ජ’පුර කලාපයේ සා.පෙළ ඩයමන්ඩ් සම්මානය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට | සිළුමිණ

ජ’පුර කලාපයේ සා.පෙළ ඩයමන්ඩ් සම්මානය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට

- වාර විභාග තේමාව ‘‘වාර විභාගවලදි සතුටින් සිටිමු’’ යන්නයි
- විභාගයට පෙර සියලු ප්‍රායෝගික දැනුම මුල සිටම
- මාර්ගගත ක්‍රමවේදයෙන් වෙහෙසට පත් සිසුන්ට සෞන්දර්යාත්මක හා රසවින්දන වැඩසටහන්
- 2021 ශිෂ්‍යත්ව විශිෂ්ටයෝ - 88.7%ක්, 2020 - 96.27%ක්, 2019 - 79.5%ක්

සර එකසිය අටක අතීතයක් උරුම වූ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය දැයට වැඩදායී ආදි සිසු සිසුවියන් රැසක් බිහි කළ විශිෂ්ට බාලිකා පාසලකි. "තමාට තමා පහනක් වන්න"යන අරමුණ පෙරදැරිව දැයට ආලෝකයක් එක් කරන මිණි පහනක් වූ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවියෝ අධ්‍යාපනික අංශයෙන් පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ද එක සේ දැය බබළවන්නට සමත් වූහ. බෞද්ධ දර්ශනයෙන් හෙබි දරු පිරිසක් බිහි කිරීමේ අරමුණ වෙනුවෙන් කැප වූ යහපත් සදාචාරාත්මක වටිනාකම්වලින් පිරි සමුද්‍රදේවි බාලිකාවියෝ පසුගියදා පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන් තම පාසල් නාමය රන් අකුරින් ලිය වූයේ කලාපයේ අන් පාසල් අබිබවමින් ජයවර්ධනපුර කලාපයේ ඉහළම සාමාන්‍ය පෙළ සාමාර්ථ්‍යයන් වාර්තා කරමිනි.

සමුද්‍රදේවි පාසල වත්මන් තත්ත්වයට ගෙන ඒම සඳහා තම දූරදර්ශී නායකත්වය ලබා දෙමින් නොසැලී කටයුතු කළෝ අතීත විදුහල්පතිවරුන්ය. වත්මනේ ඒ නායකත්වයට උර දෙන්නේ සමුද්‍රදේවි බාලිකාවේ 12 වැනි විදුහල්පතිනිය වූ සුරේකා සිරිවර්ධන ය. ශාන්ත ජෝන් මිශ්‍ර පාසල ලෙස 1915 මැයි 5 වැනි දින සිසුන් 14 දෙනකුගෙන් ආරම්භ කරන ලද සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ නගර මධ්‍යයේ වූ පැරණිම බාලිකා පාසලයි. 1960 වසරේදී රජයේ පාසලක් බවට පරිවර්තනය වූ මෙහි ස්වර්ණමය යුගය වූයේ 1978 හිටපු විදුහල්පතිනි අයලින් සිරිවර්ධන යුගයයි. 1965 ජනවාරි 1 වැනිදා මෙය සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය ලෙස නම් වූ අතර, වර්තමානයේ සිසුන් 3,405 දෙනකු අධ්‍යාපනය ලබන අතර, ගුරුවරු 130ක් දරුවන්ගේ නැණ නුවණ පෑදීමේ සද් කාර්ය වෙනුවෙන් කැපවී සිටිති.

නුගේගොඩ සමුද්‍රදේවිය අධ්‍යාපන ඉලක්ක සාධනයෙහිලා ගත් ප්‍රශංසනීය පියවරෙහි ඉහළම සන්ධිස්ථානයක් සනිටුහන් කළේ 2022(2021) මෙවර ප්‍රතිඵල නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයෙනි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 268 දෙනෙකු ඉදිරිපත් කරමින්, එයින් සිසුන් 267 දෙනෙකු එනම් 98.13% ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුස්සෝ බවට පත්කරන්නට ඔවුන්ට හැකි විය. ඒ අනුව ශ්‍රී ජයවර්ධන පුර කලාපයේ පාසල් අතරින් අති විශිෂ්ට ප්‍රතිඵලය වාර්තා කිරීමටත්, මේ වසරේ ජනවාරි 10 වැනිදා බස්නාහිර පළාත් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති ‘‘'සමුදුර හරසර'උත්සවයේදී සිදු කළ කාර්ය වෙනුවෙන් විදුහල්පතිනිය ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයම ඇගැයීමට ලක් වීමටත් හැකි විය. 2021 සාමාන්‍ය පෙළෙන් ලැබුණු මේ ජයග්‍රහණය හේතුවෙන් 'ඩයමන්ඩ් සම්මානය' ඔවුන්ට හිමි වන්නේ 2022 දෙසැම්බර් මස 15 වැනිදාය.

