පාරේ ඉපිද මියෙන සුනඛ සුරතලුන් රකින අසරණ සරණ යුවතිය | Page 2 | සිළුමිණ

පාරේ ඉපිද මියෙන සුනඛ සුරතලුන් රකින අසරණ සරණ යුවතිය

වීදි සුනඛ‍ෙයකුට ප්‍රතිකාර ලබාදීමට ප්‍රථම ඩොයෙල් පරීක්ෂා කරන අයුරු

සුගියදා කුඩා බලු පැටවුන් දෙදෙනකු මෝටර් රථයකින් යට කර පලා යන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලය කලඹමින් සංසරණය විය. ඒත් සමඟම මෙම බලු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටවී මියයෑමෙන් පසු එම සිරුරු අසලට වී බල්ලකු ඉතා දුක්බර ලෙස බලා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වනු පෙනුණි. එම සංවේදී රූප රාමු නිසාම මෙම අනතුර සමාජයේ දැඩි කතා බහට ලක් වූ පුවතක් බවට පත් විය. එහි සිටි බල්ලා මියගිය බලු පැටවුන්ගේ මව බව කියැවුණත් පොලිසිය පැවසූයේ ඒ බැල්ලක් නොව බල්ලකු බවය. පසුව පොලිසිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව මෙන්ම ගම්වැසියන් පොලිසියට ලබා දුන් තොරතුරු ඔස්සේ විමර්ශන කටයුතු සිදු කර සත්ත්ව හිංසා පනත යටතේ විසිතුන් හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බිරියක අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි. 

අප මෙම කාරණා කියන්නට හේතු වූයේ මීට හාත්පසින්ම වෙනස් සද්ක්‍රියාවයාවක් පිළිබඳව තතු විත්ති පහදා කියන්නටය. ඉහත සිදුවීම් පෙළ එලෙස සිදු වෙද්දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය තරුණ තරුණියන් පිරිසක් මහ මඟ අයාලේ යමින් සිටින සුනඛයන් කවා පොවා බෙහෙත් හේත් දී රැකබලා ගැනීමට කටයුතු කරන පුවතක් පසුගියදා දියතලාව කහගොල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. මේ ගැන තොරතුරු සොයා බලද්දී මීට මුල් වූ තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු ලංකාවේ ඉපිද පසුව හොංකොං හි පදිංචියට ගිය බව දැන ගන්නට ලැබිණ. මේ එම සද්කාර්යයට මුල් වූ ඇය ගේ කතාවය.

ධාරිත්‍රි ඩොයෙල් ඩෝසන් උපන්නේ ලංකාවේදීය. ඒ 1995 වසරේ දීය. ඇයට වසර තුනක් ගෙවෙන තැන එනම් 1999 වසරේදී ඇගේ මවුපියන් හොංකොං දේශය බලා යාමට තීරණය කළාය. පුංචි ධාරිත්‍රි ලංකාවෙන් පිට වූයේ සතුටින් නම් නොවේ. වයස අවුරුදු තුනේදී ලංකාවෙන් පිට වුවද තමන් ජන්මය ලැබූ මව්රට පිළිබඳ හැඟීමක් සිහිනයක් මෙන් ඇගේ සිත යට නිදන් ගත වූවාය. මව් රටට සමුදී මව සහ පියා සමඟ හොංකොං දේශය බලා පිටත්ව ගිය ඇය මූලික අධ්‍යාපනය සඳහා යොමු වූයේ හොංකොං පාසල් වෙතය. පසුව ඇය විදේශ රටවල අධ්‍යාපනය ලැබුවාය. එනිසා ඇයගේ සිතුම් පැතුම් භාෂාව මුළුමනින්ම ඊට අනුකූල විය.

“මම ඉපදුණේ ලංකාවේ; නමුත් මම අවුරුදු තුනේදී හොංකොං ගියා. දැන් මගේ වයස අවුරුදු 28 යි; මගේ සියලුම අධ්‍යාපනය කළේ විදේශයන්හි.” ඇය සිළුමිණ කළ විමසීමේදී පවසා සිටියාය. 

