රෑටත් පාසල් යන තණමල්විල දරුවෝ | සිළුමිණ

රෑටත් පාසල් යන තණමල්විල දරුවෝ

ගුරුවරියක් රාත්‍රි ඉගැන්වීම සිදු කරමින්

හිරු බැස ගොස් ගම අඳුරේ ගිලී යද්දී තණමල්විල අධ්‍යාපන කලාපයේම දරුවන් සිය රාත්‍රී පාසල වෙත පැමිණෙන්නේ සිනහ මුසු මුහුණිනි. තෙහෙට්ටු ගතියක් හෝ දිවා කල වෙහෙසී දවසේ වෙහෙසකාරී බවක් ඒ දරුවන්ගේ මුහුණුවල දකින්නට නැත. ගුරුවරුන් මෙන්ම මවුපියන් ද දරුවන් මෙන් ප්‍රබෝධවත්ය. උදේට වගේම රෑටත් ස්කෝලේ යන දරුවන්ගේ අපූරු කතාවයි මේ. 

තණමල්විල ප්‍රදේශය දේශීය කෘෂි ආර්ථිකයකට උරුමකම් කියන අතර, ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ උක් වගාව, වී ගොවිතැන, එළවළු හා හේන් වගාවයි. එබැවින් දවස මුළුල්ලේම මේ ජනතාව නිරතව ඇත්තේ එදිනෙදා ජීවත් වීමේ සටනේය. ඒ හේතුව නිසාවෙන්ම තම දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කිරීමට මවුපියන්ට ලැබෙන්නේ අල්ප අවස්ථාවකි. දිවයිනේ අනෙකුත් පළාත් හා සැසඳීමේදී මෙම පළාත ආර්ථික වශයෙන් අවම මට්ටමක පවතින බැවින් තම දරුවන් අමතර පන්ති වෙත යොමු කර තරගකාරී අධ්‍යාපනයක් ලබා දීම ද ඔවුන්ට ඉතා අසීරුය. එපමණක් නොව වන අලි තර්ජනය ද මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව දිගු කාලයක් තිස්සේ පීඩා විඳින ප්‍රශ්නයකි. එකී මෙකී නොකී සෑම ප්‍රශ්නයකටම මුහුණ දෙන අතරේ තම දරුවන්ගේ ඉදිරි අනාගතය සැපවත් කර ගැනීමට මේ ජනතාව ද සිහින නොදකිනවා යැයි කිවහොත් එය මුසාවකි. උදෑසනම තම දරුවන් පාසල වෙත යොමු කරන මවුපියන් ඊට පසු දැඩි රශ්මියෙන් පීඩා විඳිමින් කර්කශ පොළොව සමඟ කරන ජීවන සටන ඔවුන් කායිකව මෙන්ම මානසිකව ද වෙහෙස කරවන්නකි.

මේ තත්ත්වය තණමල්විල කලාප කාර්යාලය හා ඒ කලාපයට අයත් පාසල්වල ගුරු විදුහල්පතිවරුන් විසින් වෙනස් ඇසකින් දකින්නට පටන් ගත්හ. කලාපයට අයත් පාසල්වල බහුතරයක් ගුරුවරුන් වෙනත් ප්‍රදේශවලින් එම ප්‍රදේශයට පත්වීම් ලබා පැමිණි අයයි. එබැවින් පාසල් කාලයෙන් පසු ඔවුන්ගේ සේවය ලබා ගනිමින් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට නොමිලේ රාත්‍රී පන්ති පැවැත් වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යෝජනා කෙරිණි. ඒ එම ප්‍රදේශයේ දරුවන්ට කදිම අවස්ථාවක් විය. මවුපියන්ට තම දරුවන් කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීමට කාලය නොමැති වීමත්, දරුවන්ට අමතර පන්ති සඳහා සහභාගී වීමට තරම් ආර්ථික හයියක් නොමැති වීමත්, නොමිලේ අධ්‍යාපනය ලබා දීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වන ගුරුවරුන් පිරිසක් සිටීම මෙන්ම පාසල් කාලය තුළ හඳුනා ගත් දරුවන්ගේ දුර්වලතා නිවැරැදි කිරීමට ගුරුවරුන්ට අවස්ථාව සැලසීමත් නිසා එකී රාත්‍රී පන්ති දරුවන්ට පමණක් නොව කුටුම්භයටත්, සමාජයටත්, පළාතටත් මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