කොවිඩ් අභියෝග මෙන්ම රට තුළ පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් අධ්‍යාපන හා ජාතික විභාග ඉලක්ක සාධනය කරා යෑමට අපොහොසත් වූ පරිසරයක් මැද මොවුන් ලද මේ ජයග්‍රහණය නිසා සමුද්‍රදේවි බාලිකාවෝ විශිෂ්ටත්වයට පත් වෙති. 

2021 සාමාන්‍ය පෙළ විභාගයේ සමුද්‍රදේවි විශිෂ්ටයෝ අතර A 9 සාමාර්ථ 50 ක් ද, A 8 සාමාර්ථ 28 ක්ද, A 7 සාමාර්ථ 12 ක් හා A 6 සාමාර්ථ 13 ක්ද වෙති. සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන්ට විශිෂ්ට A සාමර්ථ හිමි වූයේ කොවිඩ් අභියෝග මැද වුවද නිසි ඉලක්කගත වැඩි පිළිවෙළක් හරහා සිසුහු යොමු කිරීම නිසාවෙනි. වැඩිම A සාමාර්ථ ලබා ගත් විෂයන් අතර බුද්ධාගමට 174 ක්ද, ගණිතයට හා සිංහල විෂයන්ට 129 බැගින්ද, ඉංග්‍රීසි විෂයට 117 ක්ද, ඉතිහාසය විෂයට 113 ක් මෙන්ම විද්‍යාව විෂයයට 79 ක්ද වශයෙන් විශිෂ්ට සම්මාන වාර්තා විය. ගණිතය (ඉංග්‍රීසි), භූගෝලය, දෙමළ, ජපන්, හින්දි ඇතුළු විෂයයන් 10 ක පමණ සමත් ප්‍රතිශතය 100% ක් වැනි ඉහළ අගයක් විය.

සාමාන්‍ය පෙළ පමණක් නොව ශිෂ්‍යත්ව විභාගයෙන් ද මෙවර විශිෂ්ටයෝ බිහි කරන්නට සමුද්‍රදේවි බාලිකා විදුහල සමත් විය. 2021 වසරේ ලකුණු 100 ට වඩා ලබා ගනිමින් ශිෂ්‍යත්ව විශිෂ්ටයෝ බවට පත්වූ සමුද්‍රදේවි දියණියෝ පිරිස 88.7% කි. 2020 වසරේ එම ප්‍රතිශතය 96.27% කි. 2019 එම ප්‍රමාණය 79.5% කි. ගෙවුණු වසර කිහිපයේ පාසල් සිසුන්ට පමණක් නොව පාසල් පද්ධතියට පැමිණි අභියෝග හමුවේ සමුද්‍රදේවි විදුහල තම සිසුවියන්ටම ආවේණික වූ විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවූයේ පැවැති සාධන මට්ටම එලෙසම පවත්වා ගනිමිනි.

කොවිඩි අභියෝගය තදින්ම පැවැති වකවානුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට සිදු වූ අතර, සමුද්‍රදේවි විදුහලේ කළමනාකරණ මණඩලය ඇතුළු ගුරුවරුන් ඊට අදාළ කාල සටහන් සකස් කළේ සියලු විෂයන්ට එක හා සමාන අවධානයක් ලබා දෙමිනි. පාසලේ සුපුරුදු කාල සටහනට සමඟාමීව උදැසන 7.30 සිට දහවල් 1.30 දක්වා මාර්ගගත අධ්‍යාපන කටයුතු පැවැත්වූ අතර, යම් යම් සිසුන්ට ඇතිවන දුරකතන සංඥා ගැටලු හේතුවෙන් බොහෝ දිනවල පාන්දර 4 සිට උදැසන 7.30 දක්වාද විෂය ආවරණ කටයුතු සිදු වූයේ ගුරුවරුන්ගේ දැඩි කැපවීම මතය. පාසලේ ආදි සිසු සංගමය විසින් සහාය ඇවැසි දරුවන්ට දුරකතන මෙන්ම අන්තර්ජාල දත්ත පහසුකම්ද ලබා දුන්නේ මේ කටයුතු විධිමත්ව හා සාර්ථකව පවත්වා ගෙන යෑමටය.

