ගොම්මන් කාලයේ හැඬුවොත් මූ දේවිය එනවාමයි | සිළුමිණ

ගොම්මන් කාලයේ හැඬුවොත් මූ දේවිය එනවාමයි

නොකළ යුතු කාරණා 17ක්

හිරු බැස යෑමෙන් පසුව  ඔබගේ දියුණුවට බාධාවන් ගෙන දෙන ඔබ කිසි විට නොකළ යුතු දේ දැනගන්න මිදුල අතු ගෑමෙන්  නිවෙස ඇමදීමෙන් ධන හානි මස් මාංශ තෙලෙන් බදින්න එපා නිදන ඇඳ මත වකුටු වී නිදන්න එපා

 

හින්දු ජ්‍යොතිෂය ගුප්ත ශාස්ත්‍රයන්ට අනුව අප විසින් එදිනෙදා කරන කටයුතුවලදී අපගේ ජීවිතවල දියුණුවට හෝ කඩාවැටීම්වලට බලපෑම් සිදු කරන බොහෝ සිදු වීම් ඇත. මේවා ගැන ඉතා හොදින් ගුප්ත ශාස්ත්‍රය තුළ පැහැදිලි කරනු ලබයි. තවද ජ්‍යොතිෂය තුළ මේවා දුගී බව අවාසනාව ගෙන දෙන කාරණාවන් බව පෙන්වා දී ඇත.

යම් කෙනකුට මේ ගැන විශ්වාසයක් ඇති කරගෙන, ඒ කරුණු කාරණා පිළිගෙන, නොකළ යුතු දෑ නොකර සිටීමටත්, කළ යුතු දෑ නොපමාව සිදු කොට ප්‍රතිඵල ලබා ගැනීමටත්, මේ කාරණා මිථ්‍යාවන් ලෙස සලකා ප්‍රතික්ෂේප කොට දැමීමටත් තම තමන්ට පූර්ණ නිදහස ඇති බව මුලින්ම සිහිපත් කර සිටිමි.

ඉහත සඳහන් කළ ආකාරයෙන් හිරු බැස යාමෙන් පසුව අප කිසි විටෙක නොකළ යුතු කාරණාවන් කිහිපයක් වේ. ඒවා කිරීමෙන් පුද්ගලයන් පිරිහීමට ලක්වන බවත්, දියුණුව නැවතී නොයෙක් කඩා වැටීම්වලට ලක්‌ වන බවත්, දුගී බවින්, දරිද්‍රතාවයෙන් දිනෙන් දින ගිලී යන බවත්, ශ්‍රී මහා ලක්‍ෂ්මි දේවිය එම කටයුතු කරනා පුද්ගලයන් කෙරෙහි කලකිරි එම ස්ථානයන්ට තමන්ගේ ආකර්ෂණය ලබා නොදෙන බවත් ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත.

ඒ අනුව හිරු බැස යාමෙන් පසු කිසි විටෙක නොකළ යුතු දෑ මොනවාද?

හිරු බැස යාමෙන් පසුව නි‍ෙවස තුළ හෝ ගෙමිදුල අතුගෑම නොකළ යුතුය. මෙයින් මහා ලක්‍ෂ්මි දේවිය කුපිත වේ. එසේ කිරීමෙන් එම නි‍ෙවසේ ධන හානිය ශීඝ්‍ර වේ. ව්‍යාපාර ස්ථානයක්‌ නම් ව්‍යාපාරයන් පිරිහේ.

