ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය ගැන මහ බැංකු අධිපති කියයි | Page 2 | සිළුමිණ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය ගැන මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වනවිට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරයි.
 
වාණිජ ණයහිමියන් සමඟ පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරීමටද බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා රොයිටර් පුවත් සේවයට සදහන් කර ඇත. 
 
එසේම ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 06කදී සිදුකිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටත් හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.
 
රොයිටර් පුවත් සේවය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට බොහෝවිට මාර්තු 20වැනිදා වනවිට ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීමේ අවසන් අනුමැතිය ලැබෙනු ඇති බවට අනුමාන කරන බවය.
 
"විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය නුදුරේදීම ප්‍රකාශයට පත්කරනවා. එහි අන්තර්ගතවෙනවා ණය ප්‍රතිව්‍යුහත කිරීම සඳහා අපේ වෑයම. එසේම මාධ්‍ය කාලීන අපේ ණය ඉලක්කයන් සම්බන්ධයෙන්ද එහි අන්තර්ගතයි. එමගින් දීර්ඝකාලීනව ණය තිරසර බව ඇතිකරගැනීම අපේ අපේක්ෂාවයි "යැයි මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සදහන් කර ඇත.  
 

Comments