තණමල්විල අධ්‍යාපන කලාපය ආරම්භ කළ දා සිට එහි අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ බුද්ධික කරුණාදාස ගේ නව සංකල්පත් ඒ ඔස්සේ තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට විදුහල්පතිවරුන් හා ගුරු මණ්ඩලය යොමු වීමත් නිසාම අද තණමල්විල අධ්‍ය‍ාපන ක්ෂේත්‍රය තුළ බැබළෙන්නට පටන් ගෙන ඇත.

කලාපයේ පාසල් 43න් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා ඉගැන්වීම් කටයුතු කරන පාසල් 30ක රාත්‍රී කාලයේ සතියේ දින පහේදීම පන්ති පැවැත්වෙන අතර, පන්ති සඳහා දිවා කාලයේ පාසලට පැමිණෙන සියලුම දරුවන් ද සහභාගී වෙති. එම දරුවන්ට දිවා කාලයේ අතපසු වන විෂයයන් ද ඉගැන්වේ.

දරුවන්ට තම යහළුවන් සමඟ පාසලේ සිටම අධ්‍යාපනය සිදු කරීමට නිදහස ලැබීමත්, තම නිවෙස්වල කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කිරීම වෙනුවට විදුලි ආලෝකයෙන් පාඩම් කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබීමත්, වන අලින්ගේ බිය නොමැතිව කණ්ඩායමක් ලෙස අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීමත් පමණක් නොව නව තාක්ෂණික උපකරණ යොදා ගනිමින් අධ්‍යාපනය ලබා දීමත් නිසා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ආශාව වර්ධනය වීමත් ඇත්තෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථාවන් වර්ධනය වීමට මහත් රුකුලක් විය. විශේෂයෙන් පැසසිය යුතුම කරුණ වන්නේ, තම දරුවන් ද නිවෙස් තුළ තබා නිවසේ ඇති සියලු කාර්යයන් මඳකට නතර කර දිවා කාලයේ ද ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතව රාත්‍රී කාලය ද දරුවන් වෙනුවෙන් කැප කරන ගුරු පරපුරක් සිටීමයි.

තණමල්විල අධ්‍යාපන කලාපයට තණමල්විල, කතරගම සහ සෙවණගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස අයත් වන අතර, 2016 වසරේ ජුනි මස 27 වැනිදා තණමල්විලට වෙනම අධ්‍යාපන කලාප කාර්යාලයක් වෙන් කරදීමට පෙර වැල්ලවාය කලාප කාර්යාලය මඟින් මේ ප්‍රදේශවල පාසල් පාලනය විය. තණමල්විල අධ්‍යාපන කලාපයට පාසල් 43ක් අයත් වෙන අතර, මේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන් 21,000කට අධ්‍යාපනය ලබා දීමට 1,100ක ගුරු මණ්ඩලයක් සිටියි.

