මහන්සි වෙලා වැඩ කරන කිසිම මිනිහෙක් අසාර්ථක වෙන්නෙ නෑ | සිළුමිණ

මහන්සි වෙලා වැඩ කරන කිසිම මිනිහෙක් අසාර්ථක වෙන්නෙ නෑ

NSBM හරිත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ

අධ්‍යාපනය සමෘද්ධියේ ආභරණයක් සහ විපතේදී රැකවරණයක් බව ශ්‍රීක දාර්ශනිකයකු වන ඇරිස්ටෝටල් පවසා ඇත. ජීවිත සාදයට සභහාගි වීම සඳහා ඔබට සුදුසුම ඇඳුම අධ්‍යාපනය බව තවත් දාර්ශනිකයකුගේ අදහසකි. මෙවර 'කඩඉම' කතා නායකයා සුවහසක් දරුවන්ගේ ජීවිත අධ්‍යාපනයෙන් සමෘද්ධිමත් කරනු වස් අපූරු විශ්වවිද්‍යාලයක් තැනූ බුද්ධිමතෙකි. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට නැවුම් මුහුණුවරක් එක්කළ හෝමාගම, පිටිපන NSBM හරිත විශ්වවිද්‍යාලය පිහිටු වීමට පුරෝගාමී වූ හෙතෙම නමින් මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ ය. උපකුලපතිවරයා ලෙස විශ්වවිද්‍යාලයට නායකත්වය, ශාස්ත්‍රීය දැනුම සහ පරිපාලනය සපයන ඔහු දෙස් විදෙස් විශ්වවිද්‍යාලවලින් ලැබූ දැනුමින් සහ අත්දැකීම් රැසකින් පොහොසත්ය. සාර්ථක ව්‍යවසායකයකු ද වන ඔහුගේ දිවි සැරියේ සුවිශේෂී මතක සැමරුම් පිළිබඳ ආවර්ජනයකි මේ.

 

 සම්පූර්ණ නම- එඬේර ආරච්චිගේ වීරසිංහ

 භාවිත කරන නම- ඊ.ඒ. වීරසිංහ

 උපන්දිනය-1954.07.22

 ගම් පළාත- ගාල්ල, අක්මීමන මැලෑගොඩ

 මවුපියන්- තාත්තා එඬේර ආරච්චිගේ තෙලේනිස් අප්පුහාමි. අම්මා, ඉමදූව විතානගේ පුංචි හාමිනේ. තාත්තා සාමාන්‍ය රැකියාවක් කළා. අම්මා රැකියාවක් කළේ නැහැ.

සහෝදර සහෝදරියන්- අක්කලා හතර දෙනකුයි අයියා කෙනෙකුයි හිටියා. මම පවුලේ බාලයා. දැනට ජීවතුන් අතර ඉන්නේ අක්කලා දෙන්නෙක් විතරයි.

 ඉගෙන ගත් පාසල- හත් වැනි ශ්‍රේණිය දක්වා ගියේ කලහේ ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට. 7 වැනි ශ්‍රේණියේදී ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයට ඇතුළත් වෙලා උසස්පෙළ දක්වා ඉගෙන ගත්තා.

 කොහොමද ළමා කාලය ගත වුණේ? ඒ කාලේ ළමයින්ගේ ජීවිත හරි සැහැල්ලුයි. ටියුෂන් නැහැ. අම්මල තාත්තල අපේ පොතක්වත් දිගෑරලා බලලා නැහැ. ඉස්කෝලේ ගිහින් ආව ගමන් සෙල්ලමම තමයි.

 ක්‍රීඩාවටත් උනන්දුවක් තියෙන්න ඇති?

ඔව්, ඒ කාලේ ගාල්ලට බස් ටිකට් එක සත විසිපහයි. උදේට බස් එකේ ගිහින් සමහර දවස්වලට හවසට බස් එකේ යන සල්ලිවලින් කඩචෝරු කාලා පයින් ගෙදර එනවා. ඉස්කෝලේ ඉඳලා ගෙදරට තියෙන හැතැක්ම පහ කෙටි පාරවල්වලින් දුවලා ස්කූල් බස් එක හන්දියට එන්න කලින් මම එතැන. ඒ දුවපු දිවිල්ලටම වෙන්නැති පසුකාලීනව මම හොඳ මලල ක්‍රීඩකයෙක් වුණේ. විශ්වවිද්‍යාලයේ ඉන්නකම්ම මම දුර දිවීම් තරගවලින් පළමු වැනියා වුණා.

