විවාහ දෝෂවලට පිළියම් ලැබෙන අතිප්‍රබල දස දිසා පිරිත | සිළුමිණ

විවාහ දෝෂවලට පිළියම් ලැබෙන අතිප්‍රබල දස දිසා පිරිත

විවාහ වන අයට හදවතින්ම සුබ පතන්න

දස දිසා පිරිතෙන් 1907 වතාවක් සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙලින් ජපකර යන්ත්‍රයක් පලඳින්න

ගව සූකර මස් මාංස සහ මත්පැන්වලින් වැළකී  තෙරුවන් නමැද පිරිත කියන්න

ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

පූර්ව ආත්මයන්වල අප විසින් සිදු කරන ලද අකුසල කර්මයන් යටපත් කර අහෝසි කිරීමේ අතිමහත් වූ මහඟු ශක්තියක් අප පිරිත් පොතේ එන සෙත් පිරිත් තුළ ගැබ්ව ඇත. කුජ දෝෂ, ශනි මංගල දෝෂ, ඇතුළු සියලු විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමේ ශක්තියක් අතිප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත තුළ පවති.

පහත සඳහන් ආකාරයට ඔබත් මෙම අතිප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත භාවිත කර සහනය සලසා ගන්න.

ගව, සූකර ඇතුළු සියලු මස් මාංස කෑමෙන් සහ මත්පැන්, දුම්වැටි පානයෙන් මිදී පස්පවින් වැළකී ධාර්මික දිවි පෙවෙතක් ගත කරමින් පංචශීල ප්‍රතිපදාවේ පිහිටා සිට තමා පදිංචි ස්ථානයේ දිනපතා උදේ හෝ සවස වෙන් කරගත් වේලාවක් තුළ බුදුරජාණන් වහන්සේට මල්, පහන් සුවඳ දුම් සහ ගිලන්පස තබා තෙරුවන් නමදින්න. ඉන් අනතුරුව මේ සමඟ ඇති අති ප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විට කියන්න.

අසුබ දෝෂ ඇතිව විවාහය නිසි කලට සිදු නොවූ හා විවාහ වූ අය අතර ඇති විවාහ බාධා හා අසුබ සම්බන්ධතා ඇතිව දැනටමත් විවාහ වී සිටීනම් හෝ ප්‍රේම සම්බන්ධතාවක් පවතීනම් එම අය සඳහා නිසියාකාරව පහත සඳහන් අතිප්‍රබල නිවැරැදි ප්‍රතිඵල සහිත චූල ජිනපඤ්ජර පිරිතෙන් 1907 (යන්ත්‍රය) වතාවක් සුදු හඳුන් තෙල් හෝ රන් තැඹිලි තෙලින් ජප කර පැලඳිය යුතුය. එම ක්‍රමය අනුගමනය කිරීම තුළින් 95% පමණ ආරක්‍ෂාව සහ විවාහ ප්‍රශ්න සඳහා නිසි සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මෙය අප අත්දුටු ප්‍රතිකර්මයකි.

පහත සඳහන් දේවල් ද අනුගමනය කිරීම විවාහ දෝෂවලට සුබ දායක වනු ඇතැයි මේ සමඟ දන්වමි.

හැකි සෑම විටෙකම තමා කන බත් පතෙන් මිටක් ඉගිලි යන සතෙකුට කෑමට දෙන්න.

සිල්වත් භික්ෂූ, භික්ෂූණීන්ට, අසරණ පුද්ගලයන්ට දානමාන දීම, සිවුරු, අට පිරිකර හා කහ කුඩ පූජා කිරීම ඉතාම ගුණදායක වනු ඇත.

ගලා යන ජලයේ ජීවත්වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

කුරුල්ලන් ජොඩු වශයෙන් නිදහස් කරන්න.

නෑදෑ හිතවතුන්ගේ හා යාළු මිත්‍රාදීන්ගේ මංගල උත්සව සඳහා ශ්‍රමයෙන් ධනයෙන් තමන්ට හැකි පමණ උදවු උපකාර කරන්න.

විවාහ වන්නන්ට ඉත සිතින් සුබ පතා උදවු උපකාර කරන්න. විවාහක අයට උදවු උපකාර කරන්න.

වෙහෙර විහාර තැනීමේදී ශ්‍රමයෙන් සහ මුදලින් උපකාර කරන්න.

කුඩා දරුවන්ට රසකැවිලි, ආහාර, ඇඳුම් පැලඳුම්, පොත්පත් අවස්ථානුකූලව ලබා දීමෙන් උදවු උපකාර කරන්න.

මරන්නට නියමිත ගවයන් සහ අනෙකුත් සතුන් නිදහස් කිරීමට උදවු උපකාර කරන්න. හිංසාවෙන් වැළකී හැකි සෑම විටම සියලුම සතුන්ට කෑම බීම ලබා දෙන්න.

ග්‍රහ ශාන්ති කර්මවල නිරත වන දිනවලදී හා අදාළ අපල කාරක ග්‍රහයාගේ අදාළ දිනවල නිර්මාංස ආහාර ගැනීම ඉතාම සුබදායක වනු ඇත.

නැඟෙනහිරට සහ දකුණට හිස දමා නිදා ගැනීම සුබදායකයි. (වයඹ ඊශාන නිරිත සාමාන්‍ය සුබ වෙයි)

ඔබත් ඉහත සඳහන් අතිප්‍රබල දස දිසා පිරිත හෙවත් චූල ජිනපඤ්ජර පිරිත නිසි ලෙස භාවිත කොට යහපත් ප්‍රතිඵල ඇති කර ගන්න.

Comments