එසේම හිරු බැස යාමෙන් පසුව තම නිදන ඇඳ මත වකුටු වී නිදා ගැනීම නොකළ යුතුය. සාමාන්‍ය නිදන වෙලාවට පෙර අලසකම නිසා මෙසේ ඇඳන් මත නිදා ගැනීම, ඇඳට හේත්තු වී බිම වකුටුව හිඳගෙන සිටිම ඉතා අශුභ වේ. මෙසේ නිතර දෙවෙලේ කරන්නන්ට තම ඥාතියෙකුගේ මරණයක්‌ ගැන හෝ අනතුරක් ගැන ආසන්නට ලැබේ. සවස් කාලයේ සාධාරණ හේතුවක්‌ ඇතිව හෝ අහේතුකව යමෙක් හඬයිනම්, සුසුම් හෙළමින් කල් ගෙවයිනම් එම නිවෙස් අමනුෂ්‍ය ග්‍රහණයන්ට ගොදුරු වේ. ඔවුනට දේව ආශීර්වාද නොලැබී යයි. යහපත් විශ්ව ශක්තින් නි‍ෙවසට ඇතුළු නොවේ. නිතර අඬන වැලපෙන, ශෝක කරන ඇත්තන් මානසිකව ඉතා දුර්වල අය වන නිසා ඉතා පහසුවෙන්ම අමනුෂ්‍ය ග්‍රහණයන්ට හා හිරිහැරවලට ලක්‌වේ.

සවස් කාලයේ මස් මාංශ ආහාර පිසීම, තෙලින් බැදීම ආදී දෑ සිදු කිරීමෙන් නි‍ෙවසේ සමගියට, ශාන්තියට බාධා දෝෂ ඇති වේ. එකිනෙකා අතර අඬදබර ඇති වේ. කෙතරම් සැප සම්පත් තිබුණත් සෑම විටකම නිවැසියන් තුළ නොසන්සුන්කමින්, අසතුටකින් යුතු මානසිකත්වයන් ඇතිවේ. මීට අමතරව මස් මාංශ අතර ගව මාංශ, සූකර (උරූ) මාංශ, වැව් මාළු ආදීය සවස් කාලයේදී පිසීනම් ඉහත කී දෝෂයන් තව තවත් උග්‍රවේ.

මේ අතර ගුප්ත ශාස්ත්‍රය තුළ විශ්වයේ දේව ශක්තීන් බලවත් ව ක්‍රියාත්මක වන අමාවාස දින, පොහොය දින, විශේෂයෙන් "අඟහරුවාදා", "සිකුරාදා", "සෙනසුරාදා" දිනයන් තුළ කිසිම විටෙක මාංශ අහාර පිසීම හෝ ආහාරයට නොගෙන සිටීම ඉතා වැදගත් ශුභ දෙයක් ලෙස පැහැදිලි කර ඇත.

හිරු බැස යාමෙන් පසුව ඔබ නි‍ෙවසේ ඇති කිරි (එළකිරි) මුදවපු කිරි පිට අයෙකුට නොදීය යුතුය. මුදවපු කිරි ධන සම්පත්තිය, ආකර්ෂණය, වාසනාව ලබා දෙන "ශුක්‍ර" හෙවත් "සිකුරු" ග්‍රහ දේවතාවට අයත් මූල පදාර්ථයක්‌ වන නිසා, මුදවපු කිරි එම කාලය තුළදී පිටතට ඇරීම අශුභ කාරණාවක් ලෙස සැලකේ.

ඉහත සඳහන් ආකාරයෙන්ම සවස් කාලයේදී ධාන්‍ය වර්ග, කුළුබඩු, පලතුරු වැනි දෑ පිටස්තර අයකුට ලබාදීම අශුභ කාරණාවක්‌ වන බව සඳහන් වේ. උදාහරණයක්‌ ලෙස "නව ග්‍රහයන්" නව ධාන්‍ය වර්ගයකට අධිගෘහිත වේ. ඔබ විසින් පෙර කී ආකාරයට එම ධාන්‍යන් සවස් කාලයේ පිට අයකුට කුමන හෝ හේතුවකට, දුන්නත් ඔබට නව ග්‍රහයින්ගේ දෝෂයන් ඇති වන බව පැවසේ.

හිරු බැස ගිය සමයේ කිසි විටෙක පිට අයෙකුට මුදල් ණයට ලබා නොදෙන්න. මෙය ප්‍රබල වශයෙන් හින්ඳුන් විසින් අතීතයේ සිටම අනුගමනය කරනා පිළිවෙතකී. පරිත්‍යාගයක් වශයෙන් හෝ මුදල් හිරු බැස යාමෙන් පසුව ලබා නොදීමට ඔබ සැලකිලීමත් විය යුතුයි.

