ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කලාව කාබාසිනියා කළ පිසාචයෝ | සිළුමිණ

ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කලාව කාබාසිනියා කළ පිසාචයෝ

ටෙස්ට් ක්‍රිකට් කලාවක් නම් එහි පිකාසෝ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මිස අන් කිසිවකු නොවේ. 1928 සිට 1948 දක්වා දශක දෙකක් ලෝක ක්‍රිකට් පිටියේ එවකට හිටපු නොම්මර එකේ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් මේ අසහාය පිතිකරුවා ටෙස්ට් තරග 52කදී ඉනිම් 80ක් ක්‍රීඩා කරමින් ලකුණු 6996ක් රැස් කළේ සාමාන්‍ය ගණන 99.94ක් බවට පත් කරමිනි. අවසන් ටෙස්ට් ඉනිමේදී ඔහු ලකුණු බින්දුවකට දැවී නොගියා නම් නිසැක වශයෙන්ම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය සියයට සියයක්ම සම්පූර්ණය. බ්‍රැඩ්මන් යනු එදා මෙදා තුර ක්‍රිකට් ලොවට බිහි වූ ඕනෑම පිතිකරුවකට ආදර්ශයට ගත හැකි පිතිකරුවා බව අවිවාදිතය. ඔහුගේ උස අඩි පහකුත් අඟල් 7ක් පමණි. එය ක්‍රීඩකයකුට එතරම් ගැළපෙන උසක් නොවූවත් පිටියට පිවිසියාට පසු ඔහු තරම් උසැති ක්‍රීඩකයකු තවත් නැති තරමට ඔහු ප්‍රතිවාදීන් අතර මෙන්ම ප්‍රේක්ෂකයන් අතර ද ඉහළින්ම කැපී පෙනිණි. ඔහුගේ අංග සම්පූර්ණ ඕෆ් ඩ්‍රයිඩ් පහර, මනරම් ඔන් ඩ්‍රයිව් පහර අදටත් ලොව කිසිදු පිතිකරුවකුට කිසිදු අඩු ලුහුඬුකමක් නැතිව එල්ල කිරීමට හැකියාවක් නැත.

බ්‍රැඩ්මන් ගැන මේ ගුණ වරුණ පෙරවදනක් කර ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිහරඹ තාක්ෂණය බින්දුවට ඇද දමා හුදෙක් ලකුණු රැස් කිරීමේ අරමුණින් පමණක් පොතේ නැති පහරවල් එල්ල කරමින් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන පිතිකරුවන්ට අවලාද නැඟීමට නොව එවැනි තත්ත්වයකට පිතිකරුවා ඇද දැමූ විස්සයි20 ක්‍රිකට් නිසා අද ක්‍රීඩාවට සිදුවී ඇති විනාශය ගැන පැහැදිලි කිරීමටය. අනිත් අතට මූල්‍යමය වාසි අරමුණු කරමින් ලොවට දායාද වූ විස්සයි20 මුහුණුවර නිසා ක්‍රීඩාවේ ජීවගුණය නැත්තටම නැතිවීමෙන් සිදුවී ඇති විනාශය ගැන කියාපෑමටය. 

එබැවින් ක්‍රිකට් වනාහි මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට වන පැරැණි කියමන තවදුරටත් වලංගු නැත. එය ක්‍රිකට් පිටියෙන් තුරන් වී ගියේ විස්සයි20 මුහුණුවර ලොවට බිහි වූ දා සිටමය. ටෙස්ට් ක්‍රිකට් යනු ක්‍රීඩකයන්ගේ දස්කම් පමණක් නොව මහත්මා ගුණය ද මුවහත් කරන්නකි. ඉවසීම ප්‍රගුණ කරමින් තීරණාත්මක අවස්ථාවක හැසිරිය යුතු ආකාරය උගන්වන අපූරු පරීක්ෂණයකි. ඉන් ක්‍රීඩකයකු ලබන ආභාෂය ඔහුගේ ක්‍රීඩා දිවියට පමණක් නොව ඉන් ඔබ්බට ද උදාර මානුෂික ගතිපැවතුම්වලින් හෙබි මිනිසකු ලොවට දායාද කිරීමට අඩිතාලම දමන්නකි. අද එවැන්නක් පෙනෙන්නට තිබේද?

ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන සෙසු රටවල් පසෙක තබා ශ්‍රී ලංකාව ගැන පමණක් කතා කරන්නේ නම් මෑත යුගයේදී විස්සයි 20 මුහුණුවර හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයන්ගේ ගති පැවැතුම්, හැසිරීම් ඊට නිදසුන් දුසිම් ගණන් සපයන බව ඕනෑම අයකුට අවබෝධ කර ගැනීම එතරම් දුෂ්කර නොවනු ඇත.

මේ වන විට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 87 ඉනිම මෑතකාලීනව ඊට හොඳම නිදසුනය. ඔහුගේ මේ වේගවත් ඉනිම ගැන විචාරකයන් පවා වැඩිපුර කතාබහ කළේ එබැවිනි. සැබැවින්ම කුසල් මෙන්ඩිස් යනු මෑත කාලයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකි. දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහුට ඇති හැකියාව ඉතා ඉහළය. එය ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවකු සතු විය යුතු අතිශය වැදගත් හැකියාවකි. අඩුවක් නැතිව ඒ හැකියාව පිහිටා තිබුණු කුසල්ට අද අත්වී ඇත්තේ වෙනම ඉරණමකි. හෙතෙම ලොව පුරා විස්සයි20 ලීග් ක්‍රිකට් ගොදුරක් බවට පත්වීමෙන් ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවකු සතුව තිබිය යුතු ඉවසීම හා පරෙස්සම එහෙම පිටින්ම පහළට වැටී අවසන්ය. කුසල් මෙන්ඩිස් නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාවට එක් වූයේ දකුණු අප්‍රිකාවේ පැවැති එරට පළමු විස්සයි20 ‘ෆ්‍රැන්චයිස්‘ ලීග් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුවය. විස්සයි20 වේගවත් තරග රටාවේ දිගු කාලයක් නිරතව සිටි කුසල් නවසීලන්තයට ගියේ ද ඒ මානසිකත්වයෙනි. ටෙස්ට් තරගයට උචිත ඉවසීම ඔහුගේ ඉනිමෙහි නොතිබිණි. හෙතෙම ලකුණු 50 රැස් කළේ පන්දු 40කිනි. එය නවසීලන්ත භූමියේදී විදෙස් පිතිකරුවකු ලැබු වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තාවය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 355ක් වැනි සාර්ථක ඉනිමක් වාර්තා කිරීම වෙනම කාරණාවකි. එහෙත් නවසීලන්තය වැනි කණ්ඩායමක ප්‍රබල පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදීමට හැකිවීමෙන් ඔහුට කණ්ඩායම වෙනුවෙන් දීර්ඝ ඉනිමකට යාමේ හැකියාව තිබූ බවත්, ටෙස්ට් රටාවට උචිත නොවන ක්‍රීඩා විලාශයක නිරත වීමෙන් ඔහු එම අවස්ථාව මඟ හරවා ගත් බවත් විචාරකයෝ කීහ. සැබැවින්ම කුසල් අහිමි කර ගත්තේ එම අවස්ථාව පමණක් නොවීය. නවසීලන්ත භූමියේදී ටෙස්ට් ශතකයක් රැස් කිරීමේ ගෞරවය ද ඔහු අතින් ගිලිහී ගියේ ලකුණු 13කිනි. ඔහුට මෙරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවා බවට පමණක් නොව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවා බවට පත් වීමට ද ඇති හැකියාව තවමත් ඔහු ඉදිරියේ තිබේ.

