සිල්ලර ප්‍රේමය | සිළුමිණ

සිල්ලර ප්‍රේමය

කොlඑම්. ජී. අරුණ තිලංක

කොටුව බෝ ගහ සිල්ලර කඩ ගොඩක් මැද තවමත් නිසොල්මන්ව විරාජමානව වැඩ සිටී. මහ අව් කට්ටේ, විෂ දුමාරයත් දරමින් ශාන්තව සිටිනුයේ ඕනෑම විපර්යාසයකට උපේක්‍ෂාවෙන් මුහුණ දීමට හැකි බව කියන්නාක් මෙනි.

සෑම දිනකම දෙනෝ දාහක් බෝ ගහ පසු කර එහෙ මෙහේ යන්නේ ඇවිස්සුණ කඩි ගුලක් මෙනි. ඒ අතර මම ද වෙහෙසට පත් මගියෙක්මි. පුරුද්දට මෙන් මොහොතක් බෝ ගස ළඟ නැවතී, ඒ දෙස බැලිමි. කලබලකාරී පරිසරයක නිහඬවම වැඩ ඉන්න හැටි... "ලාභයි... ලාභයි ගොඩම සීයයි...මහත්තයෝ ගන්නවාද?" මට එය ඇසුණද, නො ඇසුණා මෙන් නැවතත් බෝ ගස දෙස බැලිමි. "මහත්තයෝ... මහත්තයෝ...බඩු ලාභයි..ගන්නවද?" කරදරකාර වෙළෙන්දා දෙස අමනාපයෙන් බලත්ම, තමා තෝරා ගත්තේ වැරදි ගැනුම්කාරයෙක් බව තේරුම් ගත් වෙළෙන්දා, වෙනත් කෙනකු දෙස බලා "මහත්තයෝ...මහත්තයෝ.." කියද්දී මා නැවත බෝ ගස දෙසම බලන්නට විමි. බෝ ගහ ද මැදහත් සිතින් මා දෙස බලා සිටින සෙයකි; අපූර්වයකි... නිවුණෙමි මොහොතකට...

ප්‍රේමය සිත්තරාට අපූර්ව සිතුවමකි. කවියාට තවත් එක් කවියකි. ලේඛකයාට රසවත් කතාවකි. හුදෙක් ප්‍රේමය කුමක්දැයි සිල්ලර වෙළෙන්දකුගෙන් ඇසුවොත්," ප්‍රේමයත් මේ රෙදි ගොඩ වගෙයි. ගොඩම 100යි, නැත්නම් 200 යි. ලාබෙට බාල බඩු. නොවිකුණොත් අවුට් ෆැෂන්. විකුණුණොත්...ආයේ මාසෙකින් ගත්ත කෙනා රෙදි තට්ටු පීරා...අඩුවටම හොයාවී ලාබ රෙදි....අලුත් ටික කලයි. පරණ වෙනකොට හෝද හෝදා පට්ට ගහන අය අඩුයි."රේල් පාරක සිල්පර කොටන්, මහ මුහුද, දිය ඇලි සිල්ලර ප්‍රේමයේ අවසන් හුස්ම කොතෙකුත් විඳ ඇද්ද? මේ මොහොතේ මම දැඩි කල්පනාවක නිමග්නව ප්‍රේමය ගැන සිතමි; විඳිමි; විඳවමි.

එසේ සිතමින්, විඳිමින්, විඳවමින් සිත ක්‍ෂණිකවම අතීතයට පියමැන්නේ මටත් නොදැනීමය.

මීට අවරුදු විස්සකට පෙරාතුව සරසවි සිසුවකු ලෙස ගත කළ කාලය කොතරම් නම් සුන්දරද? ජීවිතයේ හොඳම ගුරුවරුන්, හොඳම මිත්‍රයන් හමු වූයේ සරසවි භූමියේදීය. පළමු වසර අවසානයේ සමාජ විද්‍යාව විශේෂවේදී උපාධි සඳහා තෝරා ගැනීම පිළිබඳ අදටත් මා හට සතුටු විය හැකිය. සමාජ සත්ත්වයකු ලෙස පරිණාමය වන මිනිසාගේ ගතික පැවැතුම් පිළිබඳ අවබෝධය නොවන්නට.....කටුක දුක් නමැති සුනාමියට හසුව ඇඹරී, තැළී, පොඩි වී, වැළැලී ගිය තැනක ගසුත් පැළ වී හමාරය.

