ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ ඓතිහාසික තීන්දුවක් | සිළුමිණ

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ ඓතිහාසික තීන්දුවක්

සුගිය වසරේ සැප්තැම්බර් මස 9 වැනි දින පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේදී එම ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සංයුතිය වෙනස් කිරීම, සභාපතිවරයා විසින් නම් කරන ලද 35 දෙනෙක් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස ඇතුළත් කිරීම, උප සභාපතිවරුන්ගේ ප්‍රමාණය 14 දක්වාත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 07 දක්වා වැඩි කිරීම, සභාපතිවරයාගේ අභිමතය පරිදි පක්ෂයේ ඕනෑම නිලධාරියෙක් ඉවත් කිරීමට බලය ලබාදීම ඇතුළු තවත් සංශෝධන ගණනාවක් සම්මත කර ගැනීම නීත්‍යනුකුල නොවන බවත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් එකී ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් තමන් පක්ෂයේ දරන ලද තනතුරු වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා ලද ක්‍රියාමාර්ගය අභියෝගයට ලක් කර තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන ලද තනතුරු වලින් ඉවත් කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ මෙම නඩුව පවරන ලදී. කොළඹ දිසා අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව දිස්ත්‍රික් විනිශ්ච කාරතුමිය අතුරු තහනම් නියෝගයන් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. 

ඉන් අනතුරුව එකී තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා අභියාචනයක් බස්නාහිර පළාත්බද සිවිල් මහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර එම අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව සිවිල් අභියාචනා අධිකරණයේ ගරු විනිශ්චකාරවරුන් වන එම් සී එස් මොරායස් හා ඩී.එෆ්.එච්. ගුණවර්ධන විනිශ්චකාරවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චකාර මණ්ඩලය විසින් දිසා අධිකරණයේ තීන්දුව නිශ්ප්‍රභා කර වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට හා ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා දරන තනතුරු වලින් ඔහු ඉවත් කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස නියෝග කරන ලදී

එම නඩු තීන්දුවේ මෙසේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැප වී සිටින බව නීති ක්ෂේත්‍රයේ කතුවරයෙක් ලෙස එන්. ඊ වීරසූරිය සිය කෘතියේ මෙසේ හඳුන්වා දී ඇත. මා පහතින් දක්වා ඇති ආකාරයට ඔහුගේ කෘතියක් වන “ශ්‍රී ලංකාව සහ ඇයගේ ජනතාව”- “Ceylon and her People” යන කෘතියෙහි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කටයුතු කළේ මන්ද යන්න දක්වා ඇත. මා එය පහතින් දක්වමි.

“ශ්‍රී.ල.නි. පක්ෂයේ ආකල්පය වූයේ පරිණාමීය සමාජවාදයේ යම් මිනුමක් මඟින් දැනුම්වත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ආකල්පයයි. එය ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතුවේ පුද්ගල සහ සාමූහික නිදහස යන දෙකෙහිම සංකලනයක් වශයෙනි. පසුකාලීනව එයින් අදහස් කළේ බියෙන් නිදහස් වීම, අවශ්‍යතාවයෙන් නිදහස් වීම, නොදැනුවත්කමින් නිදහස් වීම සහ මහජනතාවට අවශ්‍ය රජයක් තෝරා ගැනීමේ අයිතියයි. එය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට උත්සාහ කළේය.”

