
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය මාස කිහිපයේ වචනයක්වත් කතා කළේ නැත. අනුර දිසානායක කතා කරන විට ඒ කතාවලින් ගත හැකි කුමක් හෝ දෙයක් තිබේ. එහෙත් ටිල්වින් සිල්වාගේ කතාවක් අසා නිමවන වන විට අපට හැඟී යන්නේ සිංහල භාෂාවේ අප මෙතෙක් අසා පුරුදු වචන රාශියක් පමණක් ඔහු විසින් වමාරා දමනු ලැබ ඇති බවය. රුපියල ශක්තිමත් වුණා යැයි කියන්නේ බොරුවක් බවත් එය කෘත්‍රිමව ඇති කරන ලද්දක් බවත් ටිල්වින් සිල්වා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය. එම පුවත මාර්තු 8 බදාදා තිනක්කුරල් හා 10 වැනිදා දිනමිණ හා ඩේලිනිවුස් පුවත්පත්වල ද පළ විය.
මෙය ටිල්වින් සිල්වාගේ දැනුම් පරාසය මිස ජනතා විමුක්ති පෙරමුණේ දැනුම් පරාසය නොවන බව සියලු දෙන වටහා ගත යුතුය. එම දැනුම් පරාසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සිටින බුද්ධිමතුන් සිනා නොවිය යුතුය. මෙහිදී අප ටිල්වින් සිල්වා හෙළා දැකීම හෝ ඔහු උපහාසයට ලක්කිරීම නොකළ යුතුය. ඔහු කතා කරන්නේ ඔහු අසා දැනගත් දේ පමණි. එය පත පොතේ දැනුමින් හෝ අන්තර්ජාලයේ තිබෙන තොරතුරුවලින් හෝ යාවත්කාලීන වී නැත. සාමාන්‍යයෙන් ආර්ථිකයක් හසුරුවන ක්‍රමයක් තිබේ. ඇතැම් අවස්ථාවලදී රටේ මුදල් ඒකකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා කිසියම් පියවරක් ගැනීමට මහ බැංකුවට සිදුවේ. පසුගියදා ඩොලරය බැහැගෙන යන විට විවෘත වෙළඳපොළේ තිබෙන ඩොලර් හැකි තරම් එකතු කර ගැනීමට මහ බැංකුවට සිදු විය. රටේ ආර්ථිකයට සාපේක්ෂව ඩොලරයට හිමි විය යුතු නිසි වටිනාකමක් තිබේ. රුපියල් 385ට සහ 395ට තිබූ ඩොලරය රුපියල් 2.50 ට බැස්සොත් ශ්‍රී ලංකාව සමඟ ඩොලර්වලින් ගනුදෙනු කිරීමට කිසිම රටකට හැකිවන්නේ නැත. එවැනි අවස්ථාවකදී විවෘත වෙළඳපොළේ තිබෙන ඩොලර් ටික එකතු කරගෙන ඩොලර් හිඟයක් ඇති කළ විට එහි ඉල්ලුම යථා තත්ත්වයට පත්වේ.
රුපියල ශක්තිමත් වීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට නම් සුප්‍රකට බ්ලූම් බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවියට පිවිසිය යුතුය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි එම වෙබ් අඩවිය කියයි. මෙම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ රුපියලට පසු ඩොලරය ඉදිරියේ ශක්තිමත් වූ ඊළඟ මුදල් ඒකකය වන්නේ මැක්සිකෝවේ පෙසෝ මුදලය. ඊළඟට පිළිවෙළින් කොස්ටරිකා රටේ කොලොන් මුදල් ඒකකය, කසකස්තානයේ ටෙන්ජි මුදල් ඒකකය, හංගේරියාවේ ෆොරින්ට් ඇතුළු මුදල් ඒකක 15ක් පසුගිය දින කිහිපයේදී ශක්තිමත් විය. මෙහිදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙසේ කීවේය. “දැන් අපි කුහක වෙන්න ඕන නෑ. රට යම්කිසි ස්ථාවරභාවයකට ඇවිල්ලා ඉන්නේ. ඒක ඇත්ත. අපි ඒක පිළිගන්නේ නැත්නම් අපි බොරුකාරයෝ වෙනවා. එහෙම වෙන්න හොඳ නෑ. කවුරු හරි කියනවා නම් මේ රුපියල ස්ථාවර වෙලා තියෙන්නේ ඩීල් එකක් නිසා කියලා එහෙම නෑ”
ටිල්වින් සිල්වා කුහකයෙක් නොවන බව අපගේ විශ්වාසය වේ. එහෙත් රුපියල ශක්තිමත් වීම ගැන ඔහු කළ කතාවෙන් පසු ඔහු කුහකයෙක් නේද යන සැකය පොදු ජනතාව තුළ හට ගනී. ටිල්වින්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පළ වූ විවිධ අදහස් අන්තර්ජාලයේ දැකිය හැකිය. මේ අදහස් පළ කරන්නන් විසින් අහිංසක ටිල්වින්ගේ රෙදි ගලවා ඇත. මෙවැනි බරපතළ විෂයයන් ගැන කතා කිරීමේ වගකීම අනුර දිසානායක හෝ විජිත හේරත් හෝ සුනිල් හඳුන්නෙත්ති විසින් බාරගත යුතු බව අපගේ මතය වේ.