ධාරිත්‍රි ඩොයෙල් ඩෝසන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙහි ඇති සුන්දරත්වය විඳ ගැනීමමේ අභිලාෂයෙනි. ලංකාවට පැමිණි ඈ මෙරට සෞන්දර්යය විඳින අතරතුර දුටුවේ සාමාන්‍ය ජන ජීවිතයට තර්ජනයක් එල්ල කරමින් මහමඟ සැරිසරන සුනඛයන්ට අත්ව ඇති ඛේදනීය ඉරණමය. ඈ ඒ ගැන මෙලෙස පවසා සිටියාය.

“මමත් ජෙසිකාත් මුල්වරට ලංකාවට පැමිණෙන්නේ 2019 වසරේදී. ඒ මෙරට සංචාරයක් සඳහා; අපි ඇල්ල වැල්ලවාය යන නගරවල සංචාරය කරා. මෙහිදී ඇල්ල නගරයේ මහමඟ අයාලේ ගැවසෙන කාත් කවුරුවත් නොමැතිව, කිසිදු ආහාරයක් නැතිව, තුවාල දමා ඇති සුනඛයන් බොහෝ දෙනකු දුටුවා. අපේ හදවත කම්පාවෙන් ඇලළී ගියා. මෙච්චර හොඳ මිනිස්සු ඉන්න රටක ඇයි මේ සත්තු මේ විදිහට ඉන්නේ කියලා. මේ අය මේ විදියට දඩාවතේ හැසිරීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටත් විශාල තර්ජනයක්. මේ වගේ සතුන්ගෙන් ජනතාවට ලෙඩ රෝග බෝවෙනවා. කිසිවකුගේ අවධානයට ලක් නොවී, රථවාහනවලට හැපී තුවාල ලබන අසරණ සුනඛයන් දැක්කම මේ අසරණ සතුන් වෙනුවෙන් කිසියම් සේවයක් සිදු කිරිීමට අපට වුවමනා වුණා. ඒ අනුව 2019 වසරේදී මුල් වරට මෙම සායනය ඇල්ල නගරයෙන් ආරම්භ කරන්න අපි තීරණය කළා.

අපි එකතු වෙලා ඩෝග්ස් ඔෆ් ඇල්ල (Dogs of Ella) නමින් මෙම සද්ක්‍රියාව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න තීරණය කළා. මේ නම වැටෙන්නේ එය ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ කළ නිසයි. අපි දෙන්නම ලංකාවට ආවේ හොඳින් සංවර්ධිත සහ දියුණු රටවල ඉඳලයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ මිනිස්සු සහ සත්තු ගොඩක් දුක් විඳිනවා අපි දැක්කා. නමුත් ඔවුන් ගත කරන ඒ ජීවිත දැකීම අපිට හරිම අමාරු දෙයක් වුණා. ඒ වගේම ලංකාවේ සත්තු සහ මිනිස්සු අතර බැඳීම හරිම අඩු යි. ඔවුන් බොහෝ දෙනා අසරණභාවයට පත්ව සිටීම ඊට හේතුවයි. තමන්ටවත් හරි හමන් කෑමක් බීමක් නැති දුප්පත් මනුස්සයෙක් කොහොමද සතකුට කන්න කෑම වේලක් දෙන්නේ; බෙහෙත් හේත් අරන් දෙන්නේ. ලංකා රජය මේ තත්ත්වය නිසියාකාරව කළමනාකරණය කරන්නේ හෝ පාලනය කරන්නේ නැහැ. මේ හේතුව නිසා අපට රටරටවල් අතර පවතින ආර්ථික අඩුපාඩුකම් හොඳින් දැක ගන්න ලැබුණා. ඒ නිසා අපි තීරණය කළා මේ සත්තුන්ට වගේම මිනිස්සුන්ට අපිට පුළුවන් ආකාරයට පිහිට වෙන්න. සතුන්ගේ යහපතට වඩා ඔවුන්ට හානි කරන ක්‍රමවලට හා අනාරක්ෂිත ක්‍රමවලට තමයි බොහෝදෙනා යොමු වෙලා ඉන්නේ. ඒ නිසා සපාකෑම්වලට පවා ඔවුන් ලක් වෙනවා. මේ නිසා මේ අසරණ සතුන් ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථා වැඩියි. මේ ගැන දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ලංකාව තුළ නොමැති වීම ඊට හේතුවයි. එනිසා අප මේ සඳහා මූලිකත්වය දෙන්න කටයුතු කළා.