එකී වාක්‍යය මාහට දායක වන්නේ මෙහි පවතින ප්‍රශ්නගත කරුණ සැලකීමේදී, එම කතුවරයා විසින් මෙකී 02.09.2022 දින ඇති වූ සිද්ධියට ප්‍රථමව පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සම්බන්ධව පළකළ නිදහස් අදහසක් වීම මතය. සාක්ෂි ආඥා පනතේ 32 (4) වන වගන්තිය ප්‍රකාරව කාරණා සැලකීමේදී මෙකී ලේඛකයා වන එන්.ඊ. වීරසූරියගේ අදහස වැදගත් වන්නේ එකී වගන්තිය අනුව “එම ප්‍රකාශය මඟින් කිසියම් පොදු අයිතියක් හෝ චාරිත්‍රයක් හෝ පොදු කටයුත්තක් හෝ පොදු හෝ සාමාන්‍ය අවශ්‍යතාවයක් පවතින බවට එවැනි ඕනෑම පුද්ගලයෙකුගේ මතය ලබා දෙන විට, එය පැවතියේ නම් එහි හරය ඔහු දැන සිටිය හැකිව තිබූ අතර, එම ප්‍රකාශය කවදා එවැනි අයිතියක්, සිරිත් විරිත් හෝ කාරණයක් පැන නැඟී ඇති පරිදි කිසියම් මතභේදයකට පෙර සිදු කරන ලද යන්න”. මෙම කාරණය සම්බන්ධව අධිකරණය වෙත දැනුම් දීම සාක්ෂි ආඥාපනතේ 57 වන වගන්තිය සමඟ කියවන 45 වගන්තිය ප්‍රකාරව බලය හිමි අතර එහි දැක්වෙන්නේ “ ... මෙම සියලු අවස්ථාවලදී සහ මහජන ඉතිහාසය, සාහිත්‍යය, විද්‍යාව හෝ කලාව යන සියලු කාරණා සම්බන්ධයෙන්, නියෝග ලබා දීමේදී අධිකරණයට ​​සුදුසු යයි හැඟෙන පොත් හෝ යොමු ලේඛන මඟින් උපකාර ලබා ගත හැකිය...”යන්නය.

ප්‍රශ්නගත කරුණ-  

මෙම අවස්ථාවේදී පක්ෂයේ ලේකම් වන 2 වන විත්තිකරු විසින් P7(a) නම් දැන්වීම සහ P 7 (b) දරන දැන්වීම යවා ඇති අතර එය අනිකුත් කාරණා සම්බන්ධව සාකාච්ඡා කිරීම සඳහා විධායක සභාව කැඳවීම සඳහා වේ. එලෙස රැස්වුණ විධායක කමිටුවේ සාමාජිකයන්ගෙන් 1 වන සහ 2 වන විත්තිකරුවන් විසින් ඉහත සඳහන් කරන ලද සභාපති වෙත අත්තනෝමතික බලතල ලබා දෙන දෝෂසහගත සංශෝධනය බලාත්මක කිරීම සඳහා බලය ඉල්ලා ඇති අතර ඒ අනුව එකී සංශෝධනය බලාත්මක කිරීම මත අදාළ සභාපතිවරයා විසින් පැමිණිලිකරුව ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරෙන් මෙන්ම හාලි ඇල ජන්ද කොට්ඨාසයේ සංවිධායක තනතුරෙන් පවා ඉවත් කර ඇත. එලෙස සිදු කොට ඇත්තේ ඔහුට විරුද්ධව විධිමත් පරීක්ෂණයක් පවා නොපවත්වාය. ඉන් අනතුරුව එකී කාරණා බලාත්මක වීමට විරුද්ධව පැමිණිලිකරු විසින් තහනම් නියෝග අයැද අධිකරණය වෙත පැමිණ ඇති අතර එමඟින්ද ඔහුට සහනයක් හිමි වී නැත.

පක්ෂයේ ව්‍යවස්ථාව සලකා බැලීමේදී 17 වන වගන්තිය විසින් පක්ෂයේ ප්‍රතිපත්ති ඇතුළුව ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු ආකාරය පිළබඳව විස්තර කර තිබේ. ආචාර්ය ද සිල්වා තර්ක කර සිටි ආකාරයට පක්ෂයේ ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය උපදේශනය, සම්මුතිය, විරුද්ධවීමේ අයිතිය සහ නියමිත ක්‍රියාවලිය ඇතුළත් වන අතර එයට හැකිතාක් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වය තිබිය යුතු වේ. එක් පුද්ගලයෙකු හෝ අධිකාරියක් තුළ බලය එක්රැස් කිරීම උපදේශනයට, එකඟතාවයට සහ සම්මුතියට පටහැණි වන්නේ එම පුද්ගලයාගේ තීරණය අවසාන තීරණය වන බැවිනි. එහෙයින් එක පුද්ගලයෙකු වෙත බලය රැස් කිරීම හා තනතුරෙන් ඉවත් කිරීමේ බලය (අදාළ පුද්ගලයා සමඟ ඒ පිළිබඳව උපදේශනයක් හෝ සම්මුතිය හෝ නිසි පරීක්ෂණයක් නොපවත්වා) එක් පුද්ගලයෙකු වෙත ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් දීම යටපත් කරන ක්‍රියාවලියක් වේ. එබැවින් එවැනි ප්‍රතිපත්තිමය කාරණාවක් සංශෝධනය කරන්නේ නම් එය කළ යුත්තේ ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය ප්‍රකාරව පක්ෂයේ මහා සම්මේලනයක් පැවැත්වීමෙන් අනතුරුව වේ.

