පොල් ගැසීමේ හොඳ නරක මෙන්න! | සිළුමිණ

පොල් ගැසීමේ හොඳ නරක මෙන්න!

පොල් ගෙඩිය බිඳී යන ආකාරය අනුවඔබට ලැබෙන  පල-විපාක දැනගන්න

 ෙජ්‍යාතිර්වේදී ජෙරම් නෙහාර්

 

යම් කාරණාවක් මුල් කරගෙන දෙවියන් උදෙසා පොල් ගැසීමක්‌ සිදු කිරීමෙන් අනතුරුව, පොල් ගෙඩිය බිඳී යන ආකාරයෙන් අපට ලැබෙන සුබ අසුබ ප්‍රතිඵලය ගැන යම් හෝඩුවාවක් ලබා ගැනීම සඳහා පොල් ගෙඩිය බිඳී යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් දැනගත හැකිය. සමහරක්‌ ඇත්තන් මෙයට "පොල් ශාස්ත්‍රය" යනුවෙන්ද කියනු ලබයි. කෙසේ නමුත් පුරාණයේ සිටම භාවිත කරන ලද මෙම ක්‍රමය මඟින් බොහෝ දුරට අප විසින් පොල් ගසා ප්‍රාර්ථනා කරනු ලැබූ කාරණය කෙසේ ඉටුවේද යන්න පිළිබඳව දැනුවත් භාවයක්‌ ලබා ගැනීම සඳහා සාර්ථක අත්දුටු ක්‍රමයකි.

අංක 01

රූපයේ දැක්‌වෙන්නේ සාමාන්‍යයෙන් පොල් ගැසීමකදී පොල් ගෙඩියක් බිඳී යාමට හැකි අවස්ථාවන් 07ක්‌ පිළිබඳවයි. මේ අවස්ථාවන් උදෙසා වෙන් වෙන් වශයෙන් පලාපල පෙන්වා දැක්විය හැකිය. ඊට අමතරව අංක 01 රූප සටහනේ පෙන්වා දැක්විය නොහැකි ආකාරයේ බිඳී යාම් සහිත අවස්ථාවන් ද ඇත.

 

අංක 02 : (ඉතා ශුභයි)

රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් ඔබ ගැසූ පොල් ගෙඩිය හරි මැදින් දෙකට බිඳී ගියේ නම් ඔබ විසින් කළ ප්‍රාර්ථනාවට සාර්ථක ඉක්මන් ප්‍රතිඵල ලැබේ. මෙසේ පොල් බිඳී යාම මඟින් ඔබ යහපත් කාරණාවකට පොල් ගැසුවත්, පලි පොල් ගැසීමක්‌ ලෙස සිදු කළත් දෙකටම පොදුවේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනා බවක්‌ පෙන්නුම් කරයි.

එමෙන්ම ඔබ විසින් ගැසූ පොල් ගෙඩිය පෙර කී ආකාරයෙන් බිඳී ගියේ නම්, එම පොල් බිඳීම සිදු කරන ලද තැනැත්තාට ග්‍රහ දෝෂ අනවින කොඩිවින කිසිවක් නොමැත. ඔහුගේ නිවසේ සාමය සමාදානය සතුට පවතී. නිවසින් අමනාප වී ගිය අය ආපසු එයි. දෙවියන්ගේ ආශිර්වාදය හිමි වේ. අඬෝවැඩියා කිසිවක් නැත. බිය නොවන්න ඔබට ජයම අත්වේ.

 

අංක 03 : (මිශ්‍ර පල)

අංක 03න් දැක්වෙන ආකාරයට පොල් ගෙඩිය හරස් අතට දෙකට බිඳී ගියේ නම් ඔබ විසින් පොල් ගසන ලද කාරණය සාර්ථකව සිදු වේ. වින කැපීමක් සඳහා හෝ සතුරු කරදර මර්දනය පිණිස ගැසුවා නම් එම කාරණාවන් සාර්ථක වේ. සෙතකට ශාන්තියකට ගැසුවේ නම් මේ ආකාරයෙන් පොල් බිඳී යාම අසාර්ථක බව පෙන්නුම් කරයි. ඔබේ උත්සාහය ව්‍යාර්ථ වේ.