“ලංකාවේ රජය ජලභීතිකා එන්නත් නියමිත වේලාවට ලබා දෙන්නේ නැහැ. බල්ලන් සපා කෑවාම ඒ සඳහා මිනිස්සුන්ට ලබා දෙන එන්නත් පවා දැන් අඩු වෙමින් පවතිනවා. ඒකට රටේ පවතින ආර්ථික අර්බුදයත් හේතු වී ඇති බව පේනවා. ඒ නිසා සුනඛයන්ගේ වර්ධනය වීමේ ගැටලුවට සහ ජලභීතිකා රෝගය පාලනය කිරීමේ ප්‍රශ්නයට කිසිවකු මැදිහත් නොවන තත්ත්වයක් තමයි දැක ගන්න තිබෙන්නේ. මේ නිසා බොහෝ බලු පැටවු පාරවල්වල බිහි වී පාරවල්වලම මිය යනවා. බොහෝ විට ඔවුන් මියයන්නේ බස් රථ, ත්‍රීවිල්, කාර් හා ලොරි රථවලට යට වීමෙන්. ඒ වගේම තුවාල සිදු වී බොහෝ සතුන් වේදනා විඳ මිය යනවා; අබ්බගාත වෙනවා. මේ සුනඛ ගහනය පාලනය නොකළොත් අනාගතයේදී අපේ රටේ දරුවන්ට ආරක්ෂිතව පාසලට යාමට පවා නොහැකි තත්ත්වයක් උදා වෙනවා. ඒ නිසා නිසි ආකාරයට සිදු කරන වන්ධ්‍යකරණ හා සායනවලට මේ සතුන් යොමු කිරීම ඉතාම වැදගත් හා වටිනා කාර්යයක් බවට පත්ව තිබෙනවා. 

ඩොයෙල් සහ ඇගේ මිතුරිය වන ජෙසිකා ඇය සතුන්ට බෙහෙවින් ආදරය කරන නිසාත් මෙම ප්‍රශ්නය ඔවුන්ට සුවිශේෂී ගැටලුවක් ලෙස දැනී ගොස් තිබුණි.

“මට ජෙසිකා පළමු වරට හමුවන්නේ ලංකාවේදි. පශු වෛද්‍ය කාර්යාලයකට ගිය අවස්ථාවකදී. එතන ජෙසිකා සිටියා. මම ගොඩක් සත්තුන්ට ආදරෙයි; ඒ වගේම ජෙසිකත් සත්තුන්ට ආදරෙයි. සතුන් කෙරෙහි ඇති අපගේ ආදරය තුළින් මිත්‍රත්වයක් අප අතර ඇති වුණා.

පසුගියදා ධාරිත්‍රි ඩොයෙල් සහ ජෙසිකා තවත් පශුවෛද්‍ය කණ්ඩායමක් සමඟ ලංකාවට එන්නේ මේ අසරණ සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිතවලට එල්ල වී තිබෙන ඛේදනීය ඉරණමට කිසියම් හෝ පිළිසරණක් ලබා දීම පිණිසය. එම සද්කාර්යය කොතරම් සාර්ථක වූවා දැයි සිළුමිණ කළ විමසීමේදී ධාරිත්‍රී පැවසුවේ මෙවන් අදහසකි.

