නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ චරිතය | සිළුමිණ

නමේ මුල් අකුරෙන් කියැවෙන ඔබේ චරිතය

G අකුර හිමියෝ උත්සාහවන්තයෝ

ආර්ථික දියුණුව ගැනම සිතයි - පරාජය වුණත් උත්සාහය අත් නොහරි

ආත්ම ශක්තිය ඉහළ අය- ප්‍රශ්න තිබුණත් සිනහවෙන් කාලය ගත කරයි

 

නමේ මුල් අකුරෙන් කියවෙන ඔබේ චරිතය පිළිබඳ ලිපි මාලාවේ තවත් අකුරක් පිළිබඳව මේ සතියේ කතා කරමු. මෙම ලිපියෙන් ඉංග්‍රීසි භාෂාවේ G අකුරෙන් නම පටන් ගන්නා අයගේ චරිත ස්වභාවය පිළිබඳව විස්තර කෙරේ. මෙයට පෙර කලාපවල A අකුරේ සිට F අකුර දක්වා විස්තර සාකච්ඡා කරන ලදී. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ G අකුරෙන් නම පටන් ගන්නවා සේම ඒ නම ඔබ නිතර භාවිත කර නමක් බවට පත්වීම තුළ මේ ලක්ෂණ වඩාත් ඔබ තුළින් ඉස්මතු වන බවයි. ඔබට G අකුරින් පටන් ගන්න නමක් තිබුණත් එය භාවිත නොකරන්නේ නම් ඔබ තුළ මේ ලක්ෂණ පිළිබිඹු වීම අවම වෙයි. නමක් පුද්ගල ජීවිතයට කෙතරම් බලපානවද යන්න කලින් ලිපිවල දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. ඉතින් ඔබත් G අකුරෙන් නම පටන් ගන්න කෙනෙක් නම් ඔබ තුළ මොන වාගේ ලක්ෂණ ක්‍රියාත්මක වෙනවාද යන්න මේ තුළින් ඔබට දැනගන්නට හැකිය.

නමේ මුලට G අකුර එන අය සිතිවිලි බොහෝ හිතේ ඇති කරගන්න අතර සෑම දෙයක් ගැනම හොඳින් සිතා බලා කටයුතු කරන ගතිය පවතී. ජීවිතයේ බොහෝ දේවල් ගැන සිහින මවයි. ඒ සිහින සැබෑ කරගැනීමට ද ඒ වගේම මොවුන්ට ලොකු ශක්තියක් තිබේ. ආත්ම ශක්තිය අතින් ඉහළම පුද්ගලයන් ලෙස මේ පුද්ගලයන් හඳුන්වා දිය හැකිය. පහළට ගලන ගඟක ඉහළට පීනන අයෙක් සේ ජීවිතේ කුමන අභියෝග පැමිණියත් ඒ සියල්ල සුබවාදීව භාර ගෙන ඒවාට මුහුණදීම මොවුන්ගේ ස්වභාවයයි. මොවුන් හැම විටෙකදීම වර්තමාන මොහොතට වඩා ඉදිරි අනාගතය ගැන කල්පනා කර කටයුතු කරන අයයි. මොවුන්ට යම් දෙයක සමස්තය දැකීමේ විශේෂ හැකියාවක් පවතී. යම් දෙයක් කිරීමට පෙර එය කළ පසු ඇතිවන ප්‍රතිඵලය ගැන කල්පනා කරයි. කුමන ප්‍රශ්න ජීවිතය තුළ තිබුණත් ඒ සියල්ල අමතක කර සිනාමුසු මුහුණින් කටයුතු කිරීමේ ස්වභාවයක් වෙයි.

මොවුන් සමහර දේවල් ඕනැවට වඩා ලොකුවට සිතා හොඳින් සැලසුම් කර පිළිවෙළට කරන්නට යෑම තුළ අසාර්ථක වන අවස්ථා ද තිබේ. ජීවිතයේ අත්දැකීම් ලබමින් ඉදිරියට යෑම මොවුන්ගේ ස්වභාවයයි. G අකුර හිමියන් ජීවිතයේ වැඩි අවධානයක් යොමු කරන්නේ තමාගේ ආර්ථිකමය වශයෙන් දියුණුවක් ඇති කර ගැනීම පිළිබඳවයි.

වත්පොහොසත්කම් ගොඩනඟා ගැනීම සඳහා මොවුන් බොහෝ කැප කිරීම් කරයි. මොවුන් පොඩි දේකින් කලබලයට පත්වන අය නොවේ. බැලූ බැල්මට මොවුන් ඔහේ සිටින පුද්ගලයින් ලෙස අනිත් අයට පෙනේ. නමුත් යම් අවශ්‍යතාවක් පැන නැඟුණු විට වහාම ක්‍රියාත්මක වී කටයුතු කිරීමට පෙළඹෙයි. ජීවිතයේ කුමන පරාජයකදී වුවත් උත්සාහය අත්නොහරින ගතිය මොවුන් තුළ ඇත.

ඒ නිසාම G අකුර හිමියන්ට සාර්ථකත්වය අතින් ඉහළට යෑමේ හැකියාව පවතී. වැඩ කටයුතු කිරීමේදී ක්‍රමානුකූල බව සහ පිළිවෙළක් මොවුන් තුළින් දැකිය හැකිය. අපගේ අත්දැකීම් අනුව මෙම අකුර ව්‍යාපාර නාම සඳහා වඩාත් උචිත බව පෙනී ගොස් ඇත. නමුත් එය කාර්යයට අදාළ සුබ ගණයකින් විය යුතුයි. කුමන අසීරු අවස්ථාවකදී වුවත් ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට මොවුන් සමත් වෙයි. මොවුන්ට ජීවිතයේ බොහෝ දුෂ්කර කාල වකවානු සහ අභියෝගවලට මුහුණ දීමට සිදු වන බව කිව යුතුය. පසු නොබසින උත්සාහය සහ උනන්දුවත් ප්‍රබල ආත්ම ශක්තියත් උරුම කරගත් මොවුන් ජීවිතයේ සාර්ථකත්වය ලැබීමට වාසනාව ඇති පුද්ගලයින් බව කිව හැකිය.

H අකුරෙන් නම පටන් ගන්නා ඔබ ගැන ලබන කලාපයෙන්.

 ඒ. ජේ. දීපාලෝක

(ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය ඉසිවර සහන ජ්‍යොතිෂ්‍යය සේවය)

Comments