ව තිබූ යුගයකි. මේ භීෂණකාරී යුගය භීශනයෙන්ම විසඳීමට එකල තිබූ රජයේ හමුදාවලටත්, ප්‍රා සංවිධානය වැනි අර්ධ හමුදාවලටත් හැකි විය. එහෙත් ප්‍රශ්නය විසඳුණු පසු එහි ශේෂ පත්‍රය දෙස බැලූ පසු පෙනී ගියේ 1988/ 89 අවුරුදු වලදී මේ රටේ ජනතාවගෙන් 60,000 ට කිට්ටු පිරිසක් ඝාතනය කරනු ලැබ ඇති බවය. රට තුළ දේශපාලන සහ සමාජ අස්ථාවරයක් පවතින විට මිනීමැරීම ඉතා පහසුය. ඕනෑම කණ්ඩායමකට පුද්ගලික පළිගැනීම් සඳහා මිනීමැරීමට පුළුවන. එම මිනීවල වගකීම හමුදාවට පැවරීමට ද පුළුවන. එබැවින් පරණ තාලයේ වර්ජන හෝ උද්ඝෝෂණ මේ රටට කිසි ලෙසකින්වත් සුදුසු වන්නේ නැත.

ආණ්ඩුව ඕනෑවට වඩා නැටුවොත් සියලුම ජල විදුලි බලාගාර අක්‍රිය කර ජනතාවට විදුලිය නොදෙන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයෙක් මීට දින දෙක තුනකට පෙර කියා තිබුණි. එය මාධ්‍යවල ද පළ විය. තමන්ට වැඩ වර්ජන කිරීමට සිදුව ඇත්තේ කිසිදු දෘෂ්ටිවාදයක් නැති ඉහත සඳහන් ආකාරයේ සමඟ බව එවැනි වැඩ වර්ජනවලට සහභාගී වන සියලු දෙනා මතක තබාගත යුතුය.

Comments