“ විදේශ රටවල තිබෙන මෙවැනි සතුන් රැකබලා ගන්නා සංවිධාන සහ පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් සමඟ කටයුතු සිදු කර ලබා ගත් දැනුමෙන් ශ්‍රී ලංකාවේදී මෙම සද්කාර්යය අපි පටන් ගත්තා. මම මිතුරු මිතුරියන් සමඟ එක්ව මුදල් එකතු කර අවශ්‍ය බඩු බාහිරාදිය ඖෂධ රැගෙන පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී මෙම සත්කාරය අපගේ අනෙකුත් මිතුරන් සමඟ ආරම්භ කළා. මේ ක්‍ෂේත්‍රයේ සාර්ථකත්වය කියලා දෙයක් නැහැ; අපිට කවදාවත් අයාලේ යන සුනඛ ගහනය ශූන්‍ය අගයකට ගේන්න බැහැ. නමුත් අපට දැනටමත් මෙහි සිටින අයගේ වේදනාව අඩු කර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී අපගේ ඊළඟ පරම්පරාව ගැන සැලකිලිමවත් වීමට ප්‍රජාව දැනුම්වත් කර පෙලඹවීම් කළ හැකියි. ඒ සඳහා අප උපරිම උත්සාහය ගනිමින් තිබෙනවා. මෙවැනි වැඩ කිරීමෙන් අපට ලැබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් නැහැ. මෙහිදී අපට වැදගත් වන්නේ මෙවැනි දේ කිරීම මඟින් අපට දැනෙන ආත්ම තෘප්තියයි.

අයාලේ යන සුනඛ ගහනය අඩුකර ශ්‍රී ලංකාව ජලභීතිකා රෝගයෙන් තොර රටක් බවට පත් කළ හැකි නම් එය විශිෂ්ට කාර්යයක්. නමුත් ඒ සඳහා එක සංවිධානයක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැනට තනිව කටයුතු කරන සංවිධාන සිය ගණනක් එකට එකතු වී අත්වැල් බැඳගෙන ලංකාව පුරාම මේ කාර්ය සිදු කළ හැකි නම් අපට තෘප්තිමත් තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. ඒ සඳහා අපි සියලු දෙනාම අපගේ පටු ආත්මාර්ථකාමී හැඟීම් පිටුපසින් තබා එකට එක්ව වැඩ කළ යුතුයි. ඒ වගේම එකිනෙකාට උපකාර කළ යුතුයි. එකිනෙකාගෙන් ඉගෙන ගෙන එකිනෙකාට ඉගැන්විය යුතුය. අප සියල්ලන්ම අපගේ දේවල් කරන ආකාරයෙහි වැරැදි තිබිය හැකි නමුත් අපගේ වැරැදි පිළිගෙන වෙනස් වීම සාර්ථක වීමේ පළමු පියවරයි. ඒ වගේම අපි කරන මේ කටයුතුවලට ශ්‍රී ලංකා රජය පූර්ණ අනුග්‍රහය ලබා දී අප සමඟ වැඩ කළ යුතුයි. සත්ත්ව සුභසාධන විශේෂඥයන්ගේ උපදෙස්වලට සවන් දී අපගේ ව්‍යාපෘති පුළුල් කිරීමටත් ඒ සඳහා ලංකාවේ තරුණ කොටස් පුරුදු පුහුණු කිරීමටත් රජයේ අවධානය යොමු කළ යුතුයි. මෙය මාර්ග බාධක සහිත කන්දක් තරණය කිරීම වැනි කාර්යයක් වුවත් මේ වෙනුවෙන් ගන්නා වෙහෙස අපට සතුටක් මිස වෙහෙසක් නොවන බව” ධාරිත්‍රී පවසා සිටියාය.

මෙම කටයුතු සඳහා අවශ්‍ය මුදල්හදල් සහ උපකාර ලබා ගන්නේ කෙසේදැයි අපි ඇයගෙන් විමසුවෙමු.

“අපි ලංකාවේ දියතලාව කහගොල්ල ප්‍රදේශ සිදු කළ අවසාන සායනය සඳහා අරමුදල් ලබා ගත්තේ ලූකස් හෙල්ප්ස් ඩෝග්ස් (Lucas Helps Dogs) ආයතනය මඟින්. ඔවුන් මෙවැනි කටයුතු සඳහා අත හිත දෙන විදේශයන්හි අරමුදල් රැස් කරන ආයතනයක්. ඔවුන් අපට වගේම අප වැනි සංවිධානවලට සහ තවත් සමූහ කිහිපයකටම උදවු කරනවා.”