"ගජනායක ආදරය ගැන මොනවද හිතන්නේ?" දිනක් නිමාලි මගෙන් සමාජ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවක ආදරය පිළිබඳ විමසුවා යාන්තමින් මතකය.

"ආදරය හ්ම්... එක හරිම සුන්දර දෙයක් නේද නිමාලි?" පාසල් අවදියේ සුන්දර ප්‍රේමයකට හිමිකම් කියන මා ආදරය ගැන කෙටිම කෙටි පිළිතුරක් දී නිහඬ විමි.

"වරකා කන්නේම කළු කපුටෝ..."අජිත් කියද්දී, "ඔව් බං...ආං බලහං යැයි..."මනෝජ් මල් දෙවැටේ උකුළු මුකුළු පානා ජෝඩු කිහිපයක් පෙන්නුවේය.

“හරි හරි ආදරේ කියන්නේ කළු, සුදු අතර තරගයක් නෙමෙයි. හිත් දෙකක් අතර ඇතිවෙන ආත්මීය බැඳීමක්, ඒක හරි සුන්දරයි.” නිමාලි මනෝජ් දෙස බලමින් පැවසුවේ හරියට සමාජ විද්‍යාඥයකු ආදරය යනු කුමක් දැයි විස්තර කරන්නාක් මෙනි.

නිමාලි, අජිත්, මනෝජ්, අප්සරා, රුවිනි හා මා සරසවි ජීවිතයේ එකම කුලකයකට අයත් යාළු මිත්‍රයෝ වූහ. එකම විෂය ධාරවකට අයත් වූ නිසා නිරන්තරයෙන් සමාජ ප්‍රශ්න, සමාජ විද්‍යා පර්යේෂණ හා සමාජ විද්‍යාඥයන් පිළිබඳ තර්ක විතර්ක නිරන්තරයෙන් ඇති වූවත්, බොහෝ අවස්ථාවල එම සාකච්ඡා කෙළවර වූයේ ආදරය, විවාහය වැනි රසවත් මාතෘකාවලිනි.

“මම නම් කවදා හරි කසාද බඳින්නේ ගමේ ඉන්න මගේ බෝයි ෆ්‍රෙන්ඩ් විතරයි.” ඒ, රුවිනි තම ප්‍රේම පුරාණය දිගහැරි අවස්ථාවල නිතර පැවසූ වදනකි. රුවිනිගේ ආදර කතාව අහන සෑම මොහොතකම, මට ද ඉස්කෝලේ සියඹලා ගහ, වැව් තාවුල්ල මතක් වී සිතට යම් මිහිරක් ඇති වීම වළක්වා ගත නොහැකි විය. දිනක් අම්මා ලියුම් කඩදාසියක “ආන් අර සක්කර වට්ටම පැනලා ගිහින්" යැයි ලියා එවා තිබුණේ ඇය ද මාගේ ප්‍රථම ප්‍රේමයේ විරුද්ධ පාර්ශ්වයේ සාක්‍ෂි කාරියක වූ නිසාය. ගෙදරින් විරුද්ධ වූ නිසාම ඒ මුල් ප්‍රේමයේ ආයුෂ ඉතා අඩු විය. එහෙත් කවුදෝ කියන්නාක් මෙන් හිතේ පැළ වූ පළමු ප්‍රේමයේ සුන්දර මතකය සිත් කොනක තවමත් පැල පදියම් වී ඇති සෙයකි. එවැනි අවස්ථාවල නිමාලිත් අජිතුත් දෑත් අල්ලා සිනාසුණේ ඔවුන්ට ද එවැනි සුන්දර අතීතයක් තිබූ බව හැඟවීමටය. මනෝජ් ඇස් අගින් අප්සරා දෙස බැලුවේ ලොකු කතාවක ආරම්භය සනිටුහන් කරන්නට ඉඟි පාමිනි.