ඉගෙනීමේ කටයුතුවලට තිබුණු උනන්දුව කොහොමද?

ළමා කාලය සැහැල්ලුවෙන් ගත කළත් අවට වෙන දේවල් දැක්කම හිතුවා අපිට ගොඩ යන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි කියලා. ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගය එක සැරේම සමත් වුණා. ප්‍රතිඵලේ හතයි තුනයි, අංක ගණිතයට ඩී සාමාර්ථ­්‍යයක්. හැබැයි උසස් පෙළ නම් එච්චර ලේසියෙන් ගොඩ ගියේ නැහැ.

 උසස් පෙළ ප්‍රතිඵල කොහොමද?

උසස් පෙළ කළේ කලා අංශයෙන්. පළමු වැනි සැරේ විභාගය ෆේල්. දෙවැනි සැරේ විෂයන් තුන පාස් වුණත් විශ්වවිද්‍යාලෙට තේරුණේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා අතෑරියේ නැහැ. 1976දී තුන්වැනි සැරේටත් විභාගෙ ලිව්වා. ඉස්කෝලෙ ඇරිලා හවසට ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනටත් ගිහින් ඉගෙන ගත්තා. ඒ සැරේ විෂයන් හතරම පාස් වුණා. ඒ අවුරුද්දේ පිරිවෙනේ ඉගෙන ගත්ත ළමයින්ගෙන් මම විතරයි විශ්වවිද්‍යාලයට තේරුණේ.

 කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ?

1977 නොවැම්බර් මාසේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වුණා. පළමු වසරෙන් පස්සේ ඕනෑම ක්ෂේත්‍රයක විශේෂ උපාධියක් කරන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ මම තෝර ගත්තේ ආර්ථික විද්‍යාව විශේෂ උපාධිය.

ඒකට හේතුව?

ඒ වෙලාවේ හැටියට විශාල ඉල්ලුම තිබුණේ ඒ උපාධියට. ඒ වගේම ඒ උපාධිය හදාරන්න තෝර ගන්නේ බොහොම සීමිත පිරිසක්.

 උපාධිය සාර්ථකව නිම කළාද?

ඔව්, ඒ කාලේ කාටවත් පළමු ශ්‍රේණියේ උපාධි පිරිනැමුවේ නැහැ. මමත් දෙවැනි පෙළ විශේෂ සාමාර්ථ­්‍යයක් ලබා ගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වුණා.

 පළමු රැකියාව

විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්සේ ටික කලක් විජය පබ්ලිකේෂන් එකේ රංජිත් විජයවර්ධන මහත්මයා යටතේ වැඩ කළා, පුහුණු වෙන කළමනාකරුවෙක් විදිහට.

 වැටුප විදිහට කීයක් ලැබුණද?

දවසට රුපියල් 35ක් ගෙව්වා.

 ඊට පස්සේ?

ඒ කාලේ උපාධිධාරීන්ගේ පදනමේ අධ්‍යක්ෂ ජනරාල් කරුණාදාස කොඩිතුවක්කු ඇක්වයිනාස් එකේ ඉංග්‍රීසි පාඨමාලාවක් පටන් ගත්තා. ඒකට එන්න කියලා මටත් ලියුමක් ආවා. විජය පබ්ලිකේෂන් එකේ ඒ කාලේ හිටපු ප්‍රධානියා කිව්වා හවස්වරුවේ විතරක් වැඩ කරනවා නම් මගෙන් වැඩක් නැහැ කියලා.

 ඒ නිසා ඉංග්‍රීසි පන්තිය අතහැරුණද?

නැහැ, රංජිත් විජයවර්ධන මහත්මයා මට කිව්වා බෝඩින් හවුස්වලට යන වියදම මම දෙන්නම්, ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. පුළුවන්නම් හවසට ඇවිත් පොඩි දෙන්නගේ හෝම් වර්ක් බලන්න කියලත් කිව්වා. ඒ කාලේ රුවන් විජයවර්ධන පහේ, හයේ පන්තියේ විතර ඇති. මම හවසට ගිහින් රුවන්ටයි එයාගේ අක්කටයි පාඩම් වැඩ කියලා දුන්නා. හැබැයි ඒකත් වැඩි කාලයක් කරන්න ලැබුණේ නැහැ.

 ඒ ඇයි?