මෙය එක් නිදසුනක් පමණි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රතිරූප මැවෙන්නේ ටෙස්ට් පිටියෙන් මිස පැය තුනක කාලයක් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් ක්‍රීඩා කරන විස්සයි20 තරග රටාවෙන් නොවන බවට නිදසුන් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අපමණය. එවකට දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ කීර්තියට පත් වූ අරවින්ද ද සිල්වා, පසු කාලීනව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ගැන ලොව පුරා අදටත් කතාබහට ලක් වන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඔවුන් පෙන්නුම් කළ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය හේතුවෙනි. ලෝක පූජිත පන්දු යවන්නන් ඔවුන් ඉදිරියේ දණ ගැසුවේ විස්සයි20 පිටියේදී නොව ටෙස්ට් ක්‍රිකට් පිටියේදීය. වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට ඔසවා තැබීමට මේ පිතිකරුවන් ත්‍රිත්වය දැක්වූ අසමසම දස්කම් ජගත් ක්‍රිකට් විචාරකයන් අදටත් සිහිපත් කරන්නේ ඉහළින්ම අගය කරමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක් වූ ශ්‍රී ලාංකීය ක්‍රිකට් වාර්තා අතුරින් අදටත් ක්‍රීඩාලෝලින්ගේ මතකයේ ඇත්තේ 1996 එක්දින ලෝක කුසලාන විජයග්‍රහණයේ මතක සැමරුම්ය. 2014දී ශ්‍රී ලංකාව විස්සයි20 ක්‍රිකට් කුසලානය ජයගත් බව වැඩිදෙනකුගේ මතකයේ නැත. ජාත්‍යන්තර පිටියේ වාර්තා අතර 1997 වසරේ ආර්.ප්‍රේමදාස පිටියේ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සනත් ජයසූරිය ලකුණු 340 ක් රැස් කළේ මිනිත්තු 799ක් කඩුල්ලේ රැඳී සිටීමෙනි. එය පැය අතින් බැලූ විට 13කටත් වැඩිය. එම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ජයසූරිය සහ ලකුණු 225ක් රැස් කළ රොෂාන් මහනාමත් පැය 13කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටියේය. දෙනො එක්ව දෙවැනි කඩුල්ලට ගොඩ නැඟුවේ ලකුණු 576ක වාර්තාගත සම්බන්ධතාවකි. 2006 වසරේ එස්එස්සී පිටියේදී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේ මහේල ජයවර්ධන රැස් කළ ලකුණු 374, එම තරගයේදී මහේල සහ කුමාර් සංගක්කාර එක්ව තුන්වැනි කඩුල්ලට ගොඩනැඟූ ලකුණු 624ක වාර්තාගත සම්බන්ධතාව මෙරට ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය මතක සටහන් පෙළකි. මේ වාර්තාගත ඉනිම ක්‍රීඩා කිරීමට මහේල මිනිත්තු 752ක්ම කඩුල්ලේ රැඳී සිටියේය. එය පැය අතින් බැලූ විට 12කටත් වැඩිය. එම ඉනිමේදී ලකුණු 287ක් රැස් කළ සංගක්කාර මිනිත්තු 675ක් පිටියේ රැඳී සිටියේය. එය පැය අතින් බැලූ විට 11කටත් වැඩිය. ඒවා මෙරට ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුළින් කිසිදා මැකී නොයන සදාකාලික මතක සටහන්ය.