සරසවියේ සිවු වැනි වසර අවසාන වන විට මනෝජ් සහ අප්සරා ප්‍රේමවන්තයන් බවට පත් වූවත්, නිමාලිගේ හා අජිත්ගේ ප්‍රේමයට කණ කොකා හඬන්නට විය. රුවිනි ද සරසවි ප්‍රේමයක හිමිකාරියක් බවට පත් වූවාය. උත්පත්ති දෝෂයක් නිසාදෝ දිගු ප්‍රේමයක උරුමය මා හට අහිමි වූවත්, බත් කොක්කක් හා නෝට් කොක්කක් සෙට් කර ගැනීමට හැකි වීම යම් අස්වැසිල්ලක් විය.

කාලය මැවූ වෙනසක අරුමය.... හරියටම සරසවියෙන් නික්ම අවුරුදු එක හමාරකට පසුව පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී හමු වූ අප නැවත වෙන් වූයේ මිතුදම සදාතනිකව පවත්වා ගැනීමට සපථ කරමිනි. එක බත් පතේ රස විඳි, එකට තර්ක විතර්ක කළ හිත් එක් වෙද්දී, වෙන් වෙද්දී කළු උපාධි ලෝගුව ඇඳ, උපාධි බම්බුව අත දරා කැමරාව ඉදිරියට ගියේ තවත් එක මතකයක් සිතුවම් කරවමිනි. තවමත් රාමු කළ ඒ ඡායාරූප දෙක අල්මාරියේ උඩ නිහඬවම බලා සිටිමින් ඒ සුන්දර අතීතය සිහිපත් කරවයි.

උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයා ගැනීමට මාගේ ඊළඟ ඉලක්කය විය. කරදරයකින් තොරවම මන්ත්‍රීතුමාගේ ලිස්ට් එකෙන් ගොඩ යෑමට හැකි වීම ජීවිතයේ ලැබූ තවත් එක් ජයග්‍රහණයකි. රස්සාව හරි ගියාට පරස්තාව හරි නොයෑම පවුලේම ගැටලුවක් බවට පත් වන්නට වැඩි කලක් ගත නොවීය.

“පුතා එක්කෝ උඹ හොයා ගනින්... නැත්නම් අපි හොයලා දෙනවා”

“මගේ ඇස් පියවෙන්න ඉස්සෙල්ලා පොඩි කෙලීටත් කසාදයක් කරල දෙන්න ඕන” අම්මාගේ කරදරය ඉවරයක් නොවන තැන, “එහෙනම් අම්මට හොඳ තැනකින් ලේලි කෙනෙක් හොයා ගන්න එකයි ඇත්තේ” යැයි කී මගේ ඒ වචන ටිකම අම්මාගේ ඉහේ මලක් පිපෙන්නට තරම් ප්‍රමාණවත්ය.

වැඩි දවසක් ගත නොවීය. හැන්දෑවේ වැඩ ඇරී ගෙදර එන විට ගමේ කපු මහතා ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වී බුලත් විටක් හපමින් මව සමඟ පිළිසඳරේ යෙදී සිටිනු දුටුවෙමි. "මල මඟුලයි. අම්මට තියෙන හදිස්සියක්" සිතින් මටම කියා ගනිමින් මඳහසක් පා ගේ තුළට යන්නට සැරසෙද්දීම අම්මා මා ඇමතුවාය. “පුතේ පොඩ්ඩක් මෙහෙට ආව නම්”

“ඉන්න අම්මේ, මම ඉක්මනට එන්නම්”