1984දී විතර මට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනඥයෙක් විදිහට රැකියාව ලැබුණා. රස්සාවට උදේ හවස කළුතර යන්න වුණ නිසා උගන්වන වැඩේ අතෑරුණා.

1985දී ඔබ නැවත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනවා?

ඔව්, කළමනාකරණ පීඨයේ සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට.1987දී බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ලැබුණු ශිෂ්‍යත්වයකින් එංගලන්තයේ බ්රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ගිහින් පරිගණක විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය හැදෑරුවා.

 ඉන් පසුව?

නැවත ලංකාවට ඇවිත් අධ්‍යනාංශයේ වැඩ කරමින් ඉන්නකොට ජපන් රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ 1990 මාර්තු මාසේ.

කොහොමද ජපානයේදී ලැබුණු අත්දැකීම්?

අවුරුද්දක් ජපන් භාෂාව ඉගෙන ගෙන ඊටපස්සේ අවුරුදු දෙකක් වකායාමා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කළා. ඒක ඉවර වෙලා ආචාර්ය උපාධිය සඳහා ඔසාකා සිටි විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මහාචාර්ය කෙන් සසාකි යටතේ අධ්‍යයන කටයුතු කරලා අවුරුදු හතරකින් උපාධිය අවසන් කළා. ඒ කාලේ ක්‍රමයක් තිබුණා ලකුණු ප්‍රමාණය සහ අනෙකුත් සුදුසුකම් අනුව කැමැති රටකට ඉල්ලුම් කරන්න. මට තිබුණු ලකුණු සහ සුදුසුකම්

අනුව

නවසීලන්තයේ පුරවැසි භාවය ලැබුණා.

 ඒත් ඔබ නැවත මවුබිමට එනවා?

ඔව්, 1997දී ආචාර්ය උපාධිය ගත්ත ගමන් මම නැවත ජපුර විශ්වවිද්‍යාලයට ඇවිත් රාජ්‍ය පරිපාලන අධ්‍යයන අංශයේ අවුරුදු 7ක් එක දිගට සේවය කළා. පසුව එහි ප්‍රධානියා විදිහට පත් වුණා. ජපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය ස්ථාපිත කරලා ඒ අධ්‍යනාංශයේ පළමු ප්‍රධානියා හැටියටත් ප්‍රධාන ශිෂ්‍ය උපදේශක හැටියටත් කටයුතු කළා. 2004දී පීඨාධිපති තෝරා ගන්නා ඡන්දෙට ඉදිරිපත් වුණත් මට ඡන්ද 10ක් අඩු වීම නිසා වෙන කෙනෙක් පීඨාධිපති ලෙස පත් වුණා.

ඒ අත්දැකීම ඔබට බලපෑවේ කොහොමද?

ඒ වෙද්දි සප්ත වාර්ෂික නිවාඩු අනුමත වෙලා තිබුණු නිසා මම ජපානයට ගිහින් නගෝයා හි මේජෝ විශ්වවිද­්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයකු ලෙස වැඩකළා. 2005දී නැවත මම ලංකාවට ආවා.

 එය ඔබේ ගමන් මඟ වෙනස් කරනවා?

එවකට කාර්මික හා වෘත්තීය පුහුණු ඇමැති ලෙස සිටි පියසේන ගමගේ ඇමැතිවරයා මට ආරාධනාවක් කළා, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ( NIBM) අධ්‍යක්ෂ ජනරාල් හැටියට වැඩ බාරගන්න කියලා. ඒ වෙද්දි ඒ ආයතනය මෙහෙයුම් පාඩුවක් ලබමින් විශාල පසුබෑමක තිබුණේ. නමුත් ඒ තනතුර බාර ගත්තා.

 එය අභියෝගයක් වුණේ නැද්ද?

විරුද්ධවාදීන්ගේ එල්ල වූ බාධක රැසකට මුහුණ දෙමින් මම ඒ ආයතනයේ විශාල වෙනසක් කළා. පස් අවුරුදු සැලැස්මක් යටතේ කොළඹ ප්‍රධාන කාර්යාලය දියුණු කිරීම, නව ශාඛා කිහිපයක් ආරම්භ කිරීම වගේම උපාධි පිරිනැමීමේ ආයතනයක් හැටියටත් සුදුසුකම් ලබා ගැනීමටත් කටයුතු කළා.

 ඒ සාර්ථකත්වය තවත් අලුත් අරමුණක් කරා ඔබව යොමු කරනවා නේද?

