දරුවකුට පල දෙන නමක් තබද්දී වැදගත් අක්ෂර චක්‍ර 2ක් | සිළුමිණ

දරුවකුට පල දෙන නමක් තබද්දී වැදගත් අක්ෂර චක්‍ර 2ක්

දරුවකුට උසස් එලෙසම පල දෙන නමක් තැබීමේදී නැතහොත් ඇතැම් විට වැඩිහිටියකුගේ නමක් වඩා සපල ලෙස සකස් කරගැනීමේ දී නැකැත් හිමි අකුරු චක්‍රය මෙන්ම වැදගත් ලෙස සලකා තවත් චක්‍ර දෙකක් කෙරෙහි ශබ්ද ශාස්ත්‍රයේ දී අවධානය යොමු කරනු ලැබේ. එනම් ලග්න හිමි අක්ෂර චක්‍රය හා දින හිමි අක්ෂර චක්‍රයයි.

උපන් වේලාව අනුව දරුවාට හිමි ලග්නය තෝරාගෙන ඒ ලග්නයට අයත් අකුරක් නමෙහි මුලට යෙදීම මෙහි දී භාවිත වන ක්‍රමවේදයයි. මෙය පැහැදිලිව පරීක්‍ෂා කර බැලීමේදී පෙනී යන කරුණක්නම්, අප හෝඩියෙහි දී වර්ගාක්ෂර ලෙස සලකන අකුරු ( ක සිට ම තෙක් ඇති අකුරු) සහ අන්තඃස්ථ ලෙස සලකන (ය ර ල ව) අකුරු මෙහි තුලාවේ සිට මීනය තෙක් පිළිවෙළින් යෙදී ඇති සැටිය. එ මෙන් ම මේෂයේ සිට කන්‍යාව තෙක් ඇත්තේ ද ස්වර අක්ෂර අගට ඌෂ්ම අක්ෂරයක් යෙදුණු අකුරු එකතුවක් බව ද පෙනේ (සිංහයට පමණක් ‘ළ’ යෙදේ). මේ අනුව පැහැදිලි වන්නේ ලග්න හිමි අක්ෂර චක්‍රය අපේ හෝඩිය හා සමාන්තරව යන්නක් බවයි.

මීළඟට ඇත්තේ දින හිමි අක්ෂර චක්‍රයයි. මෙහි දී දරුවා උපන් දිනය (ඉරිදා, සඳුදා ආදි) අනුව එයට හිමි අක්ෂර අතුරින් එකක් මුලට යොදා නම සැකැසීම කරනු ලැබේ.

මෙහිදී පැහැදිලි ව පෙනෙන කරුණනම් ඉරිදා සිට පිළිවෙළින් ‘අ’ අක්ෂරයේ සිට හෝඩියේ අකුරු යෙදී ඇති සැටියි. එක ම වෙනස වන්නේ හෝඩියේ අග ම ඇති අන්තඃස්ථ සහ ඌෂ්ම අක්ෂර (ය ර ල ව ශ ෂ ස හ ළ) සතියේ දෙවන දිනය වන සඳුදාට යෙදී තිබීමයි.

ශුභ හෙවත් අභීෂ්ට ඵලදායක නාමයක් සකස් කිරීමේදී එහි පළමු අකුර තෝරාගන්නා තවත් ක්‍රමයක් ශබ්ද ශාස්ත්‍රයේ දී දක්වනු ලැබේ. එනම් සුර, නර, අවා යනුවෙන් කරන අක්ෂර වර්ගීකරණයයි. දිව්‍ය, මනුෂ්‍ය, අපාය අක්ෂර යනුවෙන් දැක්වෙන්නේ ද මෙය ම ය. මෙය ඉතා පැහැදිලි ව දක්වා ඇත්තේ පැරැණි ම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සඟරාවෙහි ය. එහි මෙසේ දැක්වේ.

එ ක ය ම ර ජ අ ණ න ල අං අවාකර

උ ප බ ග හා නර නමි’තිරි වේ අමර

සුර’කර පෙර පසැ වැඩ දේ අවාකර

නසා සුබ සියල් නරකුරු මැදුම් සර

මේ අනුව ‘එ, ඒ, ක, ම, ර, ජ, අ, ආ, ණ, න, ල, අං’ යනු අවාකර හෙවත් අපායාක්ෂර වේ. ‘උ, ඌ, ප, බ, ග, හ’ යනු නරකර හෙවත් මනුෂ්‍ය අක්ෂර වේ. ඉතිරිය, එ නම් ‘ඉ, ඊ, ඔ, ඕ, ට, ඩ, ත, ද, ල, ව, ස’ යනු සුරකර හෙවත් දිව්‍යාක්ෂර වේ. දිව්‍යාක්ෂරයක් නමෙහි මුලට යෙදීමෙන් ඉතා ශුභ හෙවත් අභීෂ්ට ඵල ලැබෙන බව ද මනුෂ්‍ය අක්ෂරයක් මුලට යෙදීමෙන් සාමාන්‍ය ශුභ ඵල ලැබෙන බව ද අපායාක්ෂරයක් නමෙහි මුලට යෙදීමෙන් අශුභ ඵල ලැබෙන බව ද සාමාන්‍ය පිළිගැනීම යි. එ නමුදු මෙහි කලින් දක්වන ලද නැකැත්, දින, ලග්න හිමි අකුරු මෙන් මේ අකුරු කෙරෙහි දැඩි අවධානයක් නාමකරණයේ දී යොමු කරනු නො ලැබේ. නැකැත්, දින, ලග්න අනුව ශුභ නම් අපායක්ෂරයක් වුව ද නමෙහි මුලට යෙදීම බොහෝ විට සිදු කෙරේ.

මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් නම් නමක් යනු අකුරු ගණනාවක එකතුවක් බැවින් එක අකුරක් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නොවන බව යි. ශුභ ඵල ලැබීම සඳහා නමෙහි අකුරු මුළු එකතුව ගැන ම සැලැකිල්ල යොමු කළ යුතු වේ.

 

Comments