"පුතේ මේ කපු මහත්තයා ඇවිල්ලා තියෙන්නේ උඹට මඟුලක් හොයන්න..." මා උළුවස්සෙන් ඉස්තෝප්පුවට එන්නටත් පෙර අම්මා කීවාය. “ඔව් මං මේ නන්දාවතී නෝනේ කිව්ව නිසාමයි මේ ආවේ....... ලබන මාසේ මුල අපි ගිහින් බලමු.... හොඳ චරිතවත් පවුල.... ගමේ නම්බුකාර විදියට ජීවත් වෙන්නේ” සිරිනේරිස් කපු මහතා මා දෙස බලමින් පැවසුවේ, බුලත් කෙළ පහරක් ද දෑගිලි අතරින් මිදුලට විඳිමිනි. "නන්දාවති නෝනේ.. එහෙනම් මං යන්නන්.... පරක්කු වෙනවා.... පස් වැනිදට ලෑස්ති වෙලා හන්දියට එන්න... මාත් එක්කම යන්න ඇහැකි...ආ අමතක වුණා.. ගෑනු දරුවගෙ කේන්දරෙත් මං ගාව... කොලුවගේ කේන්දරෙත් දුන්න නම් පොරොන්දම් එහෙම ගැළපෙනවද කියලා බලාගෙනම ගිහැකි" එසේ කී කපු මහතා කේන්දරය ද ගෙන යන්නට ගියේය.

යොදා ගත් දින, උදේ දහයට පමණ හන්දියෙන් කපුමහත්තයා ද නංවාගෙන, අපි මනාලිය බැලීමට පිටත් වූයේ කුලියට ගත් පැරණි වෑන් රථයකිනි. මනාලියගේ ගෙදරට යන මං සලකුණු කීවේ ඉදිරිපස අසුනෙහි සිටි කපු මහතාමය.. “කපු මහත්තයා.. කොහොමද දෙන්නගේ පොරොන්දම් එහෙම ගැළපෙනවද?” අම්මා අහද්දී, "ඔව් නෝනේ" යැයි උත්තර දුන්නේ යම් ආයාසයකින් බව මට හැඟෙන්නට විය. මනාලිය දැකීමේ ආශාව නිසාම කිසිත් නොඅසාම නිහඬව සිටි මුත්, අම්මා අසන ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ වෙනදා මෙන් නොව යම් දෙගිඩියාවකින් බව මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කල්පනාවක නිමග්නව සිටියදීම වෑන් රිය කපු මහතාගේ උපදෙස් අනුව නිවෙසක් ඉදිරිපිට නවත්වන ලදී.

"අපේ කෙලී හරි ලැජ්ජාකාරී, හොඳට උයන්න කියන්න පුළුවනි. අපේ එකම කෙල්ලනේ... "කෑම මේසයේදී මනාලිය ගැන ඉහළින් වර්ණනා වෙද්දී මාගේ ඇස් යොමු වූයේ ඇය දෙසටය. "එහෙනම් ඇයි අපි විරුද්ධ වෙන්නේ?" ඒ අම්මාගේ හඬය. "එහෙනම් මඟුල තීන්දු කරමුද?" කපු මහතා ඇසුවේ රටක් රාජ්‍යයක් යුද්ධ කර දිනා ගත්තකු මෙනි. මඟුල තීන්දු විය. දිනය ද නියම විය. ජයමංගල ගාථා, ස්ත්‍රෝත මැද ජයටම මංගල්‍යය සිදු විය. පියකරු යුවතියක වූ කුමාරි, මාගේ හිතේ සිහින කුමාරිය වන්නට වැඩි කලක් ගත නොවීය. ජීවිතය හෙමින් හෙමින් ගලා බසින්නේ සිහිනයක් මෙනි. විවාහයෙන් අවුරුදු දෙකක් නොදැනීම ගත වී ගොසිනි.