ඒ අත්දැකීම් එක්ක මට හැඟුණා, පන්ති කාමරයක් තුළ උගන්වලා සහතිකයක් දීමෙන් සැබෑ උපාධිධාරියෙක් බිහිකළ නොහැකි බව වගේම පරිපූර්ණ උපාධිධාරියෙක් බිහි කරන්න පන්ති කාමරයේ දැනුමට වඩා බාහිර ක්‍රියාකාරකම් ඇතුළු තවත් බොහෝ දේ අවශ්‍ය බව. ඒ නිසා 2010දී පමණ පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් පිළිබඳ යෝජනාවක් මම පාලක සභාවට ඉදිරිපත් කළා.

 ඒ යෝජනාවට මොකක්ද වුණේ?

පාලක සභාව ඒකට අනුමැතිය දුන්නේ නැහැ. නමුත් මම දිගින් දිගටම ඒ ගැන කියද්දි පාලක සභාව මහා භාණ්ඩාගාරයේ ජාතික සැලසුම් කමිටුවට ඒ යෝජනාව යැව්වත් මේ ව්‍යාපෘතියට කිසිසේත්ම අවසර දෙන්න බැහැ කියලා ඔවුන් මට කිව්වා. නමුත් එවකට වෘත්තීය පුහුණු ඇමැති ඩලස් අලහප්පෙරුමට මම මේ යෝජනාවේ වැදගත්කම පහදලා දුන්නාම ඔහු සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් පෙනී හිටියා. අවසානයේ ජාතික සැලසුම් කමිටුවේ සහ පාලක සභාවේ අනුමැතිය ලැබුණා. NSBM පිහිටු වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම අනුමැතිය ලැබුණා.

අභියෝග එතැනින් අවසන් වුණාද?

නැහැ, ඒ වෙද්දි NIBM එකේ වාර්ෂිකව අතිරික්ත ආදායමක් තිබුණා. ඒ ආදායමින් මිලියන 800ක් ඉතිරි අවුරුදු 3 තුළ NSBM එකේ මූලික වියදම් සඳහා යොදවන්න මම කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලුවා. අනුමැතිය ලැබුණට පස්සේ විශ්වවිද්‍යාලය හදන්න ඉඩමක් සොයන එක ඊළඟ ගැටලුව. එවකට හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා තමයි ඒ වෙලාවේ යෝජනා කළේ හෝමාගම, පිටිපන මෙහෙම ඉඩම් තියෙනවා කියලා. ඒ ඉඩම් දැකපු ගමන් මට හිතුණා මේක තමයි විශ්වවිද්‍යාලය හදන්න හොඳම පරිසරය කියලා. ඒ ඉඩමෙන් අක්කර 50ක් දෙන්න කියලා නැවත කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දැම්මත් ඒ වෙද්දි වෙනත් ආයතනවලටත් ඉඩම් බෙදලා දීලා තිබුණු නිසා අපිට ලැබුණේ අක්කර 27යි.

 NSBM විශ්වවිද්‍යාලය ඉදි වෙන්නේ ඊටම අනන්‍ය වූ සැලැස්මකට?

ඔව්, අපි අමෙරිකාවේ හාවඩ් ඇතුළු ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල සංචාරය කරලා ඒවායේ විදිහ බලලා අවුරුදු එකහමාරක් විතර සැලසුම් කරලා වෙනත් විශ්වවිද්‍යාලවල නැති අපිටම අනන්‍ය සැලසුමක් හදාගන්න උත්සාහ කළා. ඊටපස්සේ තව ගැටලුවකට මුහුණ දුන්නා.

ඒ මොකක්ද?

විශ්වවිද්‍යාලය හදන්න මුදල් නැහැ. ඩලස් ඇමැතිතුමා මැදිහත් වෙලා චීන එක්සිම් බැංකුවෙන් ණයක් අනුමත කරලා දුන්නා. නමුත් ඔවුන්ගෙ කොන්දේසියක් තිබුණා විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් චීන සමාගමකටම දෙන්න ඕනෙ කියලා. අපේ සැලසුමට අනුව ඉදිකිරීම් කරන්න ඒ සමාගමේ ඇස්ත්මේන්තුව රුපියල් බිලියන 18.5ක්. නමුත් අපේ ඇස්තමේන්තුව බිලියන 8.5යි. සාකච්ඡා කළත් ඔවුන් ගාණ අඩු කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මුදල් අමාත්‍යාශයේ ලේකම් කිව්වා ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සමාගමකින් එකක් තෝර ගන්න කියලා. ඒ අනුව මාග සමාගමට ඉදිකිරීම් බාර දුන්නා.

