මොළය සහ මනස ගැන හෙළි කරන ශීර්ෂ රේඛාව | සිළුමිණ

මොළය සහ මනස ගැන හෙළි කරන ශීර්ෂ රේඛාව

අල්ලේ නොපිහිටියේ නම් හිස නැති  ශරීරයක් හා සමානයි

ශීර්ෂ රේඛාව පටන් ගන්නේත් ජීවන රේඛාව ආරම්භ වන තැනින්මයි

 

පසුගිය ඉසිවර කලාප තුළින් අත්ලේ ප්‍රධාන රේඛා දෙකක් පිළිබඳව විස්තර කළා ඔබට මතක ඇති. අද අපි හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ තවත් එවැනිම රේඛාවක් පිළිබඳවයි. ඒ තමයි ශීර්ෂ රේඛාව.

ශීර්ෂ රේඛාව ආරම්භ වන්නේත් ජීවන රේඛාව පටන් ගන්නා ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපට ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර ඇති ප්‍රදේශයෙනි. අත්ල මැදින් එය චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරු වෙමින් තම ගමන්මඟ අවසන් කරන බව රූප සටහනින් ඔබට පැහැදිලි වෙනවා ඇත. මෙය මානසික රේඛාව, චිත්ත රේඛාව ලෙස ද සමහරු හඳුන්වනවා. කිසියම් අයකුගේ මොළය, මනස හා සිත ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කරන බැවින් ඒ නම භාවිත කරන්නට ඇත. ජීවිතයේ දියුණුව හෝ බිඳ වැටීම, ඥානය, රෝග පීඩා සහ හිසේ ආබාධ මෙම රේඛාවේ පිහිටීම අනුව නිශ්චය කළ හැකිය. මෙය කෙනෙකුගේ අත්ලේ නොපිහිටියේනම් හෝ හිස නැති ශරීරයක් හා සමානය. මනා ලෙස පිහිටි ශීර්ෂ රේඛාවක් හිමි තැනැත්තා යහපත් වූ ශාරීරික හා මානසික තත්ත්වයකින් හෙබි අයෙකු වේ.

ශීර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදී යන අතර, ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත්, මැණික් කටුව දෙසට විහිද යන කොටසට භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි. රූප සටහනේ පෙන්නුම් කරන මානසික කොටස ලෙස හඳුන්වනුයේ ශීර්ෂ රේඛාවේ උඩ පැත්තයි. භෞතික කොටස යනුවෙන් හඳුන්වනුයේ ශීර්ෂ රේඛාවේ යටි පැත්තයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැනගත හැකිය. නොයෙකුත් ශාරීරික ක්‍රියාකාරකම්, ආයුෂ, සමාජයීය බලපෑම්, ධනය වැනි කරුණු රාශියක් භෞතික කොටසින් දැනගත හැකිය. බාධක රේඛාවලින් නොකැපී ඍජුව, ගැඹුරුව, දික්ව පිහිටි ශීර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්තියක් ඇති පුද්ගලයෙකු හඳුන්වා දෙයි. නොපසුබට උත්සාහයත්, අප්‍රතිහත ධෛර්යත් උපතින් පිහිටන එවන් අත්ල හිමියන් මනා ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇතිකරගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කර ගනිති. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම්, බිඳීම්, දූපත්, දම්වැල්, කතිර, කුරුසය වැනි සලකුණු ඇතිනම් එමඟින් ප්‍රකාශ වන්නේ මොළයට, හිසට සම්බන්ධ ආබාධ ඇති බවයි. හිසරදය, පීනස, නාසය හා කනේ ලෙඩ රෝග වැලඳීමටත් මෙම පිහිටීම් බලපානු ඇත. මෙම ලකුණු අත් දෙකේම එක සමානව පිහිටියේනම් එම කරුණ ස්ථිර ලෙසම සිදුවේ. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් ආරම්භ වීම මොළයේ උණ සෑදීමට හේතු වේ. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය පටු වූ විට ඇදුම රෝගය සෑදීමට හේතු විය හැක. මෙම රේඛා දෙක අතර වඩාත්ම පුළුල් පරතරයක් පිහිටියේනම් හෙතෙම අතෘප්තිකර හැඟීම්වලින් යුක්ත අහංකාර ගතිගුණ ඇත්තෙකු වේ.

ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් කෙළවර වීම සියුම් කල්පනා ශක්තියක් ඇති බව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව ඇද වෙමින් විහිද ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් ඇති නිතර අදහස් වෙනස් වන ගතිගුණ පෙන්වයි. ශීර්ෂ රේඛාව ඍජුව විහිද යාම ස්ථිර අදහස් ඇත්තෙකු වේ. තම මතයටම අනුව ක්‍රියා කිරීම ඔහුගේ ලක්ෂණයකි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට විහිද යාම, සෙනසුරු ඇඟිල්ල (මැද ඇඟිල්ල) මැද තාරකා ලක්ෂණයක් ඇතිවීම උමතු බව ඇතිවීමට හේතුවේ. මෙය අත්ල දෙකේම එක ලෙසට පිහිටියේනම් එම කරුණු ස්ථිර ලෙසම සිදුවේ.

ශීර්ෂ රේඛාවෙන් මතුවන ආරෝහණ රේඛාවක් (උඩ අතට විහිදෙන) ගුරු මණ්ඩලයට විහිද යෑමත් වාසනාවන්ත පිහිටීමක්. එවැනි පිහිටීමක් ඇති අයට රජයේ උසස් තනතුරු ලැබීමට එය හේතු වෙයි.

ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කීපයකටම බෙදී යාමද සුබ පිහිටීමකි. උත්පත්තියෙන්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන් ද ඔවුන් පෙන්නුම් කරති.

යම් අයෙකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී තිබේනම් හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් කැඩී තිබේනම් හෙතෙම හිසේ තුවාල ඇතිවන කෙනෙක් වෙයි. ශීර්ෂ රේඛාව මත හතරැස් කොටුවක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණපෑමක් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්ෂා වෙයි. යමෙකුගේ අත්ලේ රේඛා දෙකක් පිහිටියේනම් එම තැනැත්තා දෙයාකාරයක සිත් ඇත්තෙකු වෙයි. එක් අවස්ථාවක නපුරු කෙනෙක් ලෙස ද තවත් අවස්ථාවක ඉතා කාරුණික කෙනෙක් වශයෙන් ද පෙන්නුම් කරයි.

ශීර්ෂ රේඛාව කෙටියෙන් පිහිටා එය ශනි මණ්ඩලය වෙත නැඹුරු වී තිබීම අශුභය. වික්ෂිප්ත සිතක් ඇති බව එමඟින් ප්‍රකට වෙයි. ස්නායු ආබාධ ඇතිවීමට ද එය හේතු විය හැක. ශීර්ෂ රේඛාවේ අවසානය බොහෝ විට චන්ද්‍ර මණ්ඩලය වෙත නැඹුරු වී ඇති බව දැකිය හැක. එය කොතරම් දුරට චන්ද්‍ර මණ්ඩලය වෙත යොමු වී ඇද්ද ඒ තරමටම කෙනෙකුගේ සිතීමේ ශක්තිය වර්ධනය වනු ඇත. ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ රචකයන්, දාර්ශනිකයන්, නීතිඥයන් මෙන් තර්ක කිරීමේ ශක්තිය ප්‍රගුණ කළ අය මේ යටතට ගැනෙයි. සමහර අයගේ ශීර්ෂ රේඛාව ගෑරුප්පුවක හැඩයෙන් අවසාන වී ඇති අවස්ථා ද දැකිය හැක. එවැනි පුද්ගලයින්ට ඕනෑම ප්‍රශ්නයකට ප්‍රායෝගිකව සහ මනසින් සිතා පරීක්ෂා කොට බැලීමේ හැකියාව ඇත. විශේෂයෙන් නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයගේ අත්ල තුළ එම සලකුණ තිබිය හැක. ශීර්ෂ රේඛාව ත්‍රිශූලයක හැඩයෙන් අවසාන වීමද, ඉතා දුර්ලභ වාසනාවන්ත පිහිටීමකි. කුජ ග්‍රහයාගේ එඩිතර බව, බුධ ග්‍රහයාගේ ව්‍යාපාර දක්ෂතාව, සඳු ග්‍රහයාගේ සිතීමේ ශක්තිය ආදී සියලු ගුණාංග එමඟින් පෙන්නුම් කෙරෙන අතර ඔවුන්ගේ ජීවිතය ද ජයග්‍රහණවලින් පිරුණු එකක් විය හැකිය.

(ලබන සතියේ දෛව රේඛාව පිළිබඳව)

Comments