ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබ හැර ගියොත් කවදාවත් මේ වැරදි කරන්න එපා | සිළුමිණ

ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබ හැර ගියොත් කවදාවත් මේ වැරදි කරන්න එපා

ආදරයට අපි හැමෝම හරිම ආදරෙයි. ආදරය කරන කාලේ අන්ධයි කියලා කියමනක් ඔබ අහලා ඇති. මේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒ ඇයි දන්නවද? ඒ කාලයට අපි ගොඩක් අයගෙන් ඈතට යනවා. කොයි වෙලාවෙත් බලන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ගැවසෙන්න. හරි හෝ වැරදි අපි ඒ කාලයට දේවල් තීරණය කරන්නේ ඒ වෙලාවේ තමන්ගේ ආදරය රැකගන්නට විතරයි. කොහොම වුණත් ආදරයක් නැතිව අපිට ජීවත් වෙන්නට අමාරුයි. තරගකාරී ජිවිතය තුළ, ඒකාකාරී බව බිඳින්න, සරලවම කීවොත් සතුටින් ඉන්න අපිට ආදරයක් ඕනෙමයි. ඒවගේ ආදරයක් එකපාරට නැති වුණොත් මොකද්ද කරන්නේ. ඔබත් ආදරයෙන් පැරදුණ කෙනෙක් නම් මෙන්න මේ ලිපිය ඔබට වැදගත් වේවි.

1.තමන්ව දාල ගිය පෙම්වතා කෙරෙහි තරහක් උපදවා ගන්නට එපා

තමන්ගේ ආදරවන්තයා ආදරයට තිත තියලා කියලා දැනගත්තාම, තනිකඩ පෙම්වතියක් වුණ ඔබ මෙන්න මේ දේවල් කරන්න ඕනේ. පළවෙනි කාරණය තමයි. තමන්ව දාලා ගිය පෙම්වතා කෙරෙහි තරහවක් උපදවාගන්න එපා. සමහරවිට ඔබගේ අතේ වැරැද්දක් ඇතිව හෝ නැතිව කෙනකු ඔබව දාලා ගිහින් නම් ඔහුට යන්න දෙන්න. හදවතේ ඇත්ත ආදරයක් නැතිව අප කොයි තරම් වැට කඩුළු මායිම් දැම්මත් ඔහුට යන්න ඕනේ දවසට මොනවා හරි හේතුවක් හොයලා ඔවුන් යන නිසා. ඔවුන් කෙරෙහි තරහවක් ඇති කරගැනීම අපි අපිටම කරන හානියක්.

2.සමාජ මාධ්‍යවල තමාගේ පෙම්වතා ගැන ලොකු හෑලි ලියන එක

තවත් කාරණයක් තමයි සමාජ මාධ්‍යවල තමාගේ පෙම්වතා ගැන ලොකු හෑලි ලියන එක, දොස් පවරන එක නම් කරන්නට හොඳම නැති දෙයක්. අපි මොන වගේ ප්‍රශ්නයක ඉන්නවද කියලා ලෝකයා දන්නේ නෑ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා. ඒ නිසා කොයි වෙලාවකවත් තමන්ගේ දුක සමාජ මාධ්‍යට මුදා හරින්න එපා. 

3.ඔහුගේ දුරකතනයට පමණ ඉක්මවා කෙටි පණිවුඩ යැවීම සහ ඇමතුම් ගැනීම

තව කාරණයක් තමයි ඔහුගේ දුරකතනයට පමණ ඉක්මවා කෙටි පණිවුඩ යැවීම සහ ඇමතුම් ගැනීම. දන්නවද ඔබ එහෙම කරන තාක් කල් ඔබ නැති කරගන්නේ ඔබේම වටිනාකම. ඒ නිසා කවදාවත් මේ දේ කරන්න එපා. හොඳම දේ කාලයට ඉඩ වෙන් කරලා වෙන්නේ මොකක්ද කියලා බලන එක. එතකොට අපි වේදනාවන් මැද්දේ ගන්න තීරණවලට තිත තබන්න පුළුවන්. කාලයට ඉඩ දෙනවා කියන එක එක්තරා විදියක වේදනාවක් වුණත් මේ වගේ වෙලාවක ඔබ අපහසුවෙන් වුණත් මේ දේට මුහුණ දෙන්න ඕනේ.

4.වැරදි කියලා ඔහුව දෝෂාරෝපණයට ලක් කිරීම

තවත් කාරණයක් තමයි ඔහුගේ වැරදි කියලා ඔහුව දෝෂාරෝපණයට ලක් කිරීම. ඇත්තෙන්ම හිතේ තියෙන වේදනාවට අපට කාට හරි ඒ දේවල් කියලා හිත සනසගන්න හිතෙනවා. හැබැයි ගොඩක් තරුණියන් කරන්නේ එහෙම කරලා තවත් තමන්ගේම හිත පාරගන්න එකමයි. මොකද මතකයන් එක්ක ලැබුණ සුන්දර අත්දැකීම ආයෙත් ඔහුත් එක්ක විඳින්නට ලැබෙන්නේ නෑ කියන දේ මතක් කර කර ඔහුගේ වැරදි කීම ඇත්තෙන්ම ශිෂ්ට සම්පන්න නෑ. දන්නවද හොඳම දේ මතකයන් ස්මරණය කරලා මොහොතකට හරි ඒ සතුට විඳින එකයි.

ඉතින් ඔයත් මෙහෙම ආදරයෙන් පරාද වුණ කෙනෙක් නම් කවදාවත් ඒ වැරදි ටික කරලා තමන්ගේම වටිනාකම නැති කරගන්න එපා. ඇත්තම කතාව අපව දාලා යන කෙනා කොහොමත් දාලා යනවා. ඇත්තටම ඉන්නට අවශ්‍ය අය අඩුපාඩු හදාගෙන අපිත් එක්කම ජීවත් වෙන්නට, අනාගතයක් හදාගන්න පාර කපා ගන්නවා

අන්තර්ජාලයෙන්

Comments