සැමියාගේ කේන්දරෙන් හෙළි වන බිරියගේ ගති ගුණ | සිළුමිණ

සැමියාගේ කේන්දරෙන් හෙළි වන බිරියගේ ගති ගුණ

රවි සිකුරු  ග්‍රහයන් එකට සිටී නම් සහකාරිය සුළු වැරදිවලට සමාව දෙනවා

රවි කුජ සිකුරු යෝගයක් ඇත්නම් බිරිය රැජිනකට සමානයි

රවි සිකුරු ශනි එකට හිටියොත් ලැබෙන සහකාරියට හොඳ පවුල් පසුබිමක්

කුජ සිකුරු සංයෝගනම් බිරිය ආඩම්බරයි

ප්‍රවීණ ‍ෙජ්‍යාතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

 

අද අප කතාබහ කිරීමට බලාපොරොත්තු වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලැබීමට වඩාත් උචිත කුමන ආකාරයේ බිරියක් ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමටය. එය විවාහ වන වයසේ පසුවන පුරුෂයන්ට සහ විවාහය ප්‍රමාද වී ඇති පුරුෂයන්ට තම විවාහ සහකාරිය තෝරා ගැනීම සඳහා කිසියම් අත්වැලක් වේ යැයි සිතමි.

උත්පත්ති කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක (කොටුවක) රවි සහ සිකුරු යන ග්‍රහයන් එක්ව ඇත්නම් තවත් රවි, සිකුරු සංයෝගයක් ඇත්නම් ඔහුට ලැබෙන සහකාරියට සුළු වැරදි නොසලකා හැරීමේ ගුණාංගය ඇත.

ඇය ගෞරවනීය තැනැත්තියක් වන අතර මුදල් එකතු කිරීමේ ආසාව ඇත. ඇය හොඳ පවුලක උත්පත්තිය ලැබූ තැනැත්තියකි. එමෙන්ම පුරුෂ කේන්ද්‍ර සටහනේ කුමන හෝ කොටුවක කුජ, සිකුරු සංයෝගයක් ඇතිනම් ඔහුට ලැබෙන සහකාරිය ස්වභාවයෙන් සරල සහ අවංක අයෙකි.

එමෙන්ම කිසිවෙකු ඉදිරියේ තම හිස නොනමන අයෙකි. සමහර අවස්ථාවලදී සහකරුවා සමඟ රණ්ඩු දබර ඇති කර ගනියි. තවද ඇය ස්වභාවයෙන් ආඩම්බර අයෙකු වන අතර හෘදය ප්‍රදේශය ආශ්‍රිත සෞඛ්‍යමය ගැටලුවලට ඉඩ ඇත. එමෙන්ම ඇය චාටු බස් දෙඩීමට දක්ෂ අයෙකි.

මීට අමතර ලෙස කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක බුධ සහ සිකුරු යන ග්‍රහයන් කුමන හෝ භාවයක ඇත්නම් ඔහුට ලැබෙන සහකාරිය බුද්ධිමත් අයෙකු වන අතර දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාව ඇත. තවද ඇය සමාජශීලි අයෙකු වන අතර ජීවිතයේ ඉතා අසීරු අවස්ථා පවා හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාව ඇති තැනැත්තියක වනු ඇත. මෙයට අමතරව ඇය දෝෂාරෝපණ හේතුවෙන් වේදනාවට පත්වන අයෙකු වන අතර සැමට සමානව සලකන්නියක් වනු ඇත. ඇය ජීවිතයේ පසු සමයේදී සමෙහි රෝග නිසා පීඩාවට පත් වීමට ඉඩ ඇති අතර ඇයගේ සහකරුවාට හෙවත් පුරුෂ කේන්ද්‍ර හිමියාට වනහරිත මානසිකත්වයක් ඇත.

යම් පුරුෂ කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක ගුරු, සිකුරු යන ග්‍රහයන් තැන්පත්ව ඇත්නම් ඔහුට ලැබෙන සහකාරිය ආචාරශීලි අයෙකු වනු ඇත. තවද ඇයට ගෞරවනීය තත්ත්වයකට උරුමකම් ඇත. ඇය ඔහුගේ නිවසට මෙන්ම ඇයගේ නිවසට ද ගෞරවය ගෙන දෙනු ඇත. එමෙන්ම ඇයට තරබාරු බව නිසා ඇති වන සෞඛ්‍යය ගැටලු පිළිබඳව විමසිලිමත් වීමට සිදු වෙයි.