මෙම සද්කාර්යයේදී සුනඛයන් කොපමණ සංඛ්‍යාවක් වන්ද්‍යකරණයට, සැත්කම්වලට හා වෙනත් ප්‍රතිකාරවලට ලක් කළා දැයි සිළුමිණ කළ විමසීමේදී ඇය පවසා සිටියේ මෙවැන්නකි. “මෙවර අපි සුනඛයන් 69කගේ කරඇඹීම (castration) සමත් වුණා. ඒ වගේම ජලභීතිකා රෝගයට ගොදුරු වූ සුනඛයින් 70 කට ප්‍රතිකාර ලබා දුන්නා. කුෂ්ඨ රෝගයෙන් පෙළුණ සුනඛයන් 09 කටත්, ලිංගිකව සම්ප්‍රේෂණය වන පිළිකා වැලඳුණු සුනඛයන් 05ක් ප්‍රතිකාර ලබා දුන්නා. මීට අමතරව බල්ලන් 58 කට සහ බළලුන් 11කට තුවාල සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබා දුන්නා.

මෙහිදී මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා සංවිධාන කිහිපයක් ඔවුන්ට සහාය වූ බව ඇය ඉතාම හෘදයාංගමව සිහිපත් කළාය.

“අපි Tikiri Trust, Indiras Cats Trust, Tails of Freedom, Dogs Star Clinic & WeCare සමඟ ඉතා සුහදව එකට වැඩ කරන්නෙමු. මීට අමතරව අපි දේශීය ස්වාධීන ස්වේච්ඡා සේවකයන් සහ ගලවා ගන්නන් සමඟ ද වැඩ කරනවා. මෙහිදී යමක් සඳහන් කළ යුතුයි. ඉහත සඳහන් කර ඇති කණ්ඩායම්වලින් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබුණා. ඒ වගේම ඔවුන් සමඟ එකට වැඩ කිරීමට ලැබීම ඉතා වටිනා අවස්ථාවක් වුණා.‍

ඔවුන්ගේ මෙම රාජ්‍ය නොවන සංවිධානය ජර්මනියේ නිල වශයෙන් ලියාපදිංචි වී තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 4 දෙනකුගෙන් සමන්විත වේ. එහි ධාරිත්‍රී ඩොයෙල් ඩෝසන් සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා වන අතර ජෙසිකා නෙලිච් සම-නිර්මාතෘ සහ සම අධ්‍යක්ෂ වනවා. මෙහි දෙවන සභාපතිනි ජූලියා ගොට්ස්චල්ක් ය. ඔවුන්ගේ ව්‍යපෘති කළමනාකරුවන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන අතර ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යයි. ව්‍යාපෘති පවත්වාගෙන යාම සඳහා අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් විදේශයන්හි අරමුදල් රැස්කිරීම් සිදු කරන අතර මෙම ව්‍යාපෘති පරීක්ෂා කර බැලීමට ඔවුන් දෙදෙනා නිතර නිතර මෙරටට පැමිණෙති. ඒ පිළිබඳව ඇය මෙසේ පවසන්නීය.

“ශ්‍රී ලංකාව තුළ අපගේ වර්තමාන ව්‍යාපෘති සියල්ලම අදාළ ස්ථාන වෙත ගොස් සොයා බලනවා. අපගේ සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යාමට ඇමි. ඩඩ්ලි. උදව් කරනවා. මෙහි පැමිණිවිට අපගේ නවාතැන් පහසුකම්, කෑම බීම ගමන් බිමන් කටයුතු බාරව සිටින්නේ අනුරුද්ධ සහ නීෂා යි. මීට අමතරව අපට කනිෂ්ඨ සේවකයන් දෙදෙනකු සිටින අතර තවත් පූර්ණ කාලීන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙන් සිටිනවා.

මෙය සාමූහික ප්‍රයත්නයක් මෙම සංවිධානයට සම්බන්ධ සියලුම දෙනා සහ ඔබ සැමගෙන් සහ අනෙකුත් කණ්ඩායම්වලින් අපට ලැබෙන සහයෝගය අපට ඉදිරියට යාමට මහෝපකාරී වී තිබෙනවා. ඇත්තම කිවුවොත්, කාටවත් තනියම මේ වගේ දෙයක් කරන්න බෑ. එ්කට ඇති හොඳම ක්‍රමය එකට එකතු වී වැඩ කිරීම බව ඇය පවසයි.

ඡායාරූප සහ පසුබිම් වාර්තා 
සී. ගමගේ 
සොරණාතොට සමූහ වාර්තාකරු

Comments