ඒ අනුව සියලු පාර්ශ්වයන් කැඳවිය යුතු අතර සියලු කාරණා සළකා බලා මහා සම්මේලනයකදී සම්මත කර ගැනීම සහ ඉන් අනතුරුව බලාත්මක වීම සිදු විය යුතුය. නමුත් එලෙස කිසිදු ක්‍රියාවලියක් සිදු වී නොමැත. එහෙයින් එය විශේෂයෙන්ම 1 වන සහ 2 වන විත්තිකරුවන් විසින් ව්‍යවස්ථාවේ 17 වන වගන්තිය උල්ලංඝනය වීමක් වේ. එමෙන්ම එකී සංශෝධනය සිදු කිරීම සඳහා ක්‍රියාත්මක වී ඇත්තේ නිවැරදි දැනුම්දීම නොකර බැවින්ද එලෙස සිදුකර ඇති දැනුම්දීම අදාළ වන්නේ මහා සම්මේලනයකට නොව විධායක සභා රැස්වීමකට හෙයින් එකී විධායක සභාවට කළ හැක්කේ අදාළ සංශෝධන නිර්දේශ කිරීම සහ ඒවා කෙටුම්පත් කිරීම පමණක් වන බවත් පෙනී යයි. එයද පක්ෂයේ සම්මේලනයක් මඟින් සිදු විය යුතුය. එහෙයින් මෙම අවස්ථාවේදී සිදු වී ඇති සියලූම පියවර එනම් සංශෝධන යෝජනා කිරීම, සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම වෙනුවෙන් සිදු කර ඇති ක්‍රියාවලියම බැලූ බැල්මටම අනීතික වේ. එනම් විධායක සභාවේ විශේෂයෙන් දේශපාලන බල මණ්ඩලය හරහා සංශෝධන යෝජනා කිරීම හෝ මහා සම්මේලනයක් හරහා සම්මත කර ගැනීමක් මෙම ක්‍රියාවලියේ සිදු වී නොමැති බවයි. එහෙයින් එවන් අනීතික ක්‍රියාදාමයක් ඔස්සේ ඇති වෙන කිසිදු ක්‍රියාවලියක නෛතික වලංගුතාවයක් සැලකිය නොහැක. එහෙයින් මාගේ මතය වන්නේ පැමිණිලිකරුව උප ජ්‍යෙෂ්ඨ සභාපති කමින් සහ අනිකුත් ධුරයන්ගෙන් ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම අනීතික බවත් ඒ අනුව මුල සිටම නෛතිකව වලංගු නොවන ක්‍රියාවලියක් බවත් ය.

ජනාධිපති නිතීඥ චන්දක ජයසුන්දරගේ එක තර්කයක් වුයේ සභාපති වෙත අලුතින් ලබා දුන් බලය ඔහු විසින් පැමිණිලිකරුව, පැමිණිලිකරු විසින් පක්ෂය තුළ දරමින් සිටි තනතුර කිහිපයකින්ම ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්ය. එලෙස සිදු කර ඇත්තේ මින් පෙර පවතී සමථයකට පැමිණි නඩු කටයුත්තක් මාර්ගයෙන් පැමිණිලිකරු විසින් මෙම නඩුවේ 1 වන විත්තිකරු වන සභාපති සම්බන්ධව අධිකරණය වෙත චෝදනා කිරීම සහ එකී කාරණය පක්ෂය තුළ මූලිකව අනාවරණය නොකර අධිකරණය වෙත පැමිණීම යන පදනම මත බවයි. ජනාධිපති නිතීඥ ජයසුන්දර ඒ සම්බන්ධව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එලෙස අධිකරණය වෙත චෝදනා ගොනු කිරීම පක්ෂයේ නායකත්වය පක්ෂයෙන් බාහිරව දෝෂාරෝපණයට ලක් කිරීමක් වන බැවින් වේ. ඒ අනුව ලබා දුන් නව බලතල මත සභාපතිවරයාට ඔහුව ඉවත් කිරීමට බලය ඇති බවයි.