“මගේ ඇස් පියවෙන්න ඉස්සෙල්ලා මුනුපුරෙක්ගේ මූණ දකින්න ඕන” “මමම එපාය සේරෝටම බත් මුට්ටි තම්බන්න ඕන”“කුමාරිහාමි වගේ කාමරේට වෙලා ඔහේ ඉන්නවා, ගෙයක් දොරක් අතුගාන්නේ නෑ”

“අම්මට ඉතින් මං මොකක් කළත් වැරදිනේ”

“වරදින්න හරි මේ ගෙදර වැඩ කරන්න එපායැ”

නැන්දම්මාගෙත්, ලේලියගෙත් ද්වන්ද යුද්ධයේ ගිනි පුපුරු යාන්තමින් අළු ගසා දැවෙන්නට පටන් ගත්තේය. විවාහ වී අවුරුදු දෙකක් ගියත් දරු සම්පතක් ලැබෙන පාටක් දක්නට නැති කල, නොකළ වෙදකමක්, නොගිය දේවාලයක් නොමැති තරම්ය. අම්මා ද එන්න එන්නම ලේලිය සමඟ බැණ ගන්නවා වැඩිය.

කුමාරි ද අත හරින්නේ නැත. ආදරයේ සුර දූතිකාව පෑල දොරෙන් පැන ගියේ මටත් නොදන්වාය. ඇය දැන් රණ්ඩු කෙක්කකි. දැන් දැන් බත් එකට ලුණු වැටෙනවා වැඩිය. තේ එක මී පැණි සේය. නැතිනම් කහට ගොඩක් පමණි. මගේ කිලිටි රෙදි කාමරේ පැත්තක ගොඩ ගැසී ඇත. ඇයගේ තරහ මගේ කරපිටින් යන්නාක් මෙන් හිමින් හිමින් සියල්ල කණපිට පෙරළෙන්නට විය.

අහෝ ප්‍රේමයක උරුමය..කරුමයක් වන හැටි....වැඩට ගොස් වෙහෙසට පත්ව ගෙදර පැමිණෙන මා හට ගෙදර කඩුල්ලෙන් පනිත්ම හිර ගෙදරකට යන්නාක් මෙන් දැනෙන හැටි.... සියලුම සැමියන්ගේ උරුමය මෙසේ වන්නට ඇතැයි සිතමින් හිත හදා ගන්නා මා නිදි වර්ජිතව ගත කළ රාත්‍රීන් ගණන ගණන් කළ නොහැකිය.

“ඔයාට මං ද ඕන.... නැත්නම් අම්මද? මට මේ ගෙදර ඉන්න බෑ. අපි ගෙයක් කුලියට හරි අරන් යමු”

දෙලොවක් අතර මා තනි විය. පැත්තක අම්මාය. අනෙත් පැත්තේ බිරිය ය.. මට දැණුනේ මා ගිරය මැද හිර වූ පුවක් ගෙඩියක් මෙන් කැපෙන බවයි. පුවක් ගෙඩිය නම් එක පාරින් කැපී වෙන් වෙයි. ඒත් මට එසේ නොවේ. දිනෙන් දින, ටිකෙන් ටික තැළෙන්නට විය. කෙසේ ඉවසම් ? අවසානයේ ටික කලකට ගෙයක් කුලියට ගෙන ඇයත් සමඟ යන්නට තීරණය කළෙමි. තාත්තා නිහඬවම සිටියා මිස මුකුත් කීවේ නැත. අම්මා සිටියේ දැඩි වේදනාවෙනි. ඒ තම එකම පුතාගෙන් වෙන් වීමේ දුක නිසාවෙනි. මා ද හිත හදාගත්තේ නැන්දම්මා හා ලේලිය අතර, පවතින යුද්ධයේ ඉතිහාසය සියවස් ගණනක් පැරණි බව දන්නා නිසාය. බිරියට කෙසේ වෙතත් අම්මාගේ හිතට යම් සහනයක් පුතකු ලෙස ලබා දිය යුතු නිසාවෙනි. ඊළඟ සතියේම ගෙයක් කුලියට ගෙන ඇය සමඟ එහි පදිංචියට ගියේ වෙනත් කළ යුතු කිසිවක් මාගේ හිතට නොනැඟුණු හෙයිනි.