විෂය ආවරණ කටයුතුවලට සමගාමීව වාර විභාග පැවැත්වීම මෙන්ම අනාවරණ පරීක්ෂණ මාර්ගගත ක්‍රමවේදයටම පැවැත් වූයේ මවුපියන්ගේ දැඩි අධීක්ෂණය මධ්‍යයේය. නිරන්තරයෙන් ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වූ මේ මාර්ගගත විභාගයන් සාර්ථක කර ගැනීමට හැකිවූ අතර, ඒවා නිසි වැඩ පිළිවෙළක් යටතේ පාසලට ගෙන්වා ගනිමින් ඇගැයීම් කටයුතු සිදු කළේ කොවිඩ් අභියෝග නොතකාය. මෙලෙස ඇගැයීම් කටයුතු සිදු වූවා පමණක් නොව වාර විභාගවලින් අඩු ලකුණු ලබා ගත් සිසුන්ව කාණ්ඩ කරමින් ඒ සිසුන් සඳහා වෙනමම කාල පරිච්ඡේද යොදා ගනිමින් ප්‍රතිපෝෂණ වැඩසටහන් පැවැත් වීමට විදුහල්පතිනිය ප්‍රමුඛ ගුරු මණ්ඩලය කැප වූයේ කිසිදු සිසුවකු අසමත් නොකර මේ ජයග්‍රහණය පරිපූර්ණ එකක් බවට පත් කර ගන්නටය.

කොවිඩ් හේතුවෙන් පාසල් අහිමිව මාර්ගගත අධ්‍යාපන රටාවෙන් වෙහෙසට පත්වූ සිසුන්ට මානසික තෘප්තියක් මෙන්ම වෙනසක් අපේක්ෂාවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග ද බොහෝ විය. මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදුවන අතරතුර සෞන්දර්යාත්මක, රසවින්දන වැඩ සටහන් පමණක් නොව ශාරීරික සුවතා, නව යොවුන් වියේ ගැටලු සම්බන්ධ සාකච්ඡා මෙන්ම සාමාන්‍ය පෙළ සඳහා වූ විවිධාකාර අභිප්‍රේරණ වැඩ සටහන් ද මේ සමඟම දියත් කිරීමට හැකි විය. මේ සඳහා විවිධ සම්පත් දායකයන් සේම පාසලේ ආදි ශිෂ්‍ය සංගම් හා මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තු සහායද නොඅඩුව ලැබී තිබිණි.

පාසල ආරම්භයෙන් අනතුරුව රටේ පැවැති වාතාවරණය හමුවේ දරුවන්ට විභාගයන් සඳහා දැඩි පීඩනයක් ලබා නොදීමේ අරමුණින් පාසල විසින් විභාග පැවැත්වූයේ "වාර විභාගවලදී සතුටින් සිටිමු"යන තේමාව පෙරදැරි කරගෙනය. සෑම සිසුවකුම A 9 ඉලක්කය කරා හඹා යන්නේ කෙසේ ද යන්න ඉලක්කය බවට පත් කරවන්නට ගුරුවරු කළ කැපවීම අසීමිතය. අඩු ලකුණු ගත් සිසුන්ව පාසල ආරම්භයට ප්‍රථම පැයක කාලයක් හා පාසල අවසන් වී සවස 3 දක්වා ඔවුන් වෙනුවෙන්ම විශේෂ වැඩ සටහන් පාසල විසින්ම පැවැත්වීය. එසේම ඉහළ ඉලක්ක කරා යාහැකි දරුවන්ව තව දුරටත් සිය සාධන මට්ටම් වර්ධනය කර ගැනීමට ඔවුන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩ සටහන්ද දියත් කළේය. මේ සියල්ල සිදු වූයේ ගුරු සිසු කණ්ඩායම් වැඩ සටහන් වශයෙන් සාමුහිකවය.

කොවිඩ්වලින් අනතුරුව රට විවෘත වූ පසු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවන් වෙනුවෙන්ම සැකසුණු විෂයානුබද්ධ ප්‍රායෝගික වැඩ සටහන් දියත් වන්නට වූයේ පසුගිය පාඩම් සියල්ල සිසුන්ට යළි සිහි ගැන්වීමේ අරමුණිනි. සතුටින් ගණිත ගැටලු හැදෑරීමට ගණිත කඳවුරු ක්‍රියාත්මක වූයේ සියලු ගණිත සංකල්ප මුල සිටම දරුවන්ට යළි මතක් කර දෙමිනි. 