සැබැවින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හඬන්නට වූයේ විස්සයි20 ක්‍රිකට් බිහිවීමටත් දශක දෙකකට පමණ පෙරය. එය සිදු වූයේ ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෝටිපති ව්‍යාපාරිකයකු වූ එංගලන්ත ජාතික කෙරී පැකර්ගේ ව්‍යාපාරික සංකල්පයකට අනුවය. ඔස්ට්‍රේලියාවේ අධිරාජ්‍යයක් බිහි කරගෙන සිටි පැකර් සිය ධනය ප්‍රමාණවත් නොවන තරමට අධික තණ්හාවක් තිබූ පුද්ගලයෙකි. හෙතෙම 1977 දී තමාට හිතවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිපදෙනකු කිට්ටු කරගෙන ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියක් ආරම්භ කළේය. එය තනිකරම පෞද්ගලික ව්‍යාපාරයකි. ඔහු පැකර් ක්‍රිකට් සංචිතයක් ගොඩනැඟුවේය. එතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි ලොව පුරා අංක එකේ ක්‍රීඩකයන් රැසක් ඔහු මිලදී ගත්තේය. ඔවුන්ට ඉහළ වැටුප් ගෙව්වේය. එවකට ලෝක පූජිත ක්‍රීඩකයන් 35 දෙනකු පැකර්ගේ සාක්කුවට වැටුණේ ඔවුනොවුන්ගේ ක්‍රිකට් පාලක මණ්ඩල එපා කියද්දීය. ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කළ පැකර්ගේ ක්‍රිකට් ශූරතාවලිය රාත්‍රි කාලයේ සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන තරඟාවලියක් බවට පත්වූ අතර, ඊට දැඩි අප්‍රසාදය පළ කළ බොහෝ විචාරකයන් එය හැඳින්වූයේ ‘පිජාමා ක්‍රිකට්‘ යනුවෙනි. 

අද ලොව පුරා පැවැත්වෙන විස්සයි20 ලීග් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලි සහ පැකර්ගේ ලෝක ශූරතා මගෝඩිය අතර වැඩි වෙනසක් නැත. සිදුවී ඇත්තේ ක්‍රීඩකයන් මුදලට අලෙවි වීම පමණක් නොව තම තමන්ගේ නිසඟ ක්‍රිකට් හැකියාව මුදලට පාවා දෙමින් ක්‍රිකට් තාක්ෂණයෙන් ඔබ්බට ගිය ක්‍රීඩා විලාශයක නිරත වීමය. ඒ අන් කිසිවකට හෝ නොව මුදල් උපයා ගැනීමේ පරමාර්ථය නිසාවෙනි. කුඩා වියේ පාසලේ පළමු පුහුණුකරුවාගේ සිට ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා දක්වා ඉතා පරෙස්සම් සහගතව රැක බලා ගනිමින් බිහි කළ ශ්‍රී ලාංකික පුත්‍රයන්ගෙන් බහුතරයක් අද වන විට සිය හැකියාව විදෙස් රටවලට අලෙවි කරමින් සිටී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ආරම්භ වී අද වන විට ලොව බොහෝ රටවල හුදෙක් ව්‍යාපාරයක් බවට පත්වී ඇති විස්සයි20 ලීග් ක්‍රිකට් යනු ක්‍රීඩකයන් බලා සිටියදී ධනවතුන් බවට පත් කරන ධන උල්පතකි. ඉන් විපුල ඵල නෙළා ගැනීමට ක්‍රීඩකයන්ට හැකි වීම වෙනම කතාවකි. එවැනි ක්‍රීඩකයන් ධනවතුන් බවට පත්වීම තව අයකුට ඊර්ෂ්‍යා කිරීමට කාරණාවක්ද නොවන්නේය. නමුත් බරපතළ කාරණාව වන්නේ රටක් බිහි කළ ක්‍රීඩකයන් මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් බිහි වූ විස්සයි20 ලීග් පිටියට අලෙවි වීමය. ජාතික මට්ටම දක්වා ඇති දැඩි කරමින් පෝෂණය කළ එවැනි ක්‍රීඩකයන් ආර්ථික වාසි තකා විස්සයි20 ලීග් පිටියේ ක්‍රීඩා කරමින් සිය ටෙස්ට් ක්‍රිකට් හැකියාව මොට්ට කර ගනිති. අවසානයේ ඔවුන්ට ඉතිරි වන්නේ මුදල් පමණි. ඔවුන්ගෙන් යැපෙන විස්සයි20 ලීග් ක්‍රිකට් හිමිකරුවෝ බලා සිටියදීම කෝටිප්‍රකෝටි ගණනින් ආදායම ලබති. ක්‍රීඩකයා බිහි කළ රටෙහි අවසානයේ ඉතිරි වන්නේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට තරම් ප්‍රමාණවත් හැකියාවක් නැති ක්‍රීඩකයන් පිරිසක් නොවේද ?