 මේ වෙද්දි විශ්වවිද්‍යාලයට වසර 6ක්. සාර්ථකත්වය?

2016 ඔක්තෝබර් විශ්වවිද්‍යාලය විවෘත කළේ සිසුන් පන්දාහකින්. මේ ‍ෙවද්දි සිසුන් 12,000ක් ඉගෙන ගන්නවා. සිසුන් 14,000ක් ඉගෙනීම අවසන් කරලා පිටවෙලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලය නොතිබුණා නම් මෙහෙ ඉගෙනගන්න සිසුන්ගෙන් සියයට 65ක් විදේශ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා. පිටරටට ඇදිලා යන මුදල් රටට ඉතිරි කර දෙන්න ලැබීම වගේම පිටරට නොයා අපේ දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවස්ථාව ලබාදීමට හැකිවීම විශාල සතුටක්.

 ඉදිරි බලාපොරොත්තු?

මම දැන් විශ්‍රාම යා යුතු වුණත් මම හිතන්නේ මම යන්න ඕනේ මේක හදන්න ගත්ත ණය ගෙවලා අවසන් කරලයි. අපි තව අක්කර 17ක ඉඩමක් අරගෙන තට්ටු 12ක ගොඩනැඟිල්ලක් හදනවා. මගේ ප්‍රතිපත්තිය තව ණය නොගෙන මේ ණය ගෙවලා ඉතිරි අරමුදලින් ඒක හැදීමයි. දේශීය වශයෙන් මේ ක්ෂේත්‍රයේ අපට තරගයක් නැහැ. නමුත් විදේශීය සිසුන් අපේ විශ්වවිද්‍යාලයට ගෙන්වා ගත යුතුයි. එහි මුල් පියවර විදිහට ලබන අගෝස්තුවේ විදේශීය තරුණ තරුණියන් 500ක් පමණ ගෙන්වා විශාල කඳවුරක් පවත්වනවා.

 ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය?

විශ්වවිද්‍යාලයට ඇතුළු වීම. ඒක ඕනෑම ශිෂ්‍යයකුගේ කඩඉමක්. මම තාමත් ජපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් ලැබූ දේවල් අගය කොට සලකනවා. ඒ වගේම පිටරට විශ්වවිද්‍යාලවලින් විශාල දැනුමක් වගේම අත්දැකීම් රාශියක් ලැබුවා. අවංකකම, වෙලාවට වැඩ කිරීම,කාර්යක්ෂම බව, පිළිවෙළ වගේ දේවල් මගේ ජීවිතේට එකතු වුණේ ජපන් ආභාසයෙන්. ජපානෙට යනකොට මහාචාර්ය අබේරත්න බණ්ඩාර මට රුපියල් තුන්දාහක් දුන්නා වියදමට තියා ගන්න කියලා. මම කවදාවත් එහෙදි අර්ධකාලීන රැකියා කළේ නැහැ. නමුත් මගේ දැනුම පාවිච්චි කරලා විශාල වශයෙන් මුදල් හම්බ කළා.

 ඔබ මොන විදියේ නායකයෙක්ද?

මම කාගෙන්වත් චරිත සහතික ගන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි. චරිත සහතික ගන්න බලාගෙන වැඩ කරන කිසිම ප්‍රධානියෙක් කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. සේවකයන්ට 'ශෝක් බොස්' කෙනෙක් වුණා කියලා ආයතනයට යහපතක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට හොඳට සලකන එක වෙනමම දෙයක්. අපේ විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති නැහැ. නමුත් හොඳ සුබසාධක සංගමයක් තියෙනවා. හැමෝම ඒකේ සාමාජිකයෝ. කොවිඩ් එනකම් අපි හැම අවුරුද්දකම කම්කරුවාගේ සිට උප කුලපති දක්වා හැමදෙනාවම විදේශ සංචාරයක් එක්ක ගෙන ගියා. මම කළමනාකරණය කරන්නේ මගේම ක්‍රමයකට මිසක් පොත්වල තියෙන හෝ කවුරුත් කියන විදිහට නෙවෙයි.

 ඔබේ සාර්ථකත්වයට හේතු?