විභාගයට මුහුණ දීමට සිටින 11 ශ්‍රේණි සිසුන් සඳහා විද්‍යා විෂයන්හි සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු වූයේද විභාගය ඉලක්ක කර ගනිමිනි. නැටුම්, නාට්‍ය හා රංග කලාව ආදි විෂයන් සඳහා ප්‍රායෝගික වැඩමුළු පැවැත් වූයේ ගුරුවරුන්ගේ ආදි සිසුන්ගේ කැපවීම මතය. සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් පැවැත්වූ සම්මන්ත්‍රණ හා දේශන සඳහා විෂය ප්‍රවීණයන් සහභාගී වූයේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ දායකත්වයෙනි.

එහිදි සිසුන් සඳහා අවශ්‍ය ලේඛන ද්‍රව්‍ය ලබා දීම්, සහභාගි වන දේශකයන් සඳහා ත්‍යාග ප්‍රදානයන් සියල්ලේ අනුග්‍රහයන් ආදි සිසු සංගමයේ මූලිකත්වයෙන් සිදු වූ අතර විභාගයට පෙනී සිටින පාසලේ උදවු උපකාර ඇවැසි ආර්ථික අපහසුතාවලින් පෙළෙන සිසුන්ටඋපකාර කිරීම මේ සමඟම සිදු විය. ප්‍රවාහන ගාස්තු, ඇඳුම් පැලඳුම් මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය දායකත්වයන් ලබා දෙන්නට සමුද්‍රදේවි ආදි ශිෂ්‍යාවන් කටයුතු කළා පමණක් නොව සාමාන්‍ය පෙළට මුහුණ දෙන ආර්ථික අපහසුතාවලින් පිරි දරුවෙකුට නි‍ෙවසක් තනා දෙන්නටත් මේ ආදි සිසු සංගමය කළ කැපවීම විශිෂ්ටය.

විදුහල්පතිනි සුරේකා සිරිවර්ධන, නියෝජ්‍ය විදුහල්පතිනි දයන්තා නන්දනී, සහකාර විදුහල්පතිනියන් වන කේ. ආර් ඉලංගනී, එස්.එන් ශිරෝමි පෙරේරා( 10/ 11 අංශභාර), ලසිමා රාජපක්ෂ, 10/11 අංශ ප්‍රධාන පුෂ්පා දහනායක, 11 ශ්‍රේණි ප්‍රධාන කේ. සුබෝධි, 10 ශ්‍රේණිභාර ගයනි ආටිගල ඇතුළු සාමාන්‍ය පෙළ ගුරු භවතුන් සාමාන්‍ය පෙළ ඉහළ සාධන මට්ටමක් පවත්වාගෙන යාමේ කාර්ය භාරයේදි සුවිශාල කැපවීමක් සිදු කළහ.

කොතෙක් අභියෝග පැන නැඟුණද ඒ සියල්ලටම මුහුණ දෙමින් මේ කාලය තුළ පාසල ලද විවිධාකාර ජයග්‍රහණයන්ද බොහෝය. 2019-2022 කාලයේ රට තුළ පැවැති දුෂ්කරතා නිසා මේ සියල්ලට විරාමයක් ලබා නුදුන්නද ඒ කාලයේ ක්‍රීඩා හා සංගම් හරහා ජාතික තලයේ ජයග්‍රහණ වාර්තා කරන්නට සාමාන්‍ය පෙළට පෙනි සිටි සිසුවෝ පමණක් නොව අනිකුත් සිසුවියන්ටද හැකියාව ලැබුණි. 2022 සමස්ත ලංකා වයස අවුරුදු 18 න් පහළ උස පැනීම ප්‍රථම ස්ථානය, කුවේට් රාජ්‍යයේ පැවැත්වෙන 4 වන ආසියානු 'Youth'තරගාවලිය නියෝජනයට හැකිවීම, 2022 බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමෙන් නව වාර්තාවක් මෙන්ම 2019 කොට්ඨාස තරග රාශියකින්ද ජයග්‍රහණයන් වාර්තා කිරීමට හැකිවිය.

මීට අමතරව 2022 වසරේදී ජාතික කනිෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාව, සාම්ප්‍රදායික සංගීතය සම්බන්ධයෙන් ජාතික තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2022 කලාප සංගිත තරගාවලියන්හි ප්‍රථම ස්ථාන, 2022 බස්නාහිර පළාත් ජූඩෝ ශූරතාව මෙන්ම ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලියෙන් ලංකාවට පදක්කම් 18 ක් ගෙන ඒමට සමුද්‍රදේවි බාලිකාවන්ට හැකිවිය.

තමාට මිණි පහනක් පමණක් නොව තම පාසලට රටටද මිණි පහනක් කරවීමට එදත් අදත් සමුද්‍රදේවියන් දැක්වූ දායකත්වය අගනේය.


සේයාරූ - නිශ්ශංක විජේරත්න

Comments