තණමල්විලට නව අධ්‍යාපන කලාපයක් ආරම්භ කිරීමට පෙර අධ්‍යපනය අතින් පමණක් නොව සියලු ක්‍රියාකාරකම්වලින් දිවයිනෙන් පමණක් නොව ඌව පළාතෙන් ද ඉහළ මට්ටමක පරිසාධන මට්ටක් අත් කරගැනීමට ප්‍රදේශයේ දරුවන් නොහැකිව තිබිණ. 2016 සිට කලාප කාර්යාලය ආරම්භ කරමින් පැමිණි අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස ගේ නව සංකල්ප හා නව දැක්ම නිසාම කෙටි කාලයක් තුළදී ආරම්භ කළ නව වැඩ සටහන් රැසක් නිසාම අද වෙද්දී ඌව පළාතෙන් පමණක් නොව අධ්‍යාපනය, ක්‍රීඩා ඇතුළු සියලුම ක්‍රියාකාරකම්වලින් දිවයිනේ ප්‍රථම ස්ථානයත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමටත් පාසල් දරුවෝ සමත්ව සිටිති. ඒ නිසාම දැනට වසර තුනකට පෙර ආරම්භ කළ රාත්‍රී පාසල් දරුවන්ට විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිමින් ඌවට පමණක් නොව දිවයිනටම ආදර්ශයක් ලබා දීමට සමත් වී ඇත. 

මෙම ජයග්‍රහණ අතරට 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඌවේ ප්‍රථම හා දිවයිනේ දෙවැනි ස්ථානය, 2021 වසරේදී දිවයිනේ සිවුවැනි ස්ථානයත් ඌවේ ප්‍රථම ස්ථානයත් හිමිකරගෙන තිබේ. 2019,2020,2021 හා 2022 වසරවල ශිෂ්‍යත්ව විභාගයෙන් ඌව පළාතට දිවයිනේ පළමු ස්ථානයත් 2022 වසරේදී දෙවැනි ස්ථානයත් තණමල්විල කලාපයේ දරුවන් විසින් ලබා ගෙන තිබෙන අතර, අ.පො.ස (උසස් පෙළ) විභාගවලින් ද දරුවන් රැසක් වෙනදාට වඩා විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනිමින් විශ්වවිද්‍යාල වරම් ලබා තිබීම සැබවින්ම‍ විශිෂ්ට ජයග්‍රහණයකි.

මෙයට අමතරව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ද පසුගිය වසර කිහිපයේදී හිමිකර ගෙන ඇත. 2022 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 14න් පහළ බාලිකා සමස්ත ශුරතාව දිනාගෙන තිබෙන අතර, එම වසරේම කුවේට්හිදී පැවති යෞවුන් ආසියානු ක්‍රීඩා තරගාවලියේදී උස පැනීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගෙන ඇත. එසේම සෞන්දර්යාත්මක තරග ඇතුළු අධ්‍යාපනික තරග රැසකින් කලාපයේ පාසල් දරුවන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ගෙන තිබීම අගය කළ යුතු කරුණකි.

කෙටි කලකදී මෙවැනි දක්ෂතා දැක්වූ දරුවන් සිටින තණමල්විල කලාපයේ රාත්‍රී කාලයේ පැවැත්වෙන අධ්‍යාපනික පන්ති පිළිබඳ සොයා බැලීමට ඌව පළාතේ අධ්‍යාපන ලේකම් එච්. එම් නන්දසේන ඇතුළු අධ්‍යාපනික නිලධාරීන් පිරිසක් පසුගියදා හම්බේගමුව ප්‍රදේශයේ රාත්‍රී පාසල් අධීක්ෂණයක නිරත විය. අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිස හම්බේගමුව මහා විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ අති දුෂ්කර හා දුෂ්කර පාසල් රැසකට රාත්‍රී කාලයේ ගොස් සිසු දරුවන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ මවුපියන් සමඟ සුහද කතාබහක නිරත විය. එහිදී පාසල්වල තිබෙන අඩුපාඩුකම් රැසක් සපුරා දීමට ද ලේකම්වරයා පොරොන්දු විය.

