
ප්‍රවේශ මාර්ගය උතුර, නැඟෙනහිර ඊසාන දිසාවලින් නම් ඉදිකිරීම පහසුයි
ඉඩමේ බෑවුම ඊසානයට, උතුරට හෝනැඟෙනහිරට පිහිටීම ඉතා යහපත්
සිවිල් ඉංජිනේරු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ප්‍රියන්ත දයාරත්න
නිවසක් හෝ වෙනත් නව ඉදිකිරීමක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේදී වැදගත් වන කරුණු පිළිබඳව දැන් අවධානය යොමු කරමු. මෙහිදී වැදගත් වන කරුණු අතර ඉඩමේ බෑවුම සහ හැඩය ප්‍රධාන වන බව කිව යුතුයි. ඉඩමේ බෑවුම ඊසානයට, උතුරට හෝ නැඟෙනහිරට පිහිටා ඇත්නම් එය ඉතා යහපත් වන අතර පුරවා සකස් කිරීම පවා අසීරු පරිදි නිරිත පහතින් පිහිටි ඉඩම් මිලදී ගැනීමේදී පවා විශේෂ අවධානයකින් ක්‍රියා කළ යුතු වේ.
ඉඩමක් සඳහා උචිතම හැඩය වන්නේ හතරැස් හෙවත් ඍජුකෝණාස්‍රාකාර හැඩයයි. සමචතුරස්‍ර හෙවත් හරි හතරැස් ඉඩම් ද යහපත් මුත් ඒවා ආගමික ඉදිකිරීම් සඳහා වඩාත් උචිත බව සැලකිය යුතු වේ. කෙසේ වුවත් ඉඩමක බෑවුමේ හෝ හැඩයේ දෝෂ ආදිය වර්තමානයේ නම් පිරමීඩ ආශ්‍රිත මෙවලම් යොදා ගනිමින් නිවාරණය කර ගත හැකි බවද මෙහිදී සැලකිය යුතු වේ.
ඉඩමක ප්‍රවේශ මාර්ගය උතුර - නැඟෙනහිර - ඊසාන දිශාවලින් පවතී නම් එවැනි ඉඩමක ඉදිකිරීමක් සිදු කිරීම පහසු බව වාස්තු විද්‍යානුකූලව සැලසුම් අඳිනු ලබන්නකුට හොඳින් වැටහෙනු ඇත. එසේ නොමැති අවස්ථාවකදී ඉදිකිරීම් සැලසුම නිර්මාණය කිරීමේදී විශේෂ සැලකිල්ලකින් එය සිදු කළ යුතු වේ.
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේ ඉඩමේ පාද බෙදීමක් සිදු කිරීම සුලබ කරුණකි. මෙහිදී සිදු කරන්නේ ඉඩමේ හැඩය අනුව තීරු වශයෙන් ප්‍රේත, මනුෂ්‍ය, දේව සහ බ්‍රහ්ම වශයෙන් ඉඩම වෙන් කර ගැනීමයි. මෙහිදී පිටතින් ඇති තීරුව ප්‍රේත පාදය ලෙස නම් කරන අතර එය ඉදිකිරීම් සඳහා උචිත ලෙස නොසැලකේ. අනෙකුත් කොටස් යොදාගෙන ඉදිකිරීම සිදු කළ හැකියි.
එසේ වුවත් අද භාවිතයට ගන්නා කුඩා ඉඩම්වල පිටත තීරුවක් වෙන් කොට ඉදිකිරීමක් සිදු කිරීම පහසු හා ප්‍රමාණවත් නොවන බව අත්දැකීමයි.
මෙහිදී නිවැරදි ලෙස ඉදිකිරීමක් සිදු කරන්නේ කෙසේ දැයි විග්‍රහ කර ගැනීමට අපට නූතන වාස්තු විද්‍යාවේ පිහිට පැතීමට සිදු වේ. මෙහිදී අප විසින් වැඩි අන්තරීක්ෂ ශක්ති ප්‍රමාණයක් ඉඩමට හා නිවසට ලැබෙන පරිදි හා ඒ ශක්තිය රඳවාගත හැකි පරිදි ක්‍රියා කළ යුතු වේ.