දැන් මා සතුටින් සිටිනවා යැයි ඔබට හිතෙනවා ඇත. මෙවැනි හිත් රිදුම් විඳින බොහෝ සැමියන් නවතින අවසාන නැවතුම් පොළේ යාවජීව සාමාජිකයකු වන්නට මට ද වැඩි කලක් ගත නොවීය. දිනක් තැබෑරුමේ අඩ අඳුරේ තනියම මත් වතුරට පෙම් බඳිද්දී, දැක පුරුදු මුහුණක් මා අසළින් මතු විය. "ආ මේ නන්දාවතීගේ කොලුවනේ..." සිරිනේරිස් කපු මහතා මා දැක ළඟට අවුත් පවසද්දී, බමන මතින් ඔහු දෙස බැලුවේ මේ සියල්ලේම වැරදිකරුවා නුඹ නේද දැයි සිතින් අසමිනි.

“ආ...කපු උන්නැහේ කොහොමද?”

“මාත් ඉතින් සතියට පාරක් විතර මේ පැත්තේ එනවා”

"හ්ම්ම්ම්..." තවදුරටත් කපු මහත්තයා සමඟ කතා බහ කිරීමෙන් පලක් නොමැති බව සිතා යෑමට සැරසෙත්ම, “කොලුවෝ... පොඩ්ඩක් ඉඳින්... පොඩි කතාවක් කියන්න තියෙනවා. කොහොමද පවුල් ජීවිතේ... සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා නේ... මම ජෝඩු කරපු පවුල් ඉතින් හොඳට ඉන්නවනේ....” කපු මහත්තයාගේ කතාව දිග් ගැස්සෙද්දී,

“මොකක්ද කියන්න තියෙනවා කිව්වේ...”මම ඇසුවෙමි.

“අවුලක් ගන්න එපා කොල්ලෝ....මෙතන ඉතින් රහස් තියාගන්න තැනක් නෙවේනේ. දන්නවනේ මේ කපු මහත්තයගේ වැඩ කෙළින් වග”

“හරි හරි කියන්නකෝ....”

"මාර වැඩේනේ එදා වුණේ ගජනායක කොලුවෝ...එදා මලයා බලන්න හිටිය මනමාලිගේ ගෙදර අයගේ ළඟම ඥාතියකුගේ මළ ගමක් වෙලා යන්න ඕන කීවා.. නන්දාවතීගේ අක්කගෙන් බැණුම් අහන්න වෙන නිසා එදා මම කට්ටිය එක්කන් ගියේ වෙන කෙනෙකුට බලපු මනමාලියකුගේ ගෙදර...ඒ අයට කීවේත් නෑ... එහෙන් හා කිව්ව නිසා ගියා.. කේන්දරෙත් යන්තම් ගැළපෙන නිසා මාත් එච්චර හිතුවේ නෑ පුතා. කොහොමහරි කසාදේ කෙරුණනේ. ඕකනේ කියන්නේ සිතු දේ නොම වේ....නොසිතු දෙයක් වේ කියලා... නැද්ද කොල්ලෝ ......"

“මොකක්?"මා ප්‍රකෘති සිහියට පැමිණියේ තවත් විනාඩි ගණනකට පසුවය. එදා සිට මේ මොහොත තෙක් කපු මහත්තයා කී කතාව ඔහු බමන මතින් කියූවක් යැයි සිතා අමතක කරන්නට අවුරුදු දහයක්ම උත්සාහ ගත්තෙමි. ඒත් අද හදිසියේම කොටුවේ බෝධිය ළඟදී යළි ඒ මතකය සිතට ආවේ ඇයි දැයි නොදනිමි.

මේ කෙටිකතාවේ රචකයා ගාල්ල, උඩුගම පදිංචි, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය සහ සමාජීය විද්‍යාපති උපාධිය (පුස්තකාල හා විඥාපන විද්‍යාව) ලබා ඇති එම්. ජී. අරුණ තිලංක ය. දැනට ශ්‍රී ලංකා නීති විදුහලෙහි සහකාර පුස්තකාලයාධිපතිවරයකු ලෙස සේවය කරන හෙතෙම ශ්‍රී ලංකා පුස්තකාල සංගමයෙහි විශේෂ පුස්තකාල එකමුතුවෙහි කැඳවුම්කරු ලෙස ද කටයුතු කරයි.

 

Comments