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලධාරින් ද එහි එක් කොටස්කරුවකු බව ප්‍රසිද්ධ රහසකි. මෙවැනි ලීග් තරඟාවලි සඳහා තම ක්‍රීඩකයන් මුදා හැරීමට විරුද්ධත්වයක් නැති බවට වන සහතිකය (Non Objection Certification- NOC) නිකුත් කරන්නේ ඔවුන් විසිනි. මේ සහතිකය ලබාදීමේදී අදාළ ක්‍රීඩකයාගේ රටෙහි ක්‍රිකට් බලධාරින්ට නොඑසේ නම් ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ක්‍රිකට් ආයතනයට කොමිස් මුදලක් ලැබෙන බව දන්නේ අතළොස්සක් පමණී.

ලොව පුරා විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරග බිමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධ කරනු ලබන්නේ ක්‍රිකට් පරිපාලනයට හිතවත් පුද්ගලයකු විසින් බව තතු දත් අය පවසති. යම්කිසි ක්‍රීඩකයකුට විරුද්ධත්වයක් නැති බවට වන සහතිකය නිකුත් කිරීමෙන් ලැබෙන කොමිස් මුදල 10% කි. ඇතැම් ලීග් තරග සංවිධායකයන්ගෙන් 15% ක කොමිස් මුදලක් ලැබෙන බව ආරංචි මාර්ග පවසයි. මේ කොමිස් මුදලට කුමක් වන්නේ ද ? එය බැර වන්නේ කිනම් ගිණුමට ද? එම මුදල් විගණනය වන්නේ ද? නො එසේ නම් එම කොමිස් මුදල යම්කිසි අදිසි හස්තයක් ලබා ගන්නේ ද?

එවකට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග බිමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධිකරණය සිදු කර ඇත්තේ මෙරට හිටපු ලෝක පූජිත පිතිකරු යුගලයකගේ ඒජන්ත ලෙස කටයුතු කරනු ලැබූ චාලි ඔස්ටින් බව ඇතැමුන් කියති. එහෙත් මෙරට සෙසු ක්‍රීඩකයන් සමඟ වැඩි සමීප බවක් නොතිබූ හෙයින් අයිපීඑල් තරග සංවිධායකයන් ඉන්දියාව සමඟ සමීප ඇසුරක් තිබූ හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු මේ කටයුත්තට සෘජුව සම්බන්ධ කරගෙන තිබිණි. එහෙත් අවසානයේ එහි ලියකියවිලි සකස් කර ක්‍රීඩකයන් අයිපීඑල් තරගබිමට යවා 10% ක කොමිස් මුදල ලබා ගෙන ඇත්තේ චාලි ඔස්ටින් බව සමහරු කියති. දැනට ජාත්‍යන්තර විස්සයි20 ලීග් තරග බිමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අපනයනය කිරීම සිදු කරන්නේ මෙරට ක්‍රිකට් බලධාරීන් සමඟ සමීප ඇසුරක් ඇති පුද්ගලයකු බවට ද තොරතුරු ලැබී තිබේ. මේ 10% කොමිස් මුදලට ලොල් වූ කිසිවකු හෝ පුහුණුකරුවන් කුඩා කල සිටි දැඩි කැපවීමකින් යුතුව පෝෂණය කළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් විදෙස් ලීග් තරග බිමට විකුණා දමන්නේ නම් එය ජාතික අපරාධයකි. කොටින්ම හෙණ ගහන වැඩකි.

Comments