
ෙජ්‍යාතිෂයේ ආනුෂංගික ශාස්ත්‍රයක් වන ශබ්ද ශාස්ත්‍රය පුළුල් ව විහිදී ඇත්තකි. නාමකරණය එයට අයත් එක් අංගයකි. නාමකරණයේ දී යොදා ගැනෙන සිද්ධාන්ත විවිධ වේ. එහෙත් ඒ හැම සිද්ධාන්තයක් ම නාමකරණයේ දී එක සේ යොදා ගැනීම ප්‍රායෝගික වශයෙන් එතරම් පහසු නො වේ.
ඇතැම් නාමකරණ සිද්ධාන්ත හෙවත් විධි ක්‍රම භාවිත කිරීමේ දී නමක තිබිය යුතු ප්‍රධාන ගුණාංග වන අර්ථවත් භාවය, මධුර භාවය, උච්චාරණ සුඛය, පැහැදිලි බව ආදියට බාධා පැමිණෙන බව දැකිය හැකි යි. මෙය අංශ කිහිපයක් ඔස්සේ විමසා බැලිය හැකි ය.
අක්ෂර තෝරා ගැනීමේ දී ඇති වන ගැටලු
නමක් සඳහා අකුරු තෝරා ගැනීමේ දී නැකැත් පාද හිමි අක්ෂර චක්‍රය, දින හිමි අක්ෂර චක්‍රය, ලග්න හිමි අක්ෂර චක්‍රය, ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන බව කලින් පැහැදිලි කරන ලදි. මෙයින් නැකැත් පාද හිමි අක්ෂර චක්‍රය ගතහොත් එහි ඇතැම් නැකැත් පාදවලට හිමි අක්ෂර නාමයක මුලට යෙදීමේ දී ප්‍රායෝගික වශයෙන් ගැටලු මතු වන බව පෙන්වා දිය හැකි ය. මේ කරුණ වඩාත් පැහැදිලි වීම පිණිස උදාහරණ දක්වමු.
‘උත්‍රරුපුටුප’ නැකැතේ නැකැත් පාද හතරට ම දී ඇත්තේ ‘දු’ යන එක ම අකුර යි. ‘දු’ යනු සිංහලයේ දුෂ්(නරක, අයහපත්) යන අර්ථය සඳහා යොදන උපසර්ගයක් සේ ගැනේ. ඒ අනුව දුදන, දුසිරිත්, දුබල වැනි වදන්වලින් ලැබෙන්නේ අයහපත් අරුතකි. නිදසුන් ලෙස, දුසිත - නරක සිත
එ හෙයින් ‘දු’ මුලට යොදා නමක් තැබීම තරමක් දුෂ්කර වේ. එ විට ‘දුල්’ (බැබැළෙන) වැනි වදනක් එක් කොට නමක් තබන්නට බස ගැන දැනුමක් ඇති අය පෙලැඹෙති. එයින් යහපත් අරුතක් ලැබිය හැකි නමුදු එක ම අරුතකට සීමා වීමක් එහි ලා දැකිය හැකි ය. නිර්මාණාත්මක වශයෙන් අගය කළ හැකි නමක් තැබීමට එය බාධාවකි.
‘අද’ නැකැත සඳහා දී ඇති ‘කු’ යනු ද මෙ බඳු වේ. සිංහලයේ ‘කු’ යනු කුදිටු, කුකවි, කුමත වැනි තන්හි නරක, අයහපත් යන අරුතින් යෙදේ. එ හෙයින් ‘කු’ අකුර මුල් කොට නම් සෑදීමේ දී කුල, කුසල වැනි පද කිහිපයකට පමණක් සීමා වන්නට බොහෝ විට සිදු වීම නිර්මාණාත්මක නාමයක් තැනීමට බාධාවක් වේ.
‘දෙට’ නැකැතේ පළමු පාදයට දී ඇති ‘නො’ යනු ද මෙ බඳු ය. එය සිංහලයේ නැති අරුත (නඥර්ථය) දීම සඳහා යෙදෙන්නකි. එය මුලට යොදා නොවිරු - විරු බව නැති, නොයස - යසස නැති වැනි නම් සෑදීමෙන් ලැබෙන්නේ යහපත් අරුතක් නොවේ.
තවත් ගැටලුවක් වනුයේ ඇතැම් නැකැත් පාදවලට යෙදෙන අක්ෂරවලින් ඇරැඹෙන වදන් සිංහලයෙහි ඉතා ම හිඟ වීම යි. නිදසුනක් ලෙස ‘අස්ලිස’ නැකැතට යෙදෙන ඩි, ඩු, ඩෙ, ඩො යන අකුරු ගත හැකි යි. මේ අකුරු මුලට යෙදෙන යහපත් අරුත් ඇති වදන් දක්නට නොලැබෙන තරම් ය. එ හෙයින් ඒ අකුරු මුලට යොදා නමක් සෑදීම ඉතා දුෂ්කර ය.
දිනයට ලග්නයට අනුව අකුරු තෝරාගැනීමේ දී ද මෙබඳු ගැටලු ඇති වේ. උදාහරණයක් ලෙස ට, ඨ, ඩ, ඪ, ණ යන අකුරු බදාදා දිනය සඳහා යෙදෙන අකුරු යි. එහෙත් මේ අකුරුවලින් ඇරැඹෙන මිහිරි, අරුත්බර, පැහැදිලි ව ශබ්ද කළ හැකි වදන් සිංහලයේ ඉතාම දුර්ලභ ය.
මේ කරුණු අනුව, හොඳ නමක් තැබීමේ දී බොහෝ විට ජන්ම අකුරු (එ නම් උපන් නැකැත් පාදයට ම යෙදෙන අකුරු) පමණක් තෝරා ගැනීම ප්‍රඥාගෝචර නොවන බව ද සම්පත්, ක්ෂේම, සාධක, මිත්‍ර, පරම මිත්‍ර ආදි අකුරු ද මනා ව සලකා බලා අරුතට මුල් තැන දී, පහසුවෙන් කියැවිය හැකි මිහිරි නමක් තැබීම වඩාත් සුදුසු බව ද කිව යුතු ය.
සමන්ති අහුබුදු