අසීමිත ආදරය තමයි මට ලැබුණු ලොකුම තෑග්ග | සිළුමිණ

අසීමිත ආදරය තමයි මට ලැබුණු ලොකුම තෑග්ග

පුංචි තිරයේ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනා සිටින අනුරාධා එදිසිංහ අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන අනුරාධා මේ දිනවල ගත කරන්නේ ටිකක් කාර්යබහුල කාලයක්. ඒ කොහොම වුණත් රසඳුන සමඟ කතාබහ කරන්නට ඇය කාලය වෙන් කර ගත්තා.

- මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය රාවණ නිර්මාණයේ පුෂ්පෝත්කතා කියන චරිතය
- මාව ගොඩක් වටිනවා කියන දේ දැනුණු පිරිමි චරිතය තමයි
- මගේ තාත්තා ලැබෙන හැම චරිතයක්ම මට අලුත් අත්දැකීමක්

අනුරාධා මේ දවස්වල සෑහෙන්න කාර්‍යබහුලයි වගේ... 

මේ දවවල ටිකක් කාර්යබහුලයි. රූපගත වෙන ටෙලි නාට්‍යය දෙකක ෂූටින්වලට යනවා. කෝලම්කුට්ටම සහ අක්ෂි. ඊට අමතරව සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කලින් රේකෝඩින් කෙරෙන වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

මේ කාලේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ සහ ඒ එකිනෙකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ජයන්ත චන්ද්‍රසිරිගේ නන්නත්තාර ටෙලි නාට්‍යයේ නදියා කියන චරිතයෙන්, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂවරයා යටතේ කෝලම්කුට්ටමේ හිරුණි කියන චරිතය සහ ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කරන අක්ෂි නාට්‍යයේ නිම්මි කියන චරිතයෙන්. ඒ නිර්මාණ තුනටම එකිනෙකට වෙනස් ප්‍රේක්ෂකයින් ඉන්නේ. ඒ නිසා මගේ චරිතවලටත් එකිනෙකට වෙනස් වූ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මෙතෙක් කළ චරිත අතරින් කැමතිම චරිතය මොකක් ද?

මෙතෙක් කළ චරිත අතරින් මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදියට දකින්නේ තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂවරයා කළ රාවණ නිර්මාණයේ මම කළ පුෂ්පෝත්කතා කියන චරිතය. ඒ නිසා අදටත් කැමතිම චරිතය පුෂ්පෝත්කතා.

අනුරාධාගෙ හැකියාවන් පුංචි තිරයට පමණක් සීමාවෙලා කියලා හිතෙන්නෙ නැද්ද?

සිනමා නිර්මාණ එක්ක මම සම්බන්ධ වෙලා නැහැ. පුංචි තිරයේ මට ලැබෙන හැම නිර්මාණයකටම උපරිම සාධාරණය කරනවා. ඒ නිසා මගේ හැකියාවන් පුංචි තිරයට පමණක් සීමාවෙලා ද කියන්න නම් මම දන්නේ නැහැ.

රංගන ශිල්පිනියක් වීම තුළ, අද ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත් ද?

ඇත්තෙන්ම ඔව්. මම අද ඉන්න තැන ගැන තෘප්තියක් තියෙනවා. ඒ වගේම මම මේ වෙනකම් විවිධ අධ්‍යක්ෂවරු යටතේ කළ නිර්මාණ ඇතුළේ ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සකර්ම හි මගේ චරිතය වෙනුවෙන් 2021 වසරේ රයිගම් සම්මාන උෙලළේ දී විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නිළියට හිමි සම්මානය ලැබුණා. මට ලැබුණු හැම අත්දැකීමක්ම මගේ ගමනට ශක්තියක්. තව යන්න තියෙන දුර බොහෝයි. ඒ දුරත් හොඳ නිර්මාණ එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ පසුගියදා උපන්දිනය සැමරුවා, ලැබුණු හොඳම තෑග්ග මොකක් ද?

