සංචාරක වසන්තයක සිහින සැබෑ වෙන ලකුණු | Page 2 | සිළුමිණ

සංචාරක වසන්තයක සිහින සැබෑ වෙන ලකුණු

සංචාරකයන්ගේ පැමිණීම මේ වන විට යහපත් අතට හැරෙමින් තිබේ. ඒ, රටක් ලෙස මහන්සි වී ප්‍රවර්ධන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඉකුත් දා පොඩි මැණිකේ දුම්රිය කොළඹ බලා එන ගමනේදී ශ්‍රී ලාංකික මනාලියක ලෙස සැරසීමේ අත්දැකීම විඳගැනීමට විදේශීය කාන්තාවකට අවස්ථාව ලබා දීමෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සොඳුරු චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කළ මනාලියන්ගේ තරගයකට සහභාගී වී ආපසු කොළඹට පැමිණෙමින් සිටි රූපලාවණ්‍යය ශිල්පිනිය ඇතුළු කණ්ඩායම කළ ක්‍රියාව අගය කළ යුතුය. ඔවුන් ධාවනය වෙමින් තිබූ දුම්රිය තුළදීම එම විදේශීය කත ශ්‍රී ලාංකික මනාලියක ලෙස සරසා, තමන්ට හැකි පමණින් තම රට පිළිබඳ යහපත් චිත්‍රයක් සංචාරකයන් තුළ ඇති කිරීමට කිරීම පැසසිය යුත්තකි.

මේ වන විට ක්‍රමයෙන් ඉහළ යන සංචාරකයන්ගේ පැමිණීම පිළිබඳ, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි අදහසකි. 

"සංචාරක මණ්ඩලය සමඟ සම්බන්ධ වී සිටින හෝටල්, සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමය සහ ජාත්‍යන්තරයට සබඳතා ඇති ලංකාවේ ප්‍රධාන දැන්වීම් ප්‍රචාරක ආයතනයක් එක්ව, ඔවුන්ගේ මුදලින් ඉන්දියාව ඉලක්ක කොට ගත් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. එය ඉතාම කාලෝචිත වන්නේ මේ දිනවල අපට වැඩියෙන්ම සංචාරකයන් ගෙන්වා ගත හැකි රට බවට පත්ව තිබෙන්නේ ඉන්දියාව නිසයි. ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සේවය පමණක් සතියකට ගුවන් වාර සියයක් ඉන්දියාවට යනවා. ඉන්ඩිගෝ, එයාර් ඉන්ඩියා, ස්පයිස් ජෙට්, එලායන්ස් එක්ස්ප්‍රස් වැනි හුඟක් ගුවන් සේවා දැන් ලංකාවට සංචාරකයන් රැගෙන පැමිණෙනවා. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ එකමුතුවත් සංචාරකයන් ගෙන්වන්නන් ගේ සංගමයත් එක්ව ඉන්දියානු සංචාරකයන් ඉලක්ක කොටගෙන මේ කරන ප්‍රවර්ධන වැඩසටහන රජය විදියට අප ඉතා අගය කරනවා.

2022 මැයි මාසයේ සිට නොවැම්බර් දක්වාම ලංකාවට සංචාරකයන් පැමිණ තිබුණේ 246,000ක් පමණයි. නමුත් පසුගිය දෙසැම්බර් ජනවාරි සහ පෙබරවාරි මාස තුන තුළ විතරක් ලක්ෂ තුන ඉක්මවා ඇවිත් තිබෙනවා. අඛණ්ඩව සිදුකරන තිබෙන ප්‍රවර්ධන කටයුතුවල උත්සාහයක් ලෙස මේ වැඩි වීම සිදුව ඇති බව කිව යුතුයි. සියලු දේ කළමනාකරණය කරගෙන, රටට පැමිණෙන සංචාරකයන්වත් ආරක්ෂා කරගෙන ඔවුන්ගේ වටිනාකම හඳුනාගෙන, ආර්ථිකය ගොඩ නැඟීම සඳහා ඔවුන්ගේ පැමිණීම අප තව තවත් ප්‍රවර්ධනය කර ගත යුතු වනවා"

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය සහ ඉදිරිය පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති, චලක ගජබාහු මෙසේ පැවසීය.