රුපියල ශක්තිමත් වීම හෙවත් ඩොලරයේ මිල පහළ යාමත් සමඟම කොටස් වෙළඳපොළේ ගනුදෙනුවල විශාල වර්ධනයක් දැකගත හැකි විය. සියලු කොටස් මිල දර්ශකය හා ඉහළ සහ පහළ මිල දර්ශකය යන දර්ශක දෙකම පසුගිය 7 දා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ ගැන ටිල්වින් සිල්වාගෙන් අපි ප්‍රශ්න නොකරමු. මන්ද මෙබන්දකට උත්තර දීම සඳහා සැලකිය යුතු ආර්ථික දැනුමක් අවශ්‍යය.
දැනට වැටී තිබෙන භයානක අර්බුදයෙන් ගොඩට පැමිණිය යුතුය. මේ අර්බුදය චූන් එකක් හැටියට ගෙන වේදිකාවල පිස්සු කතා කියන උදවිය කෙරෙන් ජනතාව පරෙස්සම් විය යුතුව තිබේ. ඕනෑම දෙයක් දීර්ඝකාලීනව කුණු වනු දැකීම කෙනකුගේ අභිලාශය වන්නේ නම් ඒ පිටුපස කුමක් හෝ කුමන්ත්‍රණයක් නොඑසේ නම් දුෂ්ට චේතනාවක් තිබිය යුතුය. මේ රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ස්වල්පයක් හෝ ඉදිරියට පැමිණීමට රටට හැකිව තිබේ. ඒ කටයුත්ත සඳහා නායකත්වය දීමට රනිල් වික්‍රමසිංහට හැකි විය. ඔහු මේ රටේ ජනතාවට ඡන්ද පොරොන්දු දී නැත. ඡන්ද අල්ලස් දී නැත. ඔහු ගනුදෙනු කරන්නේ ප්‍රගතිශීලී ජනතාවගේ හෘදය සාක්ෂිය සහ තමන්ගේ හෘදය සාක්ෂිය සමඟ පමණි. ඔහු කිසිදු විටක වේදිකාවලට නැඟ පැය ගණන් පල්හෑලි දොඩවා නැත. දේශපාලනඥයන්ගේ ගොබ්බ ප්‍රකාශවලට උත්තර දෙන්නේ ද නැත. ඔහු කිසියම් විවේචනයක් කරන්නේ පාර්ලිමේන්තුව තුළදී පමණි. ඒ විවේචනය අවසානයේදී රට හැදීමට එකතු වන ලෙස ඔහු විපක්ෂයට ආරාධනය කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක යහපාලන ආණ්ඩු කාලයේදී රනිල් වික්‍රමසිංහ සමඟ එකට වැඩ කර ඇත. ඒ නිසා රනිල්ගේ දේශපාලන දර්ශනය ගැන වැඩි දෙනකුට නැති පැහැදිලි අවබෝධයක් අනුර දිසානායකට තිබේ. එහෙත් බලලෝභී දේශපාලනය ඉදිරියේදී අනුර දිසානායකගේ ඇස් පියවී ගොස් තිබේ. මේ මිනිසුන් දකින්නේ බලය පිළිබඳ සිහිනයම පමණි. තමන් බලයට පැමිණියොත් ආධාර ගත හැක්කේ කවර රටකින් ද යන්න ගැනවත් ඔවුනට අවබෝධයක් නැත. ඔවුන්ගේ මිතුරන් වන ලතින් ඇමරිකානු වාමාංශික රජ්‍ය සියල්ල ම අද හිඟා කන තත්ත්වයට පත්ව සිටිති. ඒ මිනිසුන්ගෙන් ණයට තඹ සල්ලියක්වත් ලබා ගැනීමට නොහැකි අතර, එවැනි ණයක් ඉල්ලා සිටීමම පාර්ශ්ව දෙක අතර සම්බන්ධකම් නැතිකර ගැනීම සඳහා හේතුවක් ලෙස යොදා ගැනීමට ඔවුන් කටයුතු කරනවා ඇත.
මේ සියලු කරුණු සලකා අප ටිල්වින් සිල්වාගෙන් ඉල්ලා සිටින්නේ කතාවක් පැවැත්වීමට පෙර හෝ මාධ්‍ය හමුවක් පැවැත්වීමට පෙර අනුර, විජිත, සුනිල් හඳුන්නෙත්ති, ලාල් කාන්ත වැනි අය ලවා පිටපතක් සකස් කරවා ගෙන එය පුරුදු වන ලෙසය. එවිට අඩු අපවාදයක් යටතේ වැඩේ ගොඩ දමා ගැනීමට ඔහුට අවස්ථාව ලැබෙනවා ඇත.