මාර්තු 1 වනදා තමයි මගේ උපන් දිනය තිබ්බේ. මම එදා ITN කාර්ය මණ්ඩලය එක්ක එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තියෙන වැඩසටහනක පටිගත කිරීමක හිටියේ. ඉතින් මම නොහිතපු වෙලාවක ITN කාර්ය මණ්ඩලයෙන් එයාලා සූදානම් කරපු උපන්දින සැමරුමක් තිබුණා. ඊට අමතරව තෑග්ගක් කියලා නම් දෙයක් ලැබුණේ නැහැ. නමුත් මට රෑ 12 ඉඳලා පළවෙනිදා උදාවුණු තැන ඉඳලා ගලාගෙන ආව දුරකතන ඇමතුම්, කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍යය ඔස්සේ එවපු හැම සුබ පැතුමක්ම මට ලැබුණු ලොකුම තෑග්ගක් විදියට මම දකින්නේ. මේ ලැබුණු අසීමිත ආදරය තමයි මට ලැබුණු ලොකුම තෑග්ග.

ඔබ මේ වෙද්දී ආදරවන්තියක් ද? 

නැහැ.

මොනවගේ කෙනෙක් ද හොයන්නෙ

මාව ගොඩක් වටිනවා කියන දේ දැනුණු පිරිමි චරිතය තමයි මගේ තාත්තා. මම හිතනවා හැම ගැහැණු ළමයෙක්ටම ඒක එහෙමයි. පුංචි කාලේ ඉඳලා තාත්තාගේ සෙවණේ හැදිලා වැඩිලා, තාත්තාගේ ආදරේ දැකලා, තාත්තගේ ගති ගුණ දැකලා, තාත්තා අම්මට ආදරේ කරපු විදිය සලකපු විදිය මේ හැමදෙයක්ම දැකලා මගේ හිතෙත් වැඩිපුරම ඇත්තේ ඒ ගතිගුණවලට සමාන කෙනෙක්. මම හොයන්නේ එහෙම කෙනෙක්. තාත්තට මාව සැහෙන්න වටිනවා. මොන දේ වුණත් එයා මගේ ළඟින් හිටියා. ඒ වගේ ආදරයක්, ඒ වගේ වටිනාකමක් මට දැනෙනවා නම් ඒක තමයි මම හිතන්නේ ඔය අහන එකට උත්තරේ.

කරන්න ආසාවෙන් ඉන්න තවමත් නොලැබුණ චරිතයක් තියෙනවා ද?

රජ කුමාරිකාවකගේ චරිතයක් කරන්න මට ආසාවක් තිබ්බා. ඒක මට රාවණ නිර්මාණය තුළින් ලැබුණා. සිංහලකම තියෙන සිංහල ගැහැනියගේ චරිතයක් කරන්න මම ආසාවෙන් හිටියා. ඒ අවස්ථාවත් ගරුඩ මුහුර්ත්ය, සකර්ම වැනි නිර්මාණවලදී ලැබුණා. ඒ හැර එහෙම කරන්න ආස චරිතයක් තෝරා ගන්න තරමට මම නිර්මාණවල නියැළිලා නැහැ. ඒ නිසා මට ලැබෙන හැම චරිතයක්ම මට අලුත් චරිතයක්. ඒ ඔක්කොම හරි ආදරෙන් කැපවීමෙන් කරන්න මම උත්සහ කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

එහෙම අනාගතය ගැන ලොකුවට හිතලා ජිවත් වෙන කෙනෙක් නෙවෙයි මම. ඒකට හේතුව ජීවිතේ එක මොහොතකින් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියන දේ මම අත්දැකීමෙන් දන්නා දෙයක්. ඒකට හොඳම උදාහරණය මගේ පියාගේ අභාවය. එක මොහොතින් අපේ ජීවිත වෙනස් වුණා. ඒකත් එක්ක ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඉන්න හැම මොහොතක්ම පසුතැවීමකින් තොරව සතුටින් ගත කරන එක තමයි එකම බලාපොරොත්තුව. මගේ පවුලේ අයට මගේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් දේවල්, එයාලව සතුටින් තියන්න පුළුවන් දේවල් තමයි මගේ අනාගතයේ බලාපොරොත්තු අතර තියෙන්නේ. ඒ හැර කාටත් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්නයි ඕනේ.

Comments