දෛවය ධන සම්පත් දියුණුව බාධක ගැන කියන දෛව රේඛාව | Page 3 | සිළුමිණ

දෛවය ධන සම්පත් දියුණුව බාධක ගැන කියන දෛව රේඛාව

බුධ මණ්ඩලයට ගියොත් ව්‍යාපාර අතින් ප්‍රසිද්ධ වේ 

දෛව රේඛාව මැණික් කටුවෙන් ආරම්භ වී සෘජු රේඛාවක් වශයෙන් ශනි මණ්ඩලයට විහිදුණහොත් සුබ පිහිටීමක්

ගු රු මණ්ඩලය දෙසට විහිදුණොත් ගරු නම්බු ඕනෑමයි

 ෙජ්‍යාතිර්වේදී හිඹුටානේ පියතිලකද අල්විස්

 

බොහෝ විට අල්ල ආරම්භ වන මැණික් කටුව ප්‍රදේශයෙන් පටන් ගන්නා 'ශනි රේඛාව' හෙවත් දෛව රේඛාව අල්ලේ මැද පිහිටි කුජ තලාව හරහා මැදඟිල්ල දෙසට විහිද යයි. මෙය ශනි මණ්ඩලයෙන් අවසන් වන නිසා ශනි රේඛාව යනුවෙනුත් ධනය ගැන කියවෙන බැවින් බොහෝ දෙනෙකු 'ධන රේඛාව' යනුවෙනුත් හඳුන්වයි. මෙම රේඛාවේ ආරම්භය අත්ලේ මුලින් පමණක් නොව චන්ද්‍ර මණ්ඩලය ජීවන රේඛාවට ආසන්නව මැණික් කටුව ප්‍රදේශයෙන් හෝ සිකුරු මණ්ඩලයෙන් හෝ විය හැක. කුමන ස්ථානයකින් පටන් ගත්තත් මෙම රේඛාව සෘජුව විහිද යන අතර ඒ මඟින් පුද්ගලයාගේ දෛවය පිළිබඳ ශුභා ශුභ ධන සම්පත් දියුණුව බාධක ආදී බොහෝ දේවල් රේඛාවේ පිහිටීම අනුව හෙළිදරව් කරගත හැකිය. කිසියම් රේඛාවක් ආරම්භ වන ස්ථානයත් අවසන් වන ස්ථානයත් අනුව ශුභ අශුභ වෙනස් වීම හස්ත රේඛා විද්‍යාවේ සිද්ධාන්තයන් වෙයි. ඒ අනුව දෛව රේඛාව පටන් ගැන්මත්, අවසානයත් අනුව ගෙන දෙන පලාඵල එකින් එකට වෙනස් ස්වභාවයක් ගනී.

දෛව රේඛාව මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වී සෘජු රේඛාවක් වශයෙන් ශනි මණ්ඩලය තෙක් විහිද යාම (රූප සටහනේ) වඩාත්ම සුබ පල ගෙන දෙන පිහිටීමක් වෙයි. අනේකවිධ භාව භෝග සම්පත් ධන සම්පත් ලැබීමට එය හේතුවක් වේ.

එමෙන්ම එය මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වී රවි මණ්ඩලයට විහිදී ගියේනම් නොයෙකුත් කලා ශිල්පවලින් ප්‍රසිද්ධ වන අයෙකු හඳුනාගත හැක. එමෙන්ම මෙම රේඛාව බුධ මණ්ඩලයට (සුලඟිල්ල මුල) විහිදී ඇත්නම් එමඟින් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් පෙන්නුම් කරයි. දෛව රේඛාවෙන් මතු වන ශාඛාවක් රවි මණ්ඩලයට විහිද යාම ලොතරැයි දිනුම් වැනි හදිසි ධන ලාභ හිමි වීමට හේතුවක් වෙයි. නොයෙකුත් බාධක මධ්‍යයේ තමන්ගේම උත්සාහයෙන් උසස් තත්ත්වයට පත්වන අයගේ දෛව රේඛාව ආරම්භ වන්නේ බොහෝ විට ජීවන රේඛාව ආශ්‍රයෙන්මය. අයෝමය ආත්ම ශක්තිය සහ නොපසුබස්නා වීර්ය ඔවුන්ගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක්ද වේ.

දෛව රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී ශනි මණ්ඩලය දෙසට විහිදේනම් එම ස්ත්‍රිය හෝ පුරුෂයා විවාහයෙන් පසු විරුද්ධ ලිංගිකයාගේ උදව්වෙන් දියුණුවට පත්වෙයි. ඉක්මන් විවාහයක්ද එමඟින් පෙන්නුම් කෙරේ. එමෙන්ම ඔවුන් ඕනෑම ප්‍රශ්නයකදී නොසැලී නොබියව මුහුණ දෙන කෙනෙක් විය හැකිය. එවැන්නන්ට වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමේ භාග්‍යය උදා වේ.