තමන් විසින් ගැසූ පොල් ගෙඩියක් මේ ආකාරයෙන් බිඳී යන පුද්ගලයන්ට ඉදිරියට කරදර සහිත කාලයක් උදාවේ. ජීවිතයේ හරයක් නොමැති බවක් හැඟෙනු ඇත. දේවාශීර්වාදයන් නොලැබේ, අභිවෘද්ධිය නොලැබේ, සතුරු උවදුරුවලට ලක්වේ. කෙටියෙන් කිවහොත් හොඳකට ගැසුවා නම් නරකයි. නරකකට ගැසුවා නම් හොඳයි.

 

අංක 04 / 05 : (ඉතා ශුභයි)

අංක තුන රේඛාවෙන් පෙන්වන ආකාරයෙන් ඔබ ගැසූ පොල් ගෙඩිය හරහට බිඳී ගියේ නම් එය ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනා බව පෙන්නුම් කරයි. සමස්තයක් ලෙස කිවහොත් නඩුහබ ජය ගනී, සතුරන් මිතුරන් වේ, නම්බු නාම ලැබේ. නරකට ගැසුවා නම් සතුරන්ට දඬුවම් ලැබේ, නැතිනම් සතුරන් මිතුරන් වේ. පොදුවේ ඉතා යහපත් බිඳී යාමකි.

 

අංක 06 : (යහපත් නොවේ)

මේ ආකාරයෙන් පොල් බිඳී යාමක් සිදු වුවහොත් එය යහපත් නොවේ. ඔබ ප්‍රර්ථනා කළ කාරණාවන් ඉටු නොවේ. කළා වූ

ශාන්ති කර්මයන්ගෙන් ලැබෙනා ප්‍රතිඵල සම්පූර්ණ නැත. නරකකට ගැසුවේනම් කළ දේ විපාක අත්විඳීමට සිදු වේ. නවග්‍රහ මණ්ඩලයේ ග්‍රහචාරයන්ගෙන් නරක බලපෑමක්‌ ඇති බව පෙන්නුම් කරයි. හැකි ඉක්මනින් නවග්‍රහ ශාන්තිකර්මයක් සිදු කර ගැනිමට සිදු වේ.

 

අංක 07 : (ශුභයි)

ශාන්තියක් සැපතක් බලාපොරොත්තුවෙන් පොල් ගැහුවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඉටු වේ. නමුත් එය දෙවියන්ගේ ආශීර්වාදයකින් පමණක්ම නොව, තමන්ගේද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වේ. නරකට ගැසුවේ නම් ප්‍රතිඵල ශුභ නොවේ. ඔබ නිවෙසේ එකිනෙකා ඇනකොටා ගැනීමට පෙලඹෙනු ඇත. විවාහයක් ප්‍රාර්ථනා කරමින් තරුණියක විසින් මෙම පොල් ගෙඩිය ගැසුවේ නම් ඇයට ඉතා යහපත් ස්වාමියෙකු ලැබීමට භාග්‍යයත් උදා වේ. එසේම දකුණුපස ලැමේ උපන් ලපයක් ඇති තරුණියක විසින් එම පොල් ගෙඩිය බින්දේ නම් ඇයට රාජ කුමාරයෙකු මෙන් ස්වාමියකු ලැබේ.

කෙසේ කොහොම නමුත්, පොල් ගැසීමේ පූජා කර්මය ඉතා බලවත් හා අත්දුටු ශාස්ත්‍රයකි. දෙවියන්ට ඍජුවම තමන්ගේ දුක්ගැනවිලි කියා පිහිට පැතීමට පහසුම සහ හොදම ක්‍රමයකි. මෙය නරකට නොව ඔබේ යහපතට, සෙත ශාන්තිය පිණිසම භාවිත කරන්නේ නම් ඔබට කිසිදා වරදක් නොවනු ඇත. සතුරු කරදර වෙනුවෙන් වුවත් පළි පොල් ගැසීම් සිදු නොකළ යුතුය. මන්ද ඒවායේ පල විපාක වශයෙන් අපටද යම් කලක දී විඳවීම්වලට ලක්‌වීමට සිදු වනු ඇත. ඒ වෙනුවට සතුරු කරදර ඇති ඔබ පළි පොල් ගසනවා වෙනුවට සතුරන්ගෙන් ඔබට සිදුවිය හැකි විපත්වලින් ආරක්ෂා කොට පිහිට ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පොල් ගැසීමක්‌ සිදු කළ හැකිය. එයින් ඔබට සිදුවන පාපයක්ද නැත. සතුරන් විසින් කරන කිසිදු දෙයකින් ඔබට බලපෑමක්‌ද නොවනු ඇත.

ඔබ සැමට ශ්‍රී මහා දුර්ගා අම්මා මෑණියන්ගේ පිහිටයි .

Comments