එනම් එම තර්කය අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයෙකුට ලබා දී ඇති අයිතිවාසිකම් අනුව ඔහුට විරුද්ධව නඩු නිමිත්තක් උපචය වුයේ නම් ඒ සම්බන්ධව නිසි අධිකරණයක පිහිට පැතිය හැකි වීම යන අයිතිවාසිකම පැමිණිලිකරු හටද හිමිවන බව හෝ ඒ අනුව පැමිණිලිකරු විසින් රටේ නීතිය යටතේ අධිකරණයක් වෙත නඩුවක් පැවරීමේ අයිතිය ඔහු හට හිමි බව හෝ පක්ෂයේ සභාපති විසින් ඔහු වෙත ලබා දුන්නා සේ සැලකෙන බලතල අනුව පැමිණිලිකරුව පක්ෂයෙන් ඉවත් කිරීමට කාරණයක් වන්නා සේ සලකා ඇති බව පිළිගැනීමට සිදු වේ. ඒ අනුව සභාපති විසින් පැමිණිලිකරුව චේතනාන්විතව ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ පැමිණිලිකරු විසින් පෙර අවස්ථාවකදී අධිකරණයක් වෙත ඔහුට විරුද්ධව කරුණු වාර්තා කිරීම මත නම් ඉන් පිළිඹිබු වන්නේ අධිකරණයේ සහය පැතීම සඳහා ඕනෑම අයෙකුට පවතින අයිතිය නොසලකා හැර ඇති බවයි. ඒ අනුව 1 වන විත්තිකරුට කුරිරු සහ ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීමට බලය ලැබී ඇත. එවන් පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් තුළ පැවතීමට නුසුදුසු පුද්ගලයන් ලෙස අප විසින් සලකනු ලබයි. එහෙයින් මෙම නඩුවේ වාරණ නියෝගය වහාම ලබා දිය යුතු වේ.

අනිත් අතට 1 වන සහ 2 වන විත්තිකරුවන් විසින් සාමූහිකව කටයුතු කරමින් පැමිණිලිකරුව නීතී විරෝධී ලෙස ඉවත් කර ඇති අතර එය නෛතික ක්‍රියාදාමයකින් සිදු කරන ලද්දක් නොවේ. ඒ අනුව මාගේ අදහස වන්නේ එකී කාර්යය සම්බන්ධව ප්‍රකාශයක් පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බවයි. නීති විරෝධී ක්‍රියාවක් පිළිබඳ උපකල්පනය මත, එම ඉවත් කිරීම අභියෝගයට ලක් කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

මේ අනුව දිසා විනිසුරුතුමියගේ දෝෂසහගත තීන්දුව වන 05.12.2022 දින දරන “X6” දරන තීන්දුව අනුව අතුරු තහනම නියෝග ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සඳහා දක්වා ඇත්තේ දෝෂසහගත සංශෝධනය අවලංගු කිරීම සම්බන්ධව කිසිඳු සහනයක් අයැද නොමැත යන පදනම වේ. ඒ අනුව නිගමනය වී ඇත්තේ පැමිණිලිකරු බැලූ බැල්මට පවතින නඩු නිමිත්තකට හිමිකම් නොකියන බවයි. නමුත් දිසා විනිසුරුතුමිය එකී නිගමනයට එළඹ ඇත්තේ P7 (a) සහ P 7 (b) දරන ලේඛන වල අනීතිකභාවය සහ සහාපති වෙත සමුච්චිත බලයක් ලබා දීම සඳහා ගෙන ආ දෝෂසහගත සංශෝධන මඟින් පක්ෂය තුළ ආරක්ෂා විය යුතු ප්‍රජාතන්ත්‍රවාදයට වන හානිය සම්බන්ධව යන කරුණු පිළිබඳව අවධානයට නොගෙන වේ. එහෙයින් එකී නියෝගය පසෙක තැබිය යුතු වේ. එහෙයින් මා විසින් එකී නියෝගය නිශ්ප්‍රහා කරනු ලබන අතර මෙම අභියාචනයට අවසර දෙමි. මා විසින් මෙම පැමිණිල්ල සඳහා වාරණ නියෝග නිකුත් කරන මෙන් උගත් දිසා විනිසුරුතුමිය වෙත නියෝග කරමි.

ජනාධිපති නිතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා, නීතීඥ නිරාන් අන් කේටල්, නීතීඥ සනත් විජේවර්ධන නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නිතිඥ චන්දක ජයසුන්දර, නිතිඥ පුලස්ති රණසිංහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා දයාසිරි ජයසේකර වෙනුවෙන් පෙනී සිටීයේය.

Comments