ඉර නැඟී ගතවන පැය කිහිපයෙත් ඉර බැස ගිය පසුත් පාසල් යෑම මේ සිසු දරුවන්ට නම් සාමාන්‍ය දෙයකි. කිසිම පැකිළීමකින් තොරව ඔවුන් සවසට ද පාසල් යෑමට පෙළ ගැසෙන්නේ ඒ නිසාය. මේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතාවලින් මිදීමට එකම පිළිසරණ අධ්‍යාපනය බව මේ සිසුහු මනාව තේරුම් ගෙන සිටිති. දරුවන් රාත්‍රියේ පාසල වෙත පැමිණ සියලු කටයුතු සිදු කරනුයේ උදෑසන පාසල ආරම්භ කෙරෙද්දී සිදු වන ආකාරයටමය. රාත්‍රියේ පාසල් එන දරුවන් සඳහා පාසලේ බුද්ධ මන්දිරයේ දොර ඇරී ඇත. සිසු දරුවෝ සියල්ලටම පළමුවෙන් පන්ති කාමරවලට ගොස් ආගමික වතාවත්හි නිරතව වීමෙන් පසු අධ්‍යාපනික කටයුතුවල නිරත වෙති. මේ දරුවන්ගේ මවුපියන්ගේ ද ඒකායන පරමාර්ථය මහ පොළොව අස්වද්දමින් සිය ජීවනෝපාය රැක ගන්නා අතරේම සිය දරුවන්ටගේ හෙට දවස ද එළි කිරීමය. ඒ සඳහා තම දරුවන්ට නොමිලේ ශිල්පය දෙන ගුරුවරුන් ගම්මුන්ට පෙනෙන්නේ සිය දරුවන් යන මඟ එළි කිරීමට පැමිණි ඉෂ්ට දේවතාවුන් ලෙසිනි.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම් නන්දසේන මේ පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

“තණමල්විල කලාපයේ දරුවන්ට රාත්‍රී කාලයේ අමතරව අධ්‍යාපනය ලබා දෙන නිසාම පසුගිය වසර තුනකදී සියලුම කඩඉම් විභාගවලින් ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ ප්‍රථම,දෙවැනි හා තුන්වැනි ස්ථානවලට පත්වී තිබෙනවා. ක්‍රීඩාවෙනුත් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා තිබෙනවා. මෙම සංකල්පය ඌව පළාතේම පාසල්වල ක්‍රියාත්මක කළ හැකියි. අධ්‍යාපන ක්ෂේත්‍රයටම මෙය හොඳ ආදර්ශයක්. කලාප අධ්‍යක්ෂතුමා, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කරන කැප කිරීමට බෙහෙවින් අගය කරනවා. අමාත්‍යාංශයෙන් මේ පාසල්වලට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා”.

තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ බුද්ධික කරුණාදාස පැවසුවේ, “2016දී තණමල්විලට කලාපයක් ආරම්භ කරද්දී අපි අධ්‍යාපනය අතින් පහළම මට්ටමක හිටියේ. දරුවන් ගොඩ ගන්නම ක්‍රමයක් තිබුණේ නැහැ. මවුපියන් වැඩි පිරිසක් ගොවිතැනින් හා කුලී වැඩ කරලා ජීවත් වෙන නිසා දරුවන් පෞද්ගලික පන්තිවලට යවන්න ක්‍රමයක් නැහැ. මේ නිසාම මම විදුහල්පතිවරුන් හා ගුරුවරන් සමඟ කථා කරලා රාත්‍රී කාලයේ අමතර පන්ති ආරම්භ කළා. සතියේ දින පහේදීම සවස 6.00 සිට රාත්‍රී 10.00 වෙනකම් පාසලේදී දරුවන්ට උගන්වනවා. දරුවන්ට රාත්‍රී ආහාරයත් මවුපියන් හා ගුරුවරුන් එක්ව ලබා දෙනවා. අතීතයේ ලංකාවෙන්ම පහළම මට්ටමක ප්‍රතිඵල පෙන්වූ තණමල්විල කලාපය පසුගිය වසර තුනේදීම ශිෂ්‍යත්වය, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස (උසස් පෙළ) විභාගවලින් ඌව පළාතේ පළමු තැනටත් දිවයිනේ පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථානයටත් ගෙන ඒමට අපිට හැකි වුණා. අපි සියලුම දෙනා දරුවන් වෙනුවෙන් නව සංකල්ප ඔස්සේ සිදු කරන අධ්‍යාපනික වැඩ සටහන් නිසා ඉද­ිරියටත් දිවයිනේ ප්‍රථම ස්ථානයේම පවත්වා ගෙන යනවා. විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් ලබා දෙන සහයෝගය අපි කවුරුත් අගය කළ යුතුයි”.