මෙම රේඛාව කුජ තුලාවෙන් (අල්ලේ මැද) පටන්ගෙන රවි මණ්ඩලයටත්, බුධ මණ්ඩලයත් වැටීමත් ධනවතෙකු වීමට හේතු වේ. ගුරු මණ්ඩලය දෙසට විහිද ගිය රේඛාවෙන් ගරු නම්බු ලැබීමට අසීමිත ආශාවෙන් සිටින අයෙක් හඳුනාගත හැක. මෙම රේඛාව චන්ද්‍ර මණ්ඩලය තුළ ගැඹුරුව පිහිටියේ නම් සමාජයේ ප්‍රසිද්ධියට පත්වේ. එමෙන්ම මෙම රේඛාව හෘදය රේඛාවෙන් අවසාන වේ නම් හෘදය ආශ්‍රිත රෝග සහ ආදර සම්බන්ධතා බිඳ වැටීමටත් හේතු විය හැකිය. සමහර විට හොඳ දෛව රේඛාවක් තිබියදීත් පුද්ගලයන් අවාසනාවන්ත වන අවස්ථාද ඇත. එයට හේතු වන්නේ සමතුලිත නොවූ අතක් තිබීමය. ඒ සඳහා මණ්ඩලවල හොඳ පිහිටීමක්ද තිබිය යුතුය.

දෛව රේඛාව ශීර්ෂ රේඛාවෙන් ආරම්භ වී ඇත්නම් එම අයගේ දියුණුව ලබන්නේ මැදි වයස පසුවීමෙන් පසුවය. මෙම රේඛාව ශනි මණ්ඩලය පසුකර මැද ඇඟිල්ලේ පළමු පුරුක දක්වා විහිද යාම අවාසනාවන්ත පිහිටීමක් වෙයි. මහමඟට වැටෙන යාචකයන්ගේ අත්වල එවැනි පිහිටීම් දැකිය හැකි වෙයි.

කැඩුම් බිඳුම් නොමැති මනාව පිහිටි දෛව රේඛාවක් ස්ත්‍රියකගේ අතේ පිහිටියේ නම් එය සැබෑම වාසනාවකි. පෙර භවයන්හි කරන ලද නොමඳ පින් බල ඇති ඇය සුපින්වත් පුරුෂයෙකුට භාර්යාව වීමේ භාග්‍යය ලබන්නීය.

සමහර අයගේ අත්වල දෛව රේඛාව නොමැති වීමටද පුළුවන. එවැනි අයට දියුණුවක් ලබා ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතු වෙයි. දෛව රේඛාවට සරල සමාන්තරව භගිනි රේඛාවක් පැහැදිලි ලෙස විහිද ගියහොත් ඔවුනට මාර්ග දෙකකින් ආදායම් ලැබීමට හේතු වේ.

එම රේඛාව ත්‍රිශූලයක හැඩයෙන් කෙළවර වූයේ නම් එය දෛව රේඛාවේ හොඳම සුබදායක පිහිටීම ලෙස සැලකේ. ධනය, කීර්තිය, ගෞරවය, ප්‍රසිද්ධිය ආදී හැම සම්පතක්ම උරුම කර දෙයි. රේඛාවේ මුල කොටස හෙවත් මැණික් කටුව ආසන්නයේම ඇති කොටස දූපත් ලකුණු සහිත හෝ කැඩුම්, බිඳුම් සහිත වී හෝ ඇත්නම් ජීවිතයේ මුල් අවධියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හෝ වෙනයම් බාධක හෝ පෙන්නුම් කෙරේ. ශීර්ෂ රේඛාවට පහළින් දෛව රේඛාව බිඳී හෝ කැපී ගියහොත් ජීවිතයේ මැද වයසේදී (35-40 අතර) විශාල පසුබෑමකට කරදරයකට හෝ ලක්විය හැක.

දෛව රේඛාවෙන් ඉහළට යන (ආරෝහණ) රේඛා සියල්ල වාසනා රේඛා වන අතර, එමඟින් ජීවිතයේ සුබදායක සිදුවීම් පෙන්නුම් කෙරේ. කෙනෙකුගේ වේගවත් දියුණුව, ජයග්‍රහණ බලාපොරොත්තු ඉටුවීම් ආදිය එම රේඛා බෙදී යන ස්ථානයට අදාළ කාල සීමාවේදී සිදු විය හැක. දෛව රේඛාවේ අග කතිරයක් නම් හදිසි විපතකි. රේඛාවේ අග දෙබලක් වීම (අතු විහිදීම) සුබදායකය. එම සලකුණ ඇති ස්ථානයට අදාළ කාල සීමාවේදී වාසනාව මතුවෙයි. දෙකට බෙදී ආරම්භ වන දෛව රේඛාවක් පිහිටි අය අන් අයගේ ආධාර මත හෝ මඟ පෙන්වීම මත උසස් දියුණුවක් ලබනු ඇත.

(මීළඟට සුඛ රේඛාව පිළිබඳවයි)

Comments