" දැනට සිදුවන ප්‍රවර්ධන කටයුතුවලට අමතරව ඉන්දියාව, රුසියාව, චීනය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, මැදපෙරදිග, ඔස්ට්‍රේලියාව සහ ස්කැන්ඩිනේවියාව කියන රටවල් ප්‍රධාන කොටගෙන, ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ආරම්භ කරනවා. ඉන්පසු අනෙක් රටවලුත් සම්බන්ධ කරගෙන ඒ ආකාරයෙන්ම ප්‍රවර්ධන වැඩපිළිවෙළ ගණනාවක් සකස් කර තිබෙනවා. ඊට අමතරව ඒ රටවල Road Shows සහ Travel Fairs වැනි කෙටිකාලීන ප්‍රවර්ධන කටයුතු ගණනාවක් සැලසුම් කොට තිබෙනවා. වසර අවසන් වන විට මිලියන 1.55ක සංචාරකයන් ප්‍රමාණයක් අප බලාපොරොත්තු වනවා. මේ පිබිදීම ඇති වුණේ 2022 නොවැම්බර්වලින් පසුවයි. ලෝකයේ බොහෝ රටවල අප ගැන තවමත් තිබෙන්නේ පසුගාමී කතාවක්. ඒ රටවලින් පනවන සංචාරක නීති ඉවත් කර, අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීම පහසු දෙයක් නෙවෙයි. අප මේ සඳහා තවදුරටත් වැඩ කිරීමට ජාත්‍යන්තර වශයෙන් ඒජන්තකරුවන් පත් කරනවා. මේ මාස තුන තුන හතර තුළත් හුඟක් රටවලින් විදෙස් ජනමාධ්‍යවේදීන් ගෙන්වා අප ප්‍රවර්ධන වැඩසටහන් කළා. ඊට අමතරව තවත් රටවල් හත අටකින්, බලපෑම් කළ හැකි පුද්ගලයන් දාහක් ගෙන්වා ඔවුන්ට අපේ රට පිළිබඳ සැබෑ තත්ත්වය පෙන්වීමට බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ අවසාන සැලසුම මාර්තු මැද අප ඔබට ඉදිරිපත් කරනවා.."

මෙම තත්ත්වය පිළිබඳ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති, නිෂාද් විජේතුංග දැක්වූයේ මෙවැනි අදහසකි.

" ලංකාවේ ජනගහනයෙන් 15%ක් පමණ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙනවා. ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ අපගේ සංගමයේ සාමාජික ආයතන දෙසිය හතළිහක් තිබෙනවා. ඔවුන් පසුගිය කාලය පුරාම විවිධාකාරයෙන් ජාත්‍යන්තර ඒජන්ත කරුවන් සමඟ එක්ව අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමට විවිධ ප්‍රවර්ධන කටයුතු සිදු කළා. රටේ තිබුණු ආර්ථික අර්බුදය පිළිබඳ ලෝකෙට ගිහින් තිබූ චිත්‍රය නිසා අපි අපිට පුළුවන් විදියට ප්‍රවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන ගියා. 99%ක්ම මේ කටයුත්තේ සිටින්නේ පුද්ගලික අංශය. අපි හෝටල් හිමියන්ගේ එකමුතුවත් සම්බන්ධ කරගෙන ඉන්දියාවේ තරුණ සංචාරකයන් ඉලක්ක කර විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. dentsu නම් ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සමඟ ලංකාවේ ග්‍රාන්ට්ස් ආයතනයේ දායකත්වයෙනුයි ඒ වැඩසටහන ඉදිරිපත් කළේ.