එමෙන්ම කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක සිකුරු සහ ශනි යන ග්‍රහයන් එකම රාශියක් තුළ තැන්පත්ව ඇත්නම් හෙවත් සිකුරු, ශනි සංයෝගයක් ඇත්නම් විවාහ සහකාරියට හොඳ ආදායම් මාර්ග ඇත. නොඑසේ නම් ඇය හොඳ රැකියාවක් කරන්නියකි. නමුත් සමහර විට ඇයට උදාසීන ගති ලක්ෂණ ඇති වන්නට ඉඩ ඇත. මීට අමතර ලෙස කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක සිකුරු සහ කේතු යන ග්‍රහයන් එක්ව ඇතිනම් ඔහුට ලැබෙන සහකාරිය මෝක්ෂ මාර්ගය කෙරෙහි යම් යොමු වීමක් ඇත. කෙසේ වෙතත් ඇය මුදල් එකතු කිරීමට ද කැමැත්තක් දක්වයි. ඇයට සිතැඟි පහළ වන අවස්ථාවලදී ඇය ත්‍යාගශීලි වුවද එසේ නොවන අවස්ථාවලදී ඇය ත්‍යාගශීලි නොවේ.

යම් උප්පත්ති කේන්ද්‍ර සටහනක රවි, කුජ, සිකුරු යෝගයක් ඇත්නම් ඔහුට ලැබෙන බිරියට රැජිනකට හා සමාන වාසනා ගුණයක් ඇත. එසේම ඇය ස්වභාවයෙන්ම ආඩම්බරය. එසේම ඔහුට ලැබෙන සහකාරිය, ඇය පිළිබඳව අන් අයගේ නොසලකා හැරීම් කිසිසේත්ම බලාපොරොත්තු නොවේ.

එසේම ඇය තමා කියන දේ නිවැරදිය යන මතය දරන මුරණ්ඩු චරිතයක් වනු ඇත. යම් පුද්ගලයෙකුගේ උප්පත්ති කේන්ද්‍ර සටහනක කුමන හෝ භාවයක රවි, බුධ සහ සිකුරු යන ග්‍රහයන් එක්ව ඇත්නම් එම පුද්ගලයාට ලැබෙන සහකාරිය ස්වභාවයෙන්ම යහපත් අයෙකු වනු ඇත.

බුද්ධිමත් අයෙකු වනු ඇත. මීට අමතර ලෙස ඇය නිසා ඇයගේ පවුලට මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාගේ පවුලට ද ගෞරවයක් ලැබෙනු ඇත.

යම් උප්පත්ති කේන්ද්‍ර සටහනක රවි, සිකුරු, ගුරු යන ග්‍රහයන් කුමන හෝ භාවයක එකට ඇත්නම් ඔහුට ලැබෙන සහකාරියට ගෞරවනීය සමාජ පසුබිමක් ඇති පවුලකින් විවාහ වීමට වාසනා ගුණය ලැබිය හැකි වනු ඇත. එමෙන්ම ඇය දක්ෂතා ඇති අයෙකු වනු ඇත. අන් අයගේ ආරවුල් විසඳා ඒවාට විසඳුමක් ලබා දීමේ නිපුණත්වයක් ඇයට ඇත. මීට අමතර ලෙස ඔහුට ලැබෙන සහකාරිය ධෛර්යවන්ත අයෙකි. තවද ඇය සමාජ ක්‍රියාකාරකම් සහිත සමාජශීලි චරිතයකි. ඇයගේ දරුවන්ට ද හොඳ අනාගතයක් උරුම වනු ඇත.

යම් උප්පත්ති කේන්ද්‍ර සටහනක රවි, සිකුරු, ශනි යන ග්‍රහයන් කුමන හෝ භාවයක සංයෝගව ඇත්නම් ඔහුට ලැබෙන සහකාරියට හොඳ පවුල් පසුබිමක් තිබෙනු ඇත.

නමුත් ඇය ඉපදුන කාලය තුළ ඇගේ පියාට විවිධ පුද්ගලයන් නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන්නට ද ඇත. යම් උප්පත්ති කේන්ද්‍ර සටහනක රවි, සිකුරු, කේතු යන ග්‍රහයන් සංයෝගව ඇත්නම් ඔහුට ලැබෙන සහකාරිය සාමාන්‍ය වාසනා ගුණයක් ඇති තැනැත්තියක වන අතර සාමාන්‍ය ප්‍රමාණයේ ධනයකට ද උරුමකම් කියනු ඇත.

තවද ඇයගේ වයස අවුරුදු 3ක් හෝ හතර වන සමයේදී වද්දී ඇයගේ පියාට දේපළ නඩු යෙදෙන්නටද ඇත. එමෙන්ම ඇයගේ දෛවය සහ වාසනාව සාමාන්‍ය අගයක පවතිනු ඇත.

මෙලෙස සඳහන් කරන ලද්දේ පුරුෂ කේන්ද්‍ර සටහන අනුව ලැබෙන බිරිය පිළිබඳව කියවෙන ග්‍රහ පිහිටීම්වලින් කිහිපයක් පමණි.

Comments