විදුහල්පති, පූජ්‍ය හම්බන්තොට රත්නසිරි හිමියෝ මෙසේ පැවසූහ.

“මෙම ප්‍රදේශය අතිශය දුෂ්කර පළාතක්. ආගමික වශයෙන් දැහැමි දිවිපෙවතක් අතීතයේ සිටම මෙම ප්‍රදේශවාසීන් භුක්ති විඳිනවා. බොහෝ මවුපියන් තමන්ගේ දරුවන් තරගකාරී අධ්‍යාපනයට යොමු කරනවා. ගුරුවරුනුත් දැන් සල්ලි මත පදනම් වෙලාම තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. සමාජයම දැන් වෙනස් වෙලා. නමුත් ඉස්කෝලෙ පදනම් වුණ අධ්‍යාපනයෙන් ගොඩ නැඟෙන්නේ දැහැමි දරුවන්. රාත්‍රී පන්ති තුළින් අපි අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි ඒ ගැනත් දරුවන්ගේ සාරධර්ම ගැනත් අවධානය යොමු කරනවා. අපේ ගුරුවරුන් කවදාවත් මුදල් පස්සේ ගියේ නෑ, යන්නෙත් නැති නිසා දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. අපේ දරුවනුත් සාරධර්ම අතින් ඉතාම පොහොසත්. මේ රටේ හොඳම කලාපය බවට තණමල්විල පත්වෙලා ඉවරයි”.

හම්බේගමුව මහ විදුහලේ විදුහල්පති සුනිල් සරත් කුමාර පැවසුවේ, "පාසල් කාලය නිමවීමෙන් පසු දරුවන්ට තේ එකක් දී සවස 4 වෙනකම් පාසලේ තියා ගන්නවා. ඉන් පසු නිවෙස් වෙත යන දරුවන් සවස 6ට නැවත පාසලට එනවා. ඒ දරුවන් රාත්‍රී 10-11 වෙනකම් අධ්‍යාපනික කටයුතුවල නිරත වෙනවා. විදුලිය නැති ගෙවල්වල සිටින දරුවන්ට මෙන්ම හරි හැටි ආහාරයක් නැති දරුවන්ට පාසලේ ඉගැන්වීම මහත් අස්වැසිල්ලක් වෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයේ වන අලි සැරිසැරීම නිසා කටුක ජීවිතයක් ගෙවන දරුවන්ට මෙය මහත් සහනයක් වී තිබෙනවා."

මේ කැප කිරීම මුළු මහත් ලංකාවටම ආදර්ශයකි. අපි වෙනත් රටවල් දියුණු වෙන ආකාරය සහ වෙනත් රටවල අධ්‍යාපනය පිළිබඳ නිරන්තරයෙන් කතා කරමු. ඒවායේ ඇති ගුණාත්මක භාවයත් අපගේ අධ්‍යාපන ක්‍රමයන්හි පවතින අඩුපාඩු ගැනත් කතා කරයි. එහෙත් අගය කළ යුතු දේ අගය කළ යුතුය. වර්තමානයේදී ඇතැම් මවුපියන් උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ අමතර පන්ති සඳහා දරුවන් සහභාගී කරවීමටය. ඒ වෙනුවට නිසි අධීක්ෂණයක් සහිතව තම ප්‍රදේශවලට ආවේණික මෙවැනි ක්‍රමවේද හඳුන්වා දෙන්නේ නම් තණමල්විල කලාපය අත් කරගත් ඉහළ පරිසාධන මට්ටම පෞද්ගලිකවත් ප්‍රදේශයක් ලෙසත් අත්කර ගත හැකිය.





ප්‍රසන්න පත්මසිරි, ඌව පළාත් සමුහ

Comments