ඉදිරියේදී අනෙක් රටවලටත් එවැනි විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා."

සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනය තමන්ට බලපාන ආකාරය පිළිබඳ, ශ්‍රී ලංකා සංචාරක රියැදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ (ෂෝෆර් ගයිඩ්) සභාපති, හිරන්ත පෙරේරා මෙසේ පැවසීය.

" සංඛ්‍යාත්මකව සංචාරකයන්ගේ පැමිණීමේ වැඩි බවක් පෙන්වුවත් තවම අපගේ ලියාපදිංචි ෂෝෆර් ගයිඩ්ලා වෙත බලපෑමක් ඇතිවන ආකාරයේ අවස්ථා උදා වෙලා නැහැ. ෂෝෆර් ගයිඩ්ලා කියන්නේ, උපරිමව සංචාරකයන් හත් දෙනකු සමඟ වාහනයක් පදවාගෙන, ඔහුම මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අයෙක්. ඔහුට ලංකාවේ රියැදුරු බලපත්‍රය සහ සංචාරක මණ්ඩලයේ ෂෝෆර් ගයිඩ් ලයිසන් එක අනිවාර්යයෙන් තිබිය යුතුයි. මෙවැනි ගයිඩ්ලා 1,800ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් යැපෙන පිරිස පන්දාහකට ආසන්නයි.

රුසියානු සහ ඉන්දියානු සංචාරකයන් කරන වංචාවක් පිළිබඳ අප සංචාරක මණ්ඩලය දැනුම්වත් කළා. ලංකාවේ එක ගයිඩ් කෙනෙක් දාගෙන රුසියානුවන් ගයිඩින් කරගෙන යද්දි. තව සමහර වාහනවල රුසියානුවන්ම රියැදුරු වැඩේ කරනවා. මෙහෙම සංචාරකයන් ලක්ෂ ගාණක් ආවත් ලංකාවට ඩොලර් එන්නේ නැහැ. රුසියානුවන් බොහෝ අය එහෙදි ගෙවලා, මෙහෙ එන්නේ අතේ සල්ලි නැතිව. මෙහෙ ඉන්න අය තමයි ඔවුන්ට අඩු මුදලකින් වියදම් කොට බලා ගන්නේ. ඒ කියන්නේ ලංකාවෙ සංචාරකයන් ගෙන්වන ආයතන වෙත ලැබිය යුතු ලාභය එහේ බ්ලොක් කරගෙන තමයි, රුසියානුවන් ලංකාවට ගෙන්වන්නේ. එවිට ඒ සල්ලි සම්පූර්ණයෙන්ම වගේ රටවල ඉතිරි වනවා. අපේ රටට ලැබෙන්නේ, ඔය සංචාරකයන් යන එන ගමන් කන්න බොන්න වියදම් කරන සුළු මුදලක් පමණයි. මෙය සැඟවුණු ව්‍යසනයක්. මේවා ගැන හොයන එක සංචාරක අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය සහ සංචාරක අධිකාරියේ විතරක් නෙවෙයි, ආගමන විගමන දෙපාර්තමේන්තුවේත් වගකීම..."

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඉකුත් දිනෙක පැවසුවේ සංචාරක පැමිණීමේ වර්ධනය ඉහළ ගොස් ඇති නිසා, විදේශ සංචිතවල ඉහළ වර්ධනයක් ද සිදුව ඇති බවයි. එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත 23.5%ක පමණ වර්ධනයක් සිදුව ඇති අතර, සංචාරක පැමිණීමේ වර්ධනය 260% කින් ඉහළ ගොස් ඇති බවද ඔහු පවසා තිබිණි. එසේම 2022 වසරේ සැප්තැම්බර් මාසයේ ඩොලර් බිලියන 1.7ක්ව පැවති විදේශ සංචිත ප්‍රමාණය, ඉකුත් පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5 ක% වර්ධනයක් අත්කරගනිමින් ඇමරිකන් ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසා තිබිණි.

Comments