බංග්ලාදේශයේ අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් - 19ක් මරුට | සිළුමිණ

බංග්ලාදේශයේ අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමක් - 19ක් මරුට

බංගලාදේශයේ ඩකා අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
අදාළ පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.
 
පිපිරීම හේතුවෙන් 100ක ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. 
 
අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවා නිලධාරියෙක් වන දිනමෝනි ෂර්මා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ, මහල් හතකින් යුත් ගොඩනැගිල්ලක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර, එහි මහල් දෙකකට දැඩි හානි සිදුව ඇති බවයි.
 
අදාල ගොඩනැගිල්ල තුළ සනීපාරක්ෂක උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් කිහිපයක් තිබී ඇති අතර පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ප්‍රතිවිරුද්ධ පැත්තේ නවතා තිබූ බස් රථයකට ද හානි සිදුවී ඇති බව එම නිලධාරියා සඳහන් කර තිබේ.
 
පිපිරීමට හේතුව අපැහැදිලි බවත්, මුදාගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වා ඇත.

Comments