කිල්ලට හසු නොවන්න ඒ ගැන දැනගන්න | Page 2 | සිළුමිණ

කිල්ලට හසු නොවන්න ඒ ගැන දැනගන්න

කිල්ල ලෙස හැඳින්වෙන්නේ  එක්තරා ක්ෂුද්‍ර තරංගවලින්  නිර්මාණය වූ ඍණ ශක්ති විශේෂයක්

මේ ඍණ ශක්ති විශේෂය බිහි වන්නේ මළ සිරුරු අසූචි  කුණු ලේ ආශ්‍රිතවයි

මල්වර කිල්ල දින 60යිවැදූගේ කිල්ල දින 45යි

‍ෙජ්‍යාතිර්වේදී අමල් රණබාහු

 

‘ඔයා මළගෙදර යන්නද හදන්නේ? ඔය සුරේ ගලවලා යන්න. නැත්නම් කිල්ලට හසුවෙයි'. මෙවැනි කතා අසා නැති කෙනෙක් නැත. ඒ තරමටම හැම දෙනෙක්ම පාහේ කිල්ලට බියක් දක්වති. 'කිල්ල' යන වචනය අපට හොඳින් හුරු පුරුදු එකකි. අපල කාලවලදී ඇතැමුන් යන්ත්‍ර පලඳිති. මේ නිසාම 'කිල්ල' යන වචනයද ඒ හා බැඳුණු එකකි.

'කිල්ල' යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි කියා මුලින්ම විමසීම වටී. එක්තරා ක්ෂුද්‍ර තරංගවලින් නිර්මාණය වුණු ඍණ ශක්ති විශේෂයක් 'කිල්ල' යනුවෙන් හැඳින්වෙතත් එය සාමාන්‍ය පුද්ගලයකුගේ පියවි ඇසට දැකිය නොහැකි වීම සුවිශේෂිය. රතු සහ කහ පැහැ මිශ්‍ර මෝර ගුළියක හැඩයට සමාන හැඩයකින් යුත් විනිවිද පෙනෙන ස්වභාවයකින් යුක්තය. විශේෂයෙන් කිව යුත්තේ මෙය චලනය වන ශක්ති විශේෂයක් බවයි. මේ ඍණ ශක්ති විශේෂය හටගන්නේ කිනම් ස්ථානයකදැයි දැනගැනීමත් අත්‍යවශ්‍යමය. මළ සිරුරු, අසූචි, කුණු ලේ ආදී අපිරිසිදු දේ ආශ්‍රිතව මේවා හටගනී.

පොදුවේ මූලික වශයෙන් කිලි වර්ග හතරක් ඇති බව කිව යුතුය. එම කිලි වර්ග හතරෙන් තුනක්ම කාන්තාවන් මූලික කරගෙන ඇතිවන කිලිය. එයින් මල්වර කිල්ල දින 60ක්, මාසික කිල්ල දින 3ක්, වැදුගෙයි කිල්ල දින 45ක්, මරණ කිල්ල දින 90ක් බලපවත්වන බව කියැවේ.

භූත විද්‍යා ශාස්ත්‍රයේදී කිල්ලට ප්‍රබල තැනක් හිමි වන බව කිව යුතුමය.

කිල්ල යන වදනේ අර්ථ කීපයකි. කිලුට, අපිරිසුදුකම යන තේරුම් ඇත.

කිසිවකු අපිරිසුදු දේට ප්‍රිය නොකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපිරිසුදු දෑ ප්‍රසන්න නැත. ඒවා දුගඳින් යුක්තය. සුවඳට ආකර්ෂණය වන්නේ යහපත් ආත්මයෝය. පහත් ප්‍රේත කොටස් ගඳට ආකර්ෂණය වෙති. මළ සිරුරු කාටත් පිළිකුල්ය. ඒවායින් පරිසරයට විෂබීජ මුදා හරින බව කවුරුත් දන්නා කරුණකි.