මේ සඳහා කළ යුත්තේ ඊසානයෙන් අන්තරීක්ෂ ශක්තිය ඇතුළුවීමට ඇති බාධාවන් අවම කිරීමයි. ඒ සඳහා කළ යුත්තේ ඉඩමේ උතුර - නැඟෙනහිර - ඊශාන දිශාවන්ගෙන් මිදුල ඉඩකඩ ඉතිරි වන පරිදි නිවස පිහිටුවීමයි.
මෙහිදී සම්ප්‍රදායික ප්‍රේත පාදය නොසලකා කටයුතු කිරීමට සිදුවී ඇත්නම් දකුණ - බස්නාහිර - නිරිත දිශාවන්හි ප්‍රේත පාදය ඉදිකිරීම සඳහා යොදා ගැනීමෙන් ගැටලු මතු නොවේ.
බොහෝ අවස්ථාවලදී වර්තමානයේ මායිම් බිත්තිය ද නිවසට ඈඳා ගනිමින් උපරීම ඉඩකඩක් ඉතිරි කරගැනීමට අපට සිදු වේ. එවැනි අවස්ථාවලදී මායිමට වන්නට ඉදිකිරීමක් කරන්නේ නම් එකී මායිම් දකුණ - බස්නාහිර - නිරිත වීම අත්‍යවශ්‍ය වේ. මෙසේ අන්ධ බිත්ති යොදා ගැනීම පොදුවේ අයහපත් වෙතත් කුඩා ඉඩම්වල අන්තරීක්ෂ ශක්තිය ඉවත යෑම වළක්වා ගැනීමටත් යම් පමණකින් මෙය භාවිත කළ හැකි බව කිව යුතුයි.
එසේ වුවත් ඉඩම කුඩා වීම නිවසක ලෞකික දියුණුවට රුකුල් සපයන භූ ශක්තිය වැඩි කර ගැනීමට අත්‍යවශ්‍ය වන බව සලකා ඉදිකිරීමක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේදී හැකිතාක් විශාල ඉඩමක් යොදා ගැනීම යහපත් බවද නොකියා සිටිය නොහැකියි.
මීට අමතරව ඉඩම මෙන්ම ඉදිකිරීම ද හැකිතාක් ප්‍රධාන දිශාවන් ඔස්සේ පවතින්නේ ද යන්න සොයා බැලීම වැදගත් වේ. අනුදිශාවන් ඔස්සේ වන ඉඩම්වල විවිධ ආකාරයේ ගැටලු ඇති විය හැකි අතර ශක්තිය සංසරණය දුර්වල කිරීමට හා සක්‍රීය බව අඩු කරවන ගුණයක් ඇතිවීමට ද යම් ඉඩකඩක් ඇති බවද සැලකිය යුතුයි.
මෙසේ අනු දිශාවනට පිහිටා ඇති ඉඩමක හෝ නිවසක ප්‍රධානතම වියවුල ඇති කරනු ලබන්නේ ලැබෙන චුම්භක ශක්තිය අක්‍රමවත් වීමෙනි. උතුර - දකුණ දිශාගතව පොළොව පුරා ඇති චුම්භක ශක්තිය අපගේ සිරුරට පවා ඇති කරන බලපෑම සුළුපටු නොවේ.
මේ හේතූන් පිළිබඳ අවබෝධයක් ඇති භවතුනට ඉදිකිරීමක් යනු කරදරයක් නොව සතුටින් සිදු කරන කාර්යක් බව අත්දැකීම් කොට ගත හැකියි. ඒ කෙසේ වුවත් නැවතත් අවධාරණය කරන පරිදි කවර හැඩයේ, ප්‍රමාණයේ දිශානතියේ සහ බෑවුමේ පිහිටි ඉඩමක යහපත් සාර්ථක ප්‍රතිඵල සහිත ඉදිකිරීමක් සිදු කිරීමේදී පිරමිඩ ආශ්‍රිත ප්‍රතිකර්ම පහසුවෙන් යොදා ගත හැකි බවද සටහන් කළ යුතුව තිබේ.