හැම තැනකදීම යමක් කරන්න හදන, වෙනස් වැඩ පිළිවෙළක් තියෙන මිනිස්සුන්ට විවේචන, අපහාස එල්ල වෙනවා. කිසිම දෙයක් කරන්නෙ නැති මිනිහෙකුට කවුරුත් මුකුත් කියන්නෙ නැහැ. NIBM එකේ වැඩ කරද්දි මට ගහපු කැලෑ පත්තර, පෙත්සම් මම මිටි බැඳලා කෞතුක භාණ්ඩ විදිහට අරන් තියලා තියෙනවා. මම ඒවාට කලබල වෙලා දාලා ගියා නම් අද මෙහෙම ආයතනයක් බිහි වෙන්නෙ නැහැ. කවුරු කොහොම මොනවා කිවුවත් තමන් නිර්දෝෂ නම් ඒ ඇති. ඒ වගේම යමක් කරන්න ඕනේ නම් ඒ ගැන අපි හීන දකින්න ඕනේ. NIBM එකේ ඉන්නකොට මම මෙහෙම විශ්වවිද්‍යාලයක් ගැන හීන දැක්කා. හීන යථාවත් කරගැනීම ලේසි නැහැ. නමුත් සාර්ථක වෙනකම් අතාරින්න හොඳ නැහැ. මහන්සි වෙලා වැඩ කරන කිසිම මිනිහෙක් අසාර්ථක වෙන්නෙ නෑ. අපිට ජීවිතේ විශාල කාලයක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා ජීවිතේ තමන්ට ලැබුණ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන උපරිමයෙන් වැඩ කරන්න ඕනේ.

 ඔබේ ජීවන සහකාරිය ?

ඇයත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම උපාධිධාරිනියක්. නම ශ්‍රියානි වීරසිංහ. මියුසියස් විද්‍යාලයේ උගන්වනවා. අපි විවාහ වුණේ 1985දී.

 දරුවන්?

දුවයි පුතයි. දුව සොනාලි වීරසිංහ, විවාහ වෙලා ජර්මනියේ පදිංචි වෙලා ඉන්නේ. ඇයට අවුරුදු 2ක දරුවෙක් ඉන්නවා. මගේ පුතා අකිර වීරසිංහ. NSBM එකේ කළමනාකරුවෙක් විදිහට වැඩ කරන අතරේ ගාල්ලේ ව්‍යාපාර බලන්නෙත් පුතා.

 විවේකය ගතකරන්නේ කොහොමද?

හැම වෙලාවෙම ෆයිල් ගොඩකට යටවෙලා ඉන්නේ අකාර්යක්ෂම මිනිස්සු. නියම ක්‍රමවේදය හැදුවට පස්සේ හැමදේම පිළිවෙළට සිදු වෙනවා. ඒ නිසා මම අවිවේකී නැහැ. සතියේ දවස් පහ මම විශ්වවිද්‍යාලයේ ඉන්නවා. හැම සිකුරාදාම මම ගාල්ලේ මහගෙදර යනවා. යාළුවෝ හමුවෙනවා.

 ඔබේ විනෝදාංශ?

හවසට ටෙලිනාට්‍යයක් දෙකක් බලනවා. පැයක් ජිම් එකේ ගත කරනවා. යාළුවෝ එක්ක කතාබහ කරනවා.

 පොත් කියවනවද?

දැන් නම් පොත් කියවන්නෙම නැති තරම්.

 සංචාරය කරන්න කැමැති කොහේද?

මම නොගිය තැනක් නැති තරම්. ඒත් දැන් සංචාරයට වැඩි කැමැත්තක් නැහැ. ලංකාවෙ නම් මම ආසම දකුණටම තමයි. දුව බලන්න මම අවුරුද්දට දෙසැරයක් විතර ජර්මනියට ගියාම සති තුනක් විතර එහේ නැවතිලා ඇවිදිනවා.

 බ්‍රෑන්ඩඩ් ද පාවිච්චි කරන්නෙ?

ඔව්, පාවිච්චි කරන හැමදේම බ්‍රෑන්ඩඩ් තමයි.

 ජීවිතේ තේමා පාඨය?

දෙන්න, අත්හරින්න මම හරිම කැමතියි. අපි යනකොට කිසිම දෙයක් අරගෙන යන්නෙ නැහැ. ඒක තේරුම් අරගෙන ජීවත් වෙනවා. අවසානය දක්වා කිසි කෙනෙක්ගෙන් යැපෙන්නෙ නැතුව ජීවත් වෙන්නයි මට ඕනේ.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

Comments