කිලිකුණු හෙවත් විෂබීජ ශරීරයට ඇතුළුවීම නිසා කායික මානසික ශක්තිය දුර්වල වී පහසුවෙන් රෝගවලට ගොදුරු වේ.

කිලි සහිත ආහාර වර්ග ගැනද මත ඇත. අලු කෙසෙල් මඩු දළු මෝරා තෝරා සහ මඩු වැනි මාළු වර්ග සහ ඌරු මස්ද කිලි සහිත ආහාර වර්ග යැයි ඇතැමෙකුගේ පිළිගැනීමයි.

දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීමේදී කිල්ලට හසු වුවහොත් පැපොල රෝගය වැලඳෙන බවද එක් මතයකි. පැපොලට අමතරව කම්මුල්ගාය සරම්ප වැනි ලෙඩ රෝග දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වනු ලැබේ. කිසිවකුට එම ලෙඩ රෝග වැළඳීමෙන් අනතුරුව කිල්ලෙන් ආරක්ෂා විය යුතුය. එය රෝගවලින් මිදීමට ප්‍රධාන හේතුවකි. කිලි සහිත නිවෙස්වලට යෑමෙන් වැළකිය යුතුය. එවැනි අය තම නිවසට පැමිණීමද නැවැත්විය යුතුය. ඊට අමතරව කිලි සහිත ආහාර නිවෙසට නොගැනීමද කළ යුතුය.

කිල්ල ගැන මෙසේ මත පළ වෙද්දී සෑම දෙනාගේ සිත්වලට ප්‍රධාන ප්‍රශ්නයක් පැන නැඟීම ස්වාභාවිකය. ඒ කිල්ල ගැන අප බියට පත්විය යුතුද නැද්ද යන්නයි. ඊට අමතරව අප කල්පනා කළ යුත්තේ කිල්ල ගැන සමාජයේ ඇති මතවාදයන් අපහාසයෙන් උපහාසයෙන් බැහැර කළ යුතු ද නැද්ද යන්නයි. මේ ගැන කතා කිරීම මතවාද ගෙන දැක්වීමෙන් යහපත් ආකල්ප බිහිවේ.

රෙදි වැලක් යටින් යෑමද කිල්ලට හසුවිය හැකි දෙයක් ලෙස සමාජයේ මතයක් පවතී. එම කාරණාවද සොයා බැලිය යුතුමය. අපිරිසුදු රෙදි ඇති වැලක් යටින් ගමන් කිරීම නිසා එම අපිරිසුදු රෙදිවලින් නිකුත් වන විෂබීජවලට අප හසුවිය හැකි වුවත් පිරිසුදු රෙදි වනා ඇති වැලක් යටින් ගමන් කිරීම කිල්ලට හසු වීමක් විය හැකිද? එය සිදුවිය නොහැක්කකි. එබැවින් එම කාරණය පදනමක් නැති එකක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා නිසැකය.

මාසික කිල්ල වැදූගෙයි කිල්ල, මරණ කිල්ල නිසා පරිසරයට අපවිත්‍ර දේ මුදා හැරෙයි. පරිසරය අපිරිසුදු වීම නිසා මිනිසා රෝගාබාධවලට ගොදුරු වෙයි. කිල්ලේ විද්‍යාත්මක පදනම එයයි.

මරණයක් වූ අවස්ථාවක පරිසරය අපවිත්‍ර වෙයි. ඒ සමඟම ඊට ආකර්ෂණය වන අමනුෂ්‍ය ප්‍රේත කොටස් අපිරිසුදු රුධිරය සහිත රෙදිපිළිවලට ඇල්ම බැල්ම හෙළයි. ඇතැම් කාන්තාවන් භූත ප්‍රේත දෝෂ බලපෑම්වලට ලක්වීමද මෙයත් එක් හේතුවකි.