හිරු බැස යාමෙන් පසු කාලය තුළ යමෙක් මුහුණ බලන කණ්ණාඩි සමඟ සෙල්ලම් කරමින්, තමන්ගේ හැඩ බලමින් වැඩි කාලයක් ගත කරන්නේනම්, ඔවුනට නොයෙක් අයහපත් බලවේගයන්ගෙන් දෝෂ ඇති වන බව පැවසේ. (රාත්‍රියට කණ්ණාඩියෙන් ඔබේ අත්‍යවශ්‍ය කාරණාවන් වෙනුවෙන් මුහුණ බැලුවාට කම් නැත. නමුත් නිස්කාරණයේ කණ්ණාඩි සමඟ කාලය ගත කරන අය මේ ගැන සැලකිලිමත් විය යුතුය.)

හිරු බැස යාමෙන් පසුව හිසකෙස් කැපීම, නිය කැපීම, රෝම කුප ගැලවීම, දත් ගැලවීම, රැවුල් කැපීම නොකළ යුතුය. මෙයින් ඔබ‍ට අවාසනාව ගෙන දෙන බවත්, ඔබට ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම් ඇති වන බවත්, ධන හානි සිදු වන බවත්, රෝගාබාධයන්ට වහා වහ ලක්‌ වන බවත් පැවසේ.

සවස් කාලයේ යමක හිඳගෙන කකුල් පද්දමින් සිටිම ඉතා අශුභ ලෙස සැලකේ. මෙමඟින් නි‍ෙවසේ ප්‍රධානියාට අවාසනාව ඇති වේ. ධන හානි සිදු වේ. නිවසේ ගෘහිනිය රෝගීව එක්තැන් වේ. එමෙන්ම ඔබ‍ හිඳගන්නා විට නි‍ෙවසේ පූජාසනය, බුදු කුටිය, පහන් පැල ඇති දිශාවට දෙපා දික් කර සිටීමෙන් ඔබට, නි‍ෙවසට බොහෝ දෝෂ ගෙන දේ. දෙවි දෝෂ ඇති වේ. යමෙකු ඊශාන දිශාවට දෙපා ඉහළින් සිටින සේ තබා හිඳගෙන සිටීමට පුරුදුව සිටීනම් ඔහුට පෙර කී සියලුම දෝෂයන් ඇති වේ.

හිරු බැස යාමෙන් පසුව ඔබේ නි‍ෙවස අඳුරු වේනම් වහා එම අඳුරු ස්ථානයන් ආලෝකවත් කළ යුතුය. නි‍ෙවස අඳුරේම තිබෙන්නට නොහැරිය යුතුය. අඳුරු වැටුණු පසු කාලය විශ්වයේ අඳුරු අයහපත් දුෂ්ට බලවේගයන් සක්‍රියව ක්‍රියාත්මක වන කාලයයි.

එසේම හිරු බැස යාමෙන් පසුව නිෙවසේ ඇති ආයුධ පරිහරණය කිරීමෙන් වැළකී සිටිය යුතුය. අත්‍යවශ්‍යම කාරණාවන්ට පමණක් ආයුධවලින් සිදු කරනා කටයුතු සිමා කළ යුතුය. පෙර කී ආකාරයෙන් අඳුර වැටුණු පසු කාලය අයහපත් අඳුරු බලවේගයන් රජ කරනා කාලයයි. මේ කාලය තුළ නිරතුරුව නි‍ෙවසේ ඇති පිහි, මන්නා, කැති, අඬු, කියත්, හිරමණ, කතුරු, ඉදිකටු, බ්ලේඩ් තල, කියත් පටි වැනි ආයුධ ලෙස ගැනෙනා උපකරණ භාවිතාවෙන් හැකිතාක්‌ වැළකී සිටිය යුතුය.

Comments