යන්ත්‍ර මන්ත්‍ර භුත විද්‍යා කටයුතු සිදුවන අවස්ථාවලදී 'කිල්ල' වෙත අමනුෂ්‍ය බලපෑම් සිදුවීම හඳුන්වන්නේ කිලි දෝෂ ලෙසය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදුවන අවස්ථාවලදී කිලි හරණය කරන්නේ ඒවාට කිල්ලෙන් වන හානිය හෙවත් බල බිඳීම යම් තරමකට හෝ අවම කර ගැනීමටය.

බුදුන් දවස විසාලා මහනුවර ඇතිවූ දොස් සමනය සඳහා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් ලවා රතන සූත්‍රයෙන් පිරිත් කරන ලද පිරිත් පැන් ඉස විසාලා මහනුවර අමනුෂ්‍ය දෝෂ දුරු කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. මේ අවස්ථාවේදී මහ වැසි ඇද වැටී සියලු අපවිත්‍ර දෑ සේදී ගිය පසු විසාලා මහනුවරට පිරිත් පැන් ඉස ආරක්ෂාව සැලැසූ බව සඳහන්ය. ඉන් පැහැදිලි වන්නේ විසාලා මහනුවර තුන්බිය පහව යෑමට පිරිත් පැන් පිටිවහලක් වූ බවය.

අප ධාර්මික ජීවිතයක් ගත කරනවා නම් යහපත් දිවි පෙවෙතකට යොමු වෙනවා නම් අමනුෂ්‍ය බලපැම්වලින් කිල්ලෙන් මිදීම ඉතා පහසුය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතුවලදී කිල්ලෙන් ආරක්ෂා වීම ඉතා වැදගත්ය. එය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේදීද ප්‍රබලව කියැවෙයි.

යන්ත්‍රයක් පැලඳි කිසියම් පුද්ගලයකු කිල්ලෙන් ආරක්ෂා විය යුතුමය. ඒ එහි බලය ආරක්ෂා කර ගැනීම සඳහාය.

කිලි ආහාර නිවෙසට ගෙන ඒමෙන් වැළකීම කිල්ලෙන් ආරක්ෂා වීමක්ද කිලි සහිත ආහාර අනුභව කොට නිවෙසට ආගන්තුකයන් පැමිණි පසු ඔවුන් ඒ පිළිබඳව හඳුනාගත හැකිද? කිලි සහිත කාන්තාවන් හඳුනාගත හැකිද? අවමංගල්‍ය පැවැත්වෙන ස්ථානවලට ගොස් පැමිණෙන පුද්ගලයන් සමඟ යන්ත්‍ර පැලැඳි අයකු බසයේදී එකට වාඩිවී යාමෙන් එම යන්ත්‍රයේ බල බිඳේද යන කරුණු කාරණා පිළිබඳව සොයා බැලිය යුතුය.

දරුවන් බිහි කළ මවක් අසාධ්‍ය ලෙස රෝගාතුර වූ පසු මන්ත්‍ර බලයෙන් ඇයට සෙත් පැතීමෙන් සහනය සුවය ලැබෙයි. භූත දෝෂයට ලක්වී දොඩවන අයකුට මැතිරීමෙන්ද සහනය අත්වේ. මන්ත්‍රයට එවැනි බලයක් ඇත. විසාලා මහනුවරට ඉසින ලද පිරිත් පැන්වල බලයද අති මහත්ය.

මන්ත්‍ර සහ පිරිත්වල ඇති බලයට අමනුෂ්‍යයින් පලා යති. වස් දොස්ද දුරු වේ. යන්ත්‍රයක් සුරයක් කිල්ලට හසු වුවහොත් ඒවා තවදුරටත් බලවත් නැත. කිල්ලට හසුවී බල බිඳෙන යන්ත්‍ර, සුරවල බලයක් ඇත්තේම නැත. කිරි අම්මාවරුන්ගේ දානය දීමේදීද කිල්ල ගැන දැඩි අවධානය යොමු කළ යුතුය. එම දානයට සම්බන්ධ වූ කිසිවකු කිල්ලට හසුවීම කිරි දානය පිරිසිදුව